1150 x 80 px

සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ: ඇය ඇයමය!

සදුදා සවස කොට්ටාව, හිරිපිටිය පාරේ සිට මා ත්‍රි රෝද රථයකින් කොළඹ නගරය වෙත පැමිණියෙමි. ඒ ආදරණිය සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ මුණ ගැසීමෙන් අනතුරුවය. ගමනාන්තය වෙත ලගා වෙමින් සිටියදී මම ත්‍රි රෝද රථ රියදුරු වෙත පැනයක් යොමු කලෙමි. “සිංහලේ ස්ටිකරයක් රථයේ ඇලවීමට කැමති නැද්ද?”. ඔහු පැවසුවේ, “මගේ නම අජිත්. මම උදේ- සවස බුදුන් වදිනවා. එත් මම සිංහ ලේ තියන කෙනෙක් නෙවේ. ලංකාවේ අපි කාටවත් සිංහ ලේ තියෙන්න විදිහක් නෑ. හේතුව, කුවේණිව කැලේට එලවලා, රජකම නීතිගත කරන්න විජය රජු භද්දකච්චානා ගෙනාවා. භද්දකච්චානායි – විජයයි දෙන්නාම ආවේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ කොහෙන් ආවත් දෙමළ මිශ්‍ර කට්ටියනේ එයාලා. ඒ දෙමළ මිශ්‍ර දෙන්නාගෙන් එන අපි කොහොමද සිංහල වෙන්නේ. අපිත් දෙමළ නේ”.

එහෙනම් අපි හැමෝම දෙමළ!!!. මා හිතවත් සම්පත් සමරකෝන්, ඔබ මට වරක් පැවසුවේ, දෙමලු ගැන කතා කරන්න අපි දෙමළ විය යුතුම නැති බවයි. එහෙත් අපි දෙමළ ජාන සමග ඉපදී තිබේ නම්?

මගේ කතාව දෙමළ වීම ගැන නෙවේ. එහෙත්, දෙමළා හා සමානව අරගලයක වන ගැහැණියක් පිළිබදවය. ඇය කමල්ගොඩ මුදලිගේ සන්ධ්‍යා ප්‍රියංගනී ය. සන්ධ්‍යා මට මුණ ගැසුණේ, ප්‍රකාශන අයිතිය සුරැකීම වෙනුවෙන් කොටුවේ දී කළ උද්ගෝෂණයක දීය. ඇය මුණ ගැසීමට හිරිපිටියට යාමට මා පෙළඹු කරුණක් විය. එනම් දෙමළ නොවූ ඇයගේ අරගලය ජනතාවට සන්නිවේදනය කිරීමය. කොළඹ උපත ලබා, අධ්‍යාපනය අ.පො.ස. සා/පෙළ ඉගෙන ගනිමින් කොළඹ ජිවත් ව සිටි ඇය, මව සහ සහෝදර සහෝදරියන් සමග පසුව, ගාල්ලේ තම ගමට ගියාය. ගමේ නොසිට නැවත 1987- 88 අවධියේ කොළඹ ආවේ රැකියාවක් සොයා ගැනීමේ සහ අවසන් නොකළ අධ්‍යාපනය නිම කිරීමේ අභිලාෂයෙනි. කොළඹ, මාළු ඇම් (Fishing Flyer) සැදීමේ කර්මාන්ත ශාලාවේ ශ්‍රමිකයකු වී ඇය සේවා බලකාය වෙත එක්විය. ලැබෙන වැටුපෙන් පවුලේ අවශ්‍යතා ඉටු කිරීමට ඇය වග විය. කර්මාන්ත ශාලාවේ සේවක සුභ සාධයනය වෙන්වෙන් වූ සාකච්ඡාවක දී ඇය, සේවක/ සේවිකා පරිහරණය උදෙසා පුස්තාකාලයක් පවත්වා ගැනීමට යෝජනා කළාය. ඉන් ඉක්බිතිව ඇය බිත්ති පුවත් පතක් ද කර්මාන්ත ශාලා සේවක/ සේවිකාවන් වෙත හදුන්වා දෙනු ලැබුවේ, අදහස් ප්‍රකාශනය වෙනුවෙන් අවකාශයක් නිර්මාණය කරමිනි.

