1150 x 80 px

ඉන්දිරා ගාන්ධි - නුරා අම්බලමකි !

 

හිටපු ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි ගැන කතා කරන විට කොංග්‍රස් සභිකයන්ගෙන් වැඩි කොටස මෙසේ කියති. “ඔව්, ඇය තමයි, ඉන්දියාවේ අයෝමය කාන්තාව.. ඇය පාකිස්ථානය දෙකට බෙදුවා. ඇය නිසා ඉන්දියාව ශක්තිමත් වුණා..” මුලු ඉන්දියාවම සැලකූ විට ද තත්වයේ වැඩි වෙනසක් නැත.

ඉන්දිරා ගාන්ධිගේ ජීවිතයේ අඳුරු රහස් නොතිබිණිද? එම්.ඕ. මාතායි නමැත්තා මෙසේ කියයි. “ඉන්දිරා ගාන්ධි සමග මගේ දොළොස් අවුරුදු ලිංගික ජීවිතය, ඇය තවත් අයෙක් සමග යහන්ගත වී සිටිනු දුටු මොහොතේ නිමා වුණා...!”

එම්. ඕ. මාතායි යනු සැබවින්ම කවුද? ඔහු ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරුගේ පුද්ගලික ලේකම්වරයා ය. 1946-1959 අතර කාලයේ ඔහු නේරුගේ විශේෂ උදව්කරුවෙකු වශයෙන් ද කටයුතු කළේය. නමුත් නේරුගේ පුද්ගලික ලේකම්ට නේරුගේ සුන්දර දියණිය වූ ඉන්දිරා සමග අති පුද්ගලික රාජකාරියක් තිබුණාද? නේරු පවුලේ රහස්, කවදත් ‘වැඩිපුරම’ දැන සිටි පුද්ගලයා වුණේ මාතායි ය. ‘වැඩිපුරම’ යන්න බහුඅරුත් සහිත ය. ඇත්තෙන්ම ඔහු දැනගත යුතුව තිබූ ප්‍රමාණයටත් වඩා වැඩිපුර දේවල් දැන සිටියේය2

මාතායි 1978 වසරේ Reminiscences of Nehru Age යනුවෙන් පොතක් ලීවේය. එයින් නේරු-ගාන්ධි පවුල සහමුලින්ම නිරුවත් වූවා යැයි කීම නිවැරදි ය. පොත රට තුළ තහනම් කෙරිණි. නමු්ත දැන් යම්කිසි හේතුවක් නිසා මාතායි සහ ඒ පොතෙන් හෙළිවන කරුණු ගැන සංවාදය නැවත උණුසුම් වී තිබේ.

සිය පොතේදී නේරු පිළිබඳ ගෞරවයකින් කතා කරන නමුත් නේරු සහ ඔහුගේ තහනම් සබඳතා ගැන මාතායි නොපසුබටව හෙළි කරයි. එඩ්විනා (මවුන්ට් බැටන් සාමිවරයාගේ බිරිඳ), පද්මජා නායිඳු (කිවිඳි සරෝජනී නායිඳුගේ දියණිය), ම්රීදුලා සාරාභායි යනාදීන් සමග ඔහු පැවැත්වූ සබඳතා ගැන මෙමගින් ඔහු හෙළි කර සිටියි. ඇත්තෙන්ම නේරු මේ කතුන්ට ‘ප්‍රේමය පිරුණු සතුට’ ගෙන දීම සඳහා අතිශයින්ම වැඩ අධික වී සිටියේය. ඉන්දියාව ගැන බලන්නට ද ඔහුට විටෙක අමතක වුණේය! ඔහුට ඉන්දියාව මතක් වුණේ 1962 වසරේ ඉන්දුචීන යුද්ධයෙන් ඉන්දියාව පැරදුණු පසුව යැයි විචාරකයෝ කියති!

