1150 x 80 px

පෝතක බාලදක්‍ෂයා
නාලන්දා විද්‍යාලයේ පෝතක බාලදක්‍ෂ සංගමයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මම 1974 කාලයේදී පෝතක බාලදක්‍ෂයෙකු වූයෙමි. ඒ කාලයේ මම සිටියේ දෙක වසරේය​. මා සමග පෝතක බාලදක්‍ෂයන්ව සිටි සිසිර දාබරේ , සුනන්ත වික්‍රමසූරිය , හර්ෂ මෙන්ඩිස්, මනෝජ් නීලාංග , විරාජිත් ෂාමේන්ද්‍ර බොයිස් ,ජනක් චන්දිම සිරිතුංග ,ගැමුණු ජයසීල  ආදීන්   මට මතකය​. අප පෝතක බාලදක්‍ෂයන් වූ කාලයේදීම මැල්කම් මහතා විසින් රැස්වීමක් පවත්වන ලදි. එම රැස්වීමේදී පෝතක බාලදක්‍ෂ අරමුණු පැහැදිලි කරන ලදි. මෙම රැස්වීමට බොහෝ දෙමාපියන් ද සහභාගි වන ලදි. 
පෝතක බාලදක්‍ෂ සංගමයේ ආචාර්‍යවරියන් කිහිප දෙනෙකුද වූවාය​. ඔවුන් අතරින් ගුණරත්න මිය , විජේසිංහ මිය , මට සිහිපත් වෙයි. තවද සෙනෙවිරත්න මහතා පෝතක බාලදක්‍ෂ සංගමයේ ආචාර්‍යවරයෙකු ලෙසට කටයුතු කලේය​. අප මෙම පෝතක බාලදක්‍ෂ ආචාර්‍යවරියන් ආකේලා කියා හැඳින්වූයෙමු. පෝතක බාලදක්‍ෂ සංගමයේ තවත් නම අමතක ගුරුවරියක්ද සිටි අතර ඇය මට හතේ පන්තියේදී සමාජ අධ්‍යනය ඉගැන්වූවාය​. තව එක් ගුරුවරියක් අපට නිතර සිනා යන කතන්දර කීවාය​. පසුව ඇය පසුව සර්වෝදයේ සේවයට ගියාය​. 
 
අපගේ පෝතක බාලදක්‍ෂ පුහුණුවීම් පැවැත්වූයේ විද්‍යාලයේ කණිෂ්ඨ අංශයේ භූමි භාගයකය​. මේ කාලයේ විද්‍යාලීය නව නේවාසිකාගාර හෝ අපගේ අට වසරේ පන්ති පැවැත්වූ බොරැල්ල දුම්‍ රිය නිල නිවාස ආසන්නයේ තිබූ පස් මහල් ගොඩනැගිල්ල තිබුනේ නැත​. එකල එම භූමිය කුඩා කැලෑරොදකි. මේ නිසා අපට දුව පැන අැවිදීමට හැකියාව තිබුනේය​. එය මධ්‍යයේ  ගරා වැටුණු පරණ කාමරයක් වැනි ගොඩනැගිල්ලක් විය​. එම ගොඩනැගිල්ල කැලෑබත්ව