උදේ-සවස වැඩ නිමව යන මාවතේ දී ඇයට මොනිකා රුවන්පතිරණ මුණ ගැසුණි. මොනිකා සමග වූ සංවාද මගින් ඇය ජීවිතය අලුතින් කියවීමට උත්සාහා කළාය. එවකට වූ ආසියානු සංස්කෘතික සහ පර්යේෂණ මධ්‍යස්‌ථාය වෙත යන සන්ධ්‍යා ප්‍රියංගනීට තමා ඥානයෙන් සවිබල ගන්වා ගැනීමට හැකිවේ. එසේම, ඒකල ස්ත්‍රී මධ්‍යස්ථානය වෙත යන ඇය, ශ්‍රමික සහ මානව අයිතීන් වෙනුවෙන් හඬ මහජන අන්තරය තුලට ගෙන යාමට ක්‍රියා කරයි. පද්මිණි වීරසුරිය, සුමිකා පෙරේරා වැනි සමකාලින සටන් සගයන් සමග එක් වී පොදු පරමාර්ථයන් සහ ගුණාංගයන් වෙනුවෙන් වන අරගලයේ පංගුකාරියක වේ. රණසිංහ ප්‍රේමදාස ජානාධිපතිවරයා, ඇගලුම් කම්හල් 100 ව්‍යපෘතිය මගින් තුරුණු ශ්‍රමය, ගෝලීය ධනවාදී නියෝජිතයන්ට සුරා ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන විට, තමන් ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේ ශක්‍යතාව, කම්කරු පන්තිය වෙත ලබා දීමට ඇය කටයුතු කළ ආකාරය ප්‍රකාශ කරේ මෙසේය; “මම අටට වැඩට ඉන්න ඕනේ. ගෙදරින් හතට ඇවිත්, බෙල්ලන්විල පන්සල පාරේ අත්පත්‍රිකා බෙදුවා. පත්‍රිකා වල තිබුනේ දැනුම. එනම් සූරා කෑමට විරුද්ධව නැගිටීම පිළිබද දැනුම. ඒ හරියේ තිබුනා තිසර ගාමන්ට් කියලා එකක්. එකේ හරියට දුෂණ වංචා සහ සූරාකැම් තිබුණා. අභියෝග ආවත් ,මම වැඩේ අත හැරියේ නෑ. මම විශ්වාස කරපු දෙයක් තිබුනා. ඒ තමා යුක්තිය. අසාධාරණයට විරුද්ධව යුක්තිය”.

ඇය යුක්තිය සොයා ගියේ, මේ රටේ එක් අදුරු අවධියකය. එදා ප්‍රචණ්ඩත්වය උතුරේ මෙන්ම දකුණේ ද දෛනික චර්යාවක් විය. ජ.වි.පෙ. මර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ත්‍රස්තවාදය මැදිහත් වූ අතර දෙමළ ආණ්ඩු විරෝධි කැරලිකරුවන් මර්ධනය වෙනුවෙන් ඉන්දීය රාජ්‍ය ත්‍රස්තවාදය මේ අවධියේ දී ක්‍රියාත්මක විය. සිවිල් ජනයා තුන්ඩු කෑල්ලෙන් සහ තුවක්කුවෙන් පාලනය විය. උතුර මෙන්ම දකුණ ද දැඩි පිඩාවකට විෂය වී තිබුණේය. එවැනි අදුරු අවධියක, සන්ධ්‍යා ප්‍රියංගනී, ගැහැණුකම අවියක් කරගනිමින්, අනෙකා ගේ යුක්තිය වෙනුවෙන් පොදු දේශපාලනයේ සක්‍රිය විය. පොදු ගුණාංග වෙනුවෙන් සක්‍රිය වූ ඇය අවසානයේදී පෞද්ගලික දේශපාලනයේ වින්දිතියක් විය. ස්ත්‍රී මධ්‍යස්ථානයේ වූ අයුක්තිය සහ අශිෂ්ට දේශපාලනය ප්‍රශ්න කිරීමට යාම හේතුවෙන් ඇයව මධ්‍යස්ථානයෙන් නෙරපන ලදී.

