1150 x 80 px

ලාඕසය: ජනගහනයක පළා යාම
වියෙට්නාමයේ බෝට්ටු ජනතාව ගැන ලොව බොහෝ දෙනෙක් යාන්තමින් හෝ දැන සිටිය ද, 1975 දී වියෙට්නාමයට පසුව කොමියුනිස්ට් වූ ලාඕසයේ ජනගහණය පළා ගිය ආකාරය දන්නේ ස්වල්ප දෙනෙකි. ඔවුන්ට රටෙන් පැන යන්නට කළ යුත්ත වූයේ මීකොන් ගඟ හරහා තායිලන්තයට ගොඩ වැදීම පමණි. ලාඕස් ජනගහණයෙන් බහුතරය මිකොන් ගඟ ආශ්‍රිත මිටියාවතේ වාසය කළ නිසා එය ඉතා පහසුවෙන් හා ඉක්මණින් කරන්නට ඔවුනට හැකියාව ලැබිණ.
පළා යද්දී වෙඩි තැබීම සාමාන්‍යයක් වුවත්, ලක්ෂ 3 ක ජනතාවක්, එනම් එහි ජනගහණයෙන් 10% ක් රටෙන් පළා ගියහ. ලාඕස් වැසියන් අතර වූ මොන්ග් ජන වාර්ගිකයන් 30% කට වඩා පිරිසක් රටෙන් පිටමං වූහ. රට හැරදා ගිය ජනගහණයෙන් 90% ක් විද්වතුන් ද, තාක්ෂණික දැනුමැතියන් ද, රාජ්‍ය නිලධාරීන් ද වූහ. ලාඕසයට වඩා වැඩි පිරිසක් එසේ ආසියාවේ රටකින් පළා ගොස් ඇත්තේ 1950-53 කාලයේ දී උතුරු කොරියාව කොමියුනිස්ට් වෙද්දී පමණි.
 
හෝ චී මින්හ් ගේ යුද සැපයුම් මාර්ග වැටී තිබුණේ ලාඕසයේ නැගෙනහිර පළාත් හරහා විය. ඒවා කඩාකප්පල් කරන්නට ඇමෙරිකන් යුද හමුදාව දිගට හරහට ඒ පැත්තට බෝම්බ දැමූහ. මොන්ග් ජනතාව ඇමෙරිකන් බුද්ධි අංශ වලට ඔත්තු සැපයූහ. ඇමෙරිකාව ඔවුනට අවි සැපයූහ. 1975 වෙද්දී නැගෙනහිර පළාත මුළුමනින්ම වාගේ කොමියුනිස්ට් පාලනය යටතට ගත්ත ද, එහි වූයේ රටේ ජනගහණයෙන් තුනෙන් එකක් පමණි. බහුතරයගේ වාසස්ථාන වූයේ බටහිර පෙදෙසේ මීකොන් ගඟ ආශ්‍රිතවය.
 
ලාඕස් හි පාලනය කොමියුනිස්ට් වීම සාමකාමී අන්දමකින් සිද්ධ විණ. අගමැති ලෙසින් කටයුතු කළ Souvanna Phouma, නව රජයේ විශේෂ උපදේශකයෙක් ලෙසින් වැඩ බාර ගත්තේය. හිටපු දක්ෂිණාංශ රජුගේ ඥාතියෙක් වූ සුපානුවොන්ග් කුමරා පාලනයේ මුලසුන ගත්තේය. ‘ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය’ නමින් ආරම්භ කරන ලද ලාඕසය වියෙට්නාම් මොඩලය අනුකරණයට පටන් ගත්හ.
 
පරණ රජයේ සියළුම රජයේ නිලධාරීන්ව, 30,000 ක පමණ පිරිසක්ව, ඈත පිටිසර උතුරු මායිම්බදව සහ වියෙට්නාම් මායිම්බදව “නැවත ඉගෙනීම” සඳහා ඉදිකරන ලද කඳවුරු වලට ගාල් කරන ලදි. බොහෝ දෙනෙක් ඒවායේ වසර පහක් පමණ රඳවා තැබිණ.
 
ඉතා දරුණු අපරාධකාරයන් හැටියට ලේබල් වූ පොලිස් සහ හමුදා නිලධාරීන්ව Nam Ngum දූපත්වල ඉදිකළ කඳවුරු වලට යැවිණ.
 
රජ පවුල අත් අඩංගුවට ගැනෙන්නේ 1977 දී ය. අවසාන රජ කුමරා අත් අඩංගුවේ සිටිය දී මිය ගියේය.
 
වියෙට්නාමය හා ලාඕස් අතර දකින්නට තිබුණ ප්‍රධාන වෙනස වූයේ වියෙට්නාමයට නොතිබූ කොමියුනිස්ට් විරෝධී ගරිල්ලා භට හමුදාවක් ලාඕසයට සිටීමයි. මොන්ග් ජන වාර්ගිකයන් දහස් ගණනක සංඛ්‍යා වලින් එම ගරිල්ලා හමුදාවේ සිටියහ. විශාල වශයෙන් රට හැරදා පළා යන අයට සහාය වෙමින් ඔවුන් ද රටෙන් පළා ගියහ. කඳුකර පෙදෙස් වලින් එසේ පළා ගිය මොන්ග් ජනතාව අතරින් වෙඩි කා මිය ගිය, හෝ හාමතෙන් මිය ගිය සංඛ්‍යාව 45,000 ක් පමණ යැයි සැලකේ.
 
1991 වසරේ දී පවා තායිලන්තයේ සරණාගත කඳවුරුවල කඳුකරයෙන් ආ මොන්ග් ජන වාර්ගිකයන් 45,000 ක් ද, වෙනත් ලාඕස් වැසියන් 55,000 ක් ද ගමනාන්ත තීන්දු වෙන තෙක් බලා සිටියහ. සමහර අය පසුකාලයක දී ප්‍රංශ ගයානාවේ පදිංචිය ලබාගත්හ.
 
පක්ෂ ශුද්ධ කිරීම් ලාඕසයේ කිහිප වතාවක් සිද්ධ වූවත්, ඒවා ලේ හැලීම් වලින් තොර වූහ. වරක් චීනය සමඟ බහින්බස් වීමක් නිසා 1979 දී ද, නැවතත් 1990 දී නැගෙනහිර යුරෝපය අනුගමනය කරන්නට ගිය පියවරක් හැටියට ද, ඒවා සිද්ධ වූහ. ඒත් තායිලන්ත මායිම් විවෘත වීමත්, වියෙට්නාම් සොල්දාදුවන් 50,000 ක් ලාඕසයෙන් පිටත් වී යාමත්, ලිබරල් ආර්ථික පිළිවෙත් ගණනාවකට ඉඩ ලැබීමත් නිසා ලාඕසයේ කල දසාව යහපත් අතට හැරිණ.
 
කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩා අඩු වී තිබුණ ද, දේශපාලන සිරකරුවන් එතරම් නොවූව ද, කොමියුනිස්ට් පාලනය කාලයේ රට හැර ගිය ධනවත්, උගත් ජනගහණය නැවත ලාඕසය බලා පැමිණියේ නැත. අදත් ලාඕසය ඉතා දුප්පත් සහ පසුගාමී රටක් ලෙසින් පවතී.
 
සටහන ලිව්වේ කොමියුනිස්ට්වාදයේ කළු පොත ඇසුරිනි. දත්ත සහ මූලාශ එයින් ලබාගත හැකියි.
 
 
Top