මාතායි මේ පොතේ පරිච්ඡේදයක් ඉන්දිරා ගාන්ධි සඳහා වෙන් කරයි. එය පරිච්ඡේදයේ මාතෘකාව SHE හෙවත් ‘ඈ’ ය. නමුත් පසුකාලීන සංස්කරණවලදී මෙම පරිච්ඡේදය පොතෙන් ඉවත් කරන ලද්දේ ප්‍රකාශකයන්ගේ කෙටි සටහනක් ද සමගිනි. මේ පරිච්ඡේදයේ අන්තර්ගත ව තිබුණේ ඉන්දිරා සහ මාතායි අතර පැවති ඉතා සමීප සබඳතාවය පිළිබඳ අති පෞද්ගලික විස්තරයන් ය.

පොතෙන් පරිච්ඡේදය ඉවත් කළත් මාතායි ගේ කට වසන්නට හැකි වුණේ නැත. 1981 වසරේ මිය යන තෙක්ම මාතායි ඉන්දිරා ගැන කතා කළේය. ඔහු ට අනුව ඔවුන් දෙදෙනා අතර තිබුණේ ඉතාම රොමාන්තික සබඳතාවයකි. වරක් ඔහු නිසා ඇය ගැබ් ගත් බව ත් පසුව දරු ගැබ විනාශ කළ බවත් කියැවේ. නේරුට ද දියණියගේ මෙම සබඳතාවය රහසක් වුණේ නැත. ඔවුන් දෙදෙනා අතර යමක් සිදුවෙමින් තිබෙන බව ඔහු හැමවිටම දැන සිටියේය. නමුත් ඒ ගැන සිත කරදර කරගන්නවාට වඩා, සුපුරුදු පරිදි ඔහුට ‘වැඩ තිබුණේය’.

මාතායි ට මුලින්ම කායික සබඳතාවක් සඳහා ඇරයුම් කර තිබෙන්නේ ද ඉන්දිරා විසිනි. මෙවිට තමන් මීට පෙර කිසිදු කාන්තාවක් සමග යහන්ගත වී නැතැයි මාතායි කියා තිබේ. එවිට ඉන්දිරා ඔහුට කියවන්නට පොත් දෙකක් දුන්නාය. එයින් එක පොතක්, වෛද්‍ය ඒබ්‍රහම් ස්ටෝන්ගේ ලිංගිකත්වය සහ ස්ත්‍රී ව්‍යූහවිද්‍යාව පිළිබඳ ලියැවුණු පොතකි. දෙදෙනා සමීප වූ පසු ඉන්දිරා ඔහුට ‘භූපත්’ යැයි අමතන්නට පටන් ගත්තාය. “භූපත්, මම ඔබට ආදරෙයි..” යැයි ඔහුව තරයේ වැළඳගෙන කියන්නට පුරුදු ව සිටියාය. තමන්ට ජීවිතයේ කිසි දිනෙක ආදරය හෝ ලිංගිකත්වය මෙතරම් ප්‍රබල ලෙස දැනී නැතැයි මාතායි පසුව කීවේය. ඉන්දිරා ඉතා දිගු වේලාවක් සිප ගන්නට ප්‍රිය කළ බවත්, යහන්ගත වූ විට ඇය ප්‍රංශ ගැහැනුන්ගේත් කේරළ නායර් ළඳුන්ගේ සුන්දරත්වයේත් සංකලනයක් වූ බවත් අනර්ඝ සහකාරියක් වූ බවත් මාතායි කියයි.

ඉන්දිරාගේ ජීවිතයේ ෆේරෝස් ගාන්ධිට පිටින් සිටි එකම පිරිමියා තමන් පමණක් නොවන බව ද මාතායි දැන සිටියේය. නමුත් ඔහුගේ ඇස් ඉදිරිපිටම ඉන්දිරා වෙනත් අයෙක් සමග යහන්ගත වනවා දැකීමට තරම් ධෛර්යයක් ඔහුට නොතිබුණේය. සබඳතාවයෙන් දොළොස් වසරකට පසු එක් දිනයක ඉන්දිරා සොයා ඇගේ යහන්ගැබ වෙත ගිය මාතායිට දැක ගන්නට ලැබුණේ ඇය ධිරේන්ද්‍ර බ්‍රහ්මචාරී සමග පෙම් කෙළින ආකාරයයි. ධිරේන්ද්‍ර බ්‍රහ්මචාරී ඇගේ යෝග ගුරුවරයා ය. සිය දියණියගේ ශරීර සෞඛ්‍යය සඳහා ඇයට යෝග ව්‍යායාම උගන්වන්නැයි ධිරේන්ද්‍රට ඇරයුම් කර තිබුණේ ද නේරු විසිනි. දිල්ලිය, ජම්මු කාශ්මීරය යනාදී ප්‍රදේශ ගණනාවක ඔහු ඒ වන විට කීර්තිමත් යෝගාශ්‍රමයන් පවත්වාගෙන යමින් සිටියේය. හත යෝග ශාස්ත්‍රයේ කෙළ පැමිණියෙකු වූ ඔහු, වරක් සෝවියට් රුසියන් ගගනගාමීන් පුහුණුකිරීම සඳහා සෝවියට් දේශය වෙත ද කැඳවා තිබිණි. කාන්තාවන් වසඟකර ගැනීමේ රූපකායක් ඔහුට තිබූ බැවින් ‘ඉන්දියාවේ රස්පුටින්’ යනුවෙන් ද යෝග කලාවේ කෙළ පැමිණියෙකු වූ බැවින් ‘පියාඹන සාමි’ යනුවෙන් ද ධිරේන්ද්‍ර බ්‍රහ්මචාරී හැඳින්වෙයි.

ඉන්දිරා ගාන්ධි 1966 වසරේ අගමැතිනිය වූ පසුව ද ධිරේන්ද්‍ර ඇය අසලින්ම සිටින අන්දම දැකගත හැකි විය. 1960 වසරේදී ඉන්දිරාගේ සැමියා වූ ෆේරෝස් ගාන්ධි මිය ගොස් තිබූ බැවින් වඩා වැඩි නිදහසකින් ඇය ව ආශ්‍රය කිරීමට ධිරේන්ද්‍රට හැකි විය. මේ කාලය වන විට ඔහුගේ නමෙන් ‘බ්‍රහ්මචාරී’ යන කොටස සැබවින්ම හළා දැමිය යුතුව තිබූ බව විචාරකයෝ කියති. 1975-77 අතර කාලයේ ඔහු දේශපාලනික වශයෙන් ද ඉතාම ප්‍රබල චරිතයක් බවට පත්විය. ඉන්දිරා ගාන්ධි විසින් ඉන්දීය පාර්ලිමේන්තුව විසිරවූ අවස්ථාවලදී ඉන්දිරාගේ බලග්‍රහණය රැක ගැනීම සඳහා උපදෙස් ලබාදුන්නේ ඔහු විසින් බව කියැවේ. තවද ඔහු ඉන්දිරාගේ උපදේශකවරයෙකු විය. ඉන්දියාවේ පාසල් විෂය නිර්දේශවලට යෝගා පාඩම් හඳුන්වාදීම සිදුවුණේ ද මේ යුගයේ ය. ඔහු එකල කොතරම් ප්‍රබල අයෙක් වී ද යත්, ඇමරිකාවෙන් පුද්ගලික ගුවන් යානාවක් මිලදීගත් බවට කතාවක් ද තිබිණි. නමුත් සාමාන්‍යයෙන් සිද්ධ වන ලෙසටම නඩු තබා චෝදනාවක්වත් ඔහුට විරුද්ධව පැවරුණේ නැත. මිය යන තෙක්ම සැපවත් ජීවිතයක් ගත කිරීමට තරම් ධනයකින් ආඩ්‍ය වී සිටි ධිරේන්ද්‍ර, 1991 වසරේ මරණයට පත්වූයේ ද සිය පුද්ගලික ජෙට් යානාව කඩා වැටීම නිසා ය. ‘පියාඹන සාමි’ අවසන් ගමන් ගියේ ද පියාඹමින් සිටින අතරවාරයේ යැයි සමකාලීන දේශපාලන විචාරකයන් සෝපහාසයෙන් යුතුව කියා තිබේ.

මේ, මාතායි ඉන්දිරා ගැන ලියූ පරිච්ඡේදයෙන් උපුටා ගත් කොටස් කිහිපයකි.

“ඇයට ක්ලියෝපැට්‍රාගේ නාසය ද, පව්ලීන් බොනපාට්ගේ දෑස ද වීනස්ගේ ළය මඬළ ද තිබේ. කායිකව මෙන්ම මානසිකව ද ඇය ගැහැනියකට වඩා පිරිමියෙකු වූවාය... මා ඇයව මුලින්ම දුටුවේ ඇගේ දෙමාපියන්ගේ නිවසේදී 1945 ශීත සෘතුවේදී ය. එවිට ඇය නිතර හඬන-බඩගාන ළදරු පුතෙකුගේ මව වූවාය... මා ඇය දකින විට මට දැනුනු පළමු හැඟීම වූයේ ඇගේ මුහුණ පුරා අසතුට පිරී ඇති බවයි. 1946 වසරේ ඇගේ පියා ඇයට කුඩා ඔස්ටින් රථයක් මිලදී ගෙන දුන්නාය. ඇයට රිය පැදවීම උගැන්වීම මට භාර විය... දිගු කලකට පෙර සැමියා සමග සබඳතාවයන් පැවැත්වීම අත්හැර දැමූ බවත්, වාසනාවකට මෙන් සැමියාට දැන් කාන්තාවන් ගැන කිසිම උනන්දුවක් නැති බවත්, මා සිපගන්නට තිබෙන උවමනාව වළක්වා ගන්නට තමන්ට බැරි බවත් ඇය මට කීවාය..”

එදා එසේ තමන් පෙම් බැඳි ඉන්දිරා ප්‍රියදර්ශනී, උස මිනිසා සමග යහන්ගත වී සිටින අන්දම දුටු මාතායි ගල් වී එක තැන නතර වුණේය. “මට ඔබට යමක් කියන්න තියෙනවා. ඒත් මම ඒක පස්සෙ කියන්නම්” යැයි පැවසූ ඔහු ආපසු හැරී ගියේය. ඔහු කිසිදා ඒ කියන්නට ආ කතාව කිව්වේ නැත.

ඉන්දිරාගේ ජීවිතයේ නැගීම් සහ වැටීම් මාතායි බලා සිටියේය. “මම මී මැසි රැජිනට කැමතියි” යනුවෙන් ඇය නිතර කියන්නට පුරුදුව සිටි බව මාතායි කියයි. මාතායි පොතේ පරිච්ඡේදය අවසන් කරන්නේ මෙසේ ය. “මම ඇය සමග ගැඹුරු ලෙස ආලයෙන් බැඳී සිටියෙමි”!!

මිනිසුන් තමන් කියන දෙයින් බැඳෙති. කරන දෙයින් ඊටත් වඩා බැඳෙති. නමුත් කරන දෙයම කිව යුතුය හෝ කරන දෙයම කිව යුතුය කියා නීතියක් කොහේවත් නැත. අපරාධ නඩුවක හොඳම සාක්ෂිකරු වින්දිතයාම වන්නා සේ මාතායිගේ නඩුවේ හොඳම සාක්ෂිය මාතායි ම ය. අනෙක් අතට ඉන්දිරා ප්‍රියදර්ශනී, කසාද සැමියා වූ ෆේරෝස් සමග පමණක් යහන්ගත විය යුතුව තිබුණා කියා නීතියක් කුමන පොතකවත් තිබුණාද?

-ක්‍රිෂාන්ති රාජපක්ෂ

Top