ඇයට ඔහු හමුවන්නේ මේ අවධියේ දීය. කොළඹ කොටුවේ මධ්‍යස්ථාන කාර්යාලයට යනවිට ඔහු සත්‍යජිත් රායිව සිතුවම් කරමින් සිට ඇත. ඇය දෙස වරක් හිස ඔසවා බලා නැවත තම කාර්ය වෙත ඔහු අවධානය යොමුකළ බව, මා සමග සිනාසෙමින් ඇය පැවසිය. ඔහුගේ කාර්ය අවසන් වූ පසුව “සහෝදරි කොහෙද යන්නේ” යැයි ඇසු කතාව 2010 ජනවාරි 24 තුරුම එකිනෙකා වෙනුවෙන් වූ ප්‍රේමයකින් විය. “ප්‍රගීත් මගේ හොද යාලුවෙක්. අපි සිනමා පට බලන්න ගියා. අපි එකිනෙකාට උදව් කරගත්තා. ගරු කරා. අවස්ථා තිබුණා එකිනෙකා සමග එකග නොවන. එත් අපි දෙන්නාටම පොදු විශ්වාසයක් තිබුනා. ඒ වෙනුවෙන් අපි අරගලයක් කරා”.

1992 දී ප්‍රගීත් එක්නැලිගොඩ සමග විවාහ වූවද සන්ධ්‍යා තව දුරටත් සන්ධ්‍යාම විය. ඇය ස්වාධිනත්වයට මෙන්ම අන්තරායත්වයට ද ප්‍රේම කළාය. ප්‍රගීත් රෝගී ව පිඩාවෙන් පෙළෙන විට ඇය ඔහුව රැක බලාගත්තාය. Egal රක්ෂණ සංස්ථාවේ වැඩ කරමින්, ප්‍රගීත් සමග උරනුර ගැටී ජිවිත සටන ගෙන ගියාය. දෙවැනි දරුවා ලද පසු, රැකියාවෙන් ඉවත්වන සන්ධ්‍යා ආදරණිය මවක් සහ බිරිදක් වෙමින් ප්‍රගීත් සමග එකට විසුවාය.

“මම ප්‍රගීත් ව ජිවත් කරවනවා. එයා අතුරුදහන් කරා. ඔව්. ප්‍රගීත් දැන් මේ දොරෙන් අතුලට එන්නැ. එත් එයා මගේ ලග හැමදාම ඉන්නවා. මම ප්‍රගීත් ගේ අතුරුදහන් කිරීම අතුරුදහන් වෙන්න දෙන්නේ නෑ. මගේ ශක්තිය ප්‍රගීත්ගේ ආදරය. එයාට යුක්තිය ඉටු විය යුතුයි” ඇය ඉතා දිදුලන දෑසින් යුතුව කීවාය. “මගේ අරගලය දරුවෝ පිටරට යවන්න නෙවේ. මගේ අරගලය ඩොලර් හොයන්න නෙවේ. මගේ අරගලය ආණ්ඩුව වට්ටන්න නෙවේ. මගේ අරගලය ප්‍රගීත්ට යුක්තිය ඉටු කරන්න. එයාට මොකද වුනේ කියන උබතෝකොටියට පිළිතුරු සොයා ගන්න”.

ඇයට ඉතා අශිෂ්ට භාෂාවෙන් අමතා කරන ලද විද්‍යුත් පණිවිඩ සහ හඬ පට ලැබී ඇත. ඇය, එකී පණිවිඩ හමුදා ශ්‍රමිකයන්ගෙන් ලත් බව සඳහන් කළාය. එවිට මට සිතුනේ, හමුදා ශ්‍රමිකයන්, ස්ත්‍රීන්ට ගරු කිරීමේ ඉගැනුමෙන් වියුක්ත ද? ඔවුන් දන්නේ අත ඔසවා ධූරාවලියේ ප්‍රධානීන්ට අචාර කිරීම පමණද? එතරම් හැදියාවක් නොමැති හමුදා ආයතනයක් ද , චීවර සහ යහපාලන ආණ්ඩුවේ සමහර ක්‍රියාකාරීන් රැකීමට උත්සුක වන්නේ ඇයි?

සන්ධ්‍යාට ඇත්තේ හුදෙක් තම ආදරණිය ජිවන සහකරුට යුක්තිය ඉටුකිරීමේ අරගලය පමණක් නොවේ. ඇයගේ ස්ත්‍රී බව, ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවේ දී අභියෝගයකි. පිතෘ මුලික සමාජ ක්‍රමය තුළ වන නීති සහ නීතිය සහ යුක්තිය ආරක්ෂා කිරීමේ ආයතන සහ පුද්ගලයින් ද , සන්ධ්‍යාව හුදෙක් ස්ත්‍රී පංචස්කන්ධයක් ලෙස පමණක් බාරගෙන ඇත. සන්ධ්‍යා මෙන්ම අනෙක් බොහෝ ස්ත්‍රීන් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව පිළිගනු ලබන්නේ වෛශ්‍යාවන් ලෙස සහ දේශපාලනිකව වැදගත් නොවන කණ්ඩායමක් ලෙසිනි. උදාහරණ ලෙස , අශිලාචාරව සහ ප්‍රචණ්ඩත්යෙන් උසාවි භූමියේදී, සන්ධ්‍යා අමතන ලද ගලබොඩඇත්තේ ඥානසාර චීවරධාරියා, සිංහල බෞද්ධ ආගම රැකීමේ වීරයෙක් ලෙස අස්ගිරිය පන්සල් ප්‍රධානින් හදුනාගනී (http://www.dailymirror.lk/article/Asgiriya-chapter-issues-tough-statement-131273.html). එය පන්සල් ප්‍රධානින් විසින් සමස්ත ස්ත්‍රී ප්‍රජාවම අවමානයට ලක් කිරිමකි. එසේම සමස්ත ශ්‍රී ලාංකික ස්ත්‍රීන්ගේ ම දේශපාලන ක්‍රියාකාරිත්වය සහ යුක්තිය වෙනුවෙන් වන හඬ යටපත් කිරීමකි.

ඔබ ගලබොඩඇත්තේ ඥානසාර චීවරධාරියාගේ සහ ඔහුගේ අනුගාමින්ගේ මහජන අවකාශයේ හැසිරීම අධ්‍යනය කරන්න (https://www.youtube.com/watch?v=xRoS6fwig5w). ඔවුන්ට අනුව දැන් ඇත්තේ වනචාරි නීතියක් සහ නපුංසක ආණ්ඩුවකි. (https://www.youtube.com/watch?v=CqwgZ1Xbemg). නපුංසක ලෙස හැදින්වූ ආණ්ඩුවේ ප්‍රධානින් වන විජයදාස රාජපක්ෂ වැනි මහජන මුදලින් ජිවත්වන ඇමතිවරුන්ම, මෙකි නපුංසක නොවේ යැයි සිතා සිටින බලසේනා ප්‍රධානින් වෙනුවෙන් නීතිය නිශ්ශබ්ද කිරීම හිරිකිතය. එයින් ගම්‍යවන්නේ, බලාසේනාව විසින් ආණ්ඩුව වෙනුවෙන් කළ අර්ථකථනයේ යථාර්තවාදී බව නොවේද?. මෙහිදී මා ගල්බොඩඇත්තේ චීවර තෙමේ ගේ එක් ප්‍රකාශයක් සමග එකඟවෙමි. හෙතෙම, හමුදාපති නිදි යැයි පවසන අතර සන්ධ්‍යා එක්නැලිගොඩ වෙතත් නීතිය ක්‍රියාත්මක විය යුතුබව පෙන්වා දෙයි. එය එසේමය. හමුදාපති නින්දෙන් අවධි වී, ශ්‍රී ලංකා හමුදාවේ කීර්තිය විනාශ වන ලෙස, දේශපාලකයන්ගේ අවශ්‍යතා මත, පුරවැසියා පිඩාවට පත්කල, ලේකම් අතකොළුවන් වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේම, සන්ධ්‍යා එක්නැලිගොඩ වෙනුවෙන් ද සමානව නිතිය ක්‍රියාත්මක කර සාධාරණය ඉටු කර දිය යුතුය. එසේම රාජ්‍ය පරිපාලකයන් ද සිතිය යුතු කරුණක් වේ. එනම් දේශපාලනීකරණය හේතුවෙන් දැනටත් ජරා වාස වී ඇති රාජ්‍ය පරිපාලනය, කහ සිවුරේ බලයකට යටත් ව වින්දිතබාවයට පත් වීමෙන් මිදීමය. රාජ්‍ය පරිපාලකයන් වර්තමානයේ දී ද දේශපාලකයන් ඉදිරියේ දෙකට නැවි වැඳ වැටේ. එයම ඔවුන් තවත් බල කාණ්ඩයක් වන චිවරධාරීන් ඉදිරියේදී ද කළ යුතු ද නොඑසෙනම්, තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කළ යුතු දැයි තීරණය කළ යුතුය.

මට සන්ධ්‍යා වෙනුවෙන් කිව හැකි කතාවේ අවසානය මෙයයි. ඇය තවත් එක් සැබෑ ධෛර්යවන්ත ගැහැණියකි. 1987 දී අවසාන කිරීමට නොහැකි වූ ඇයගේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඇය සම්පුර්ණ කරනුයේ කිසිදු විධිමත් අධ්‍යාපන ආයතනයක් වෙත නොගොස් 90 දශකයේය. අද ඇය, විවෘත විශ්වවිද්‍යාල යේ සමාජ විද්‍යා උපාධිය හදාරයි. නිකන් ලැබෙන දානය හෝ වෙනත් දීමනා නොමැති ඇය, දරුවන් දෙදෙනෙකු ද හදා ගනිමින්, සැමියා වෙනුවෙන් වන අරගලයක් ජිවත් කරමින් ඇය ඇය වීමට උත්සාහා කරයි.

1987 දී ඇය තමා අත්විදි පරිසරය පිළිබද ලිවූ කවියක් මට පෙන්විය.

තවද විමසීමක්

අවිදු අදුරු පැටල ඉරා
තුන් බිය ගින්නෙන් වල වැදී
විසාලා පුරයට කරුනාවෙන් සෙත සලසා
අංජලි කරණියෙන් පුදලද
බුදු පියාණනේ……!
දරු ගින්නෙන් වියරු වැටී
පුතු මළකඳ තුරුළු කරන්
විකල්ව විදියේ දිවගිය
කිසා ගෝතමී මෙත්තාවෙන් සුවපත් කළ
බුදුනි තිලෝගුරු
ගිනිගෙන දැවෙනා දම් දිවයින
බල ලොබින් හා ඉසිකෝ මානේන්
රජුන් මැතිදුන් හා දනන්
භේදවා උනුන් වනසා ගන්න සැරසි වග
නුදුටුවේ මන්දැයි පහදනු
සුගත හිමි.
සුතසොමලාගෙන් හිස් රට
බඹ දත්වරු අරක් අරන්
උන් මනදොලසපුරනු වස්
විදි පුරා තැන තැන සැදී සොහොන් පල්ලෝ
පුතුගේ ඇටකටු සොයමින් වෙහෙසෙන
කිසා ගොතමියෝ සරණා බැව්
දිනෙත මානෙට නාවේ කීම
සුගත් හිමියනේ…..
මෙපුවත් පහද ගන්නට
උන්ට අවැසි වූ මෙදිනේ
ඇස හිස් මස් දැන් දෙන්නට
පරාර්ථ වූ නුඹ කිමොදෝ
නිවනේ දොරගුළු ලාගෙන
මමත්වයෙන් අගපත් ලෙස
බුදු පියාණනේ!

කවිය කියවා මා ඇගෙන් ඇසුවේ එය දෛවය ද නොමැති නම් අපේ රටේ දේශපාලනය චක්‍රයේ ස්භාවයද? බුදුන් ගේ ධර්මයෙන් දුක් නිවා, අසරණ සරණ වීමට සිටින යතිවරයන්, අද කිසාගෝතමියන්ට එලව එළවා පහර දෙයි. බුදු හිමියන් මෙන් නිවනේ අගලු දමාගෙන කිසාගොතමියන් පිටමන් කර ඇත. සන්ධ්‍යා මෙය ලියන්නේ 1987 පැවති දේශපාලන වාතාවරණය තුළ අතුරුදහන් වූ දරුවන් ගේ මව්වරුන් වෙනුවෙනි. ඒදා ලිවූ කව අද තමාටත් වලංගු වේ යැයි ඇය නොසිතන්නට ඇත. එහෙත් අප සිතිය යුතුය. මේ මොහොතේ පවතින අතුරුදහන් කරනු ලැබූවන්ගේ ගැටලුව නොවිසදුව හොත්, ඔබ ද හෙට ඔබේ දරුවන් සහ සැමියන්ගේ අතුරුදහන් කිරීම් හි සැබෑ තොරතුරු සොයා මහමඟ ගැවසෙන විට, චීවර හෝ වෙන්ත බලය සහිත කණ්ඩායම් හි ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් වනු ඇත.

අරුණි සමරකෝන් | Aruni Samarakoon

http://www.vikalpa.org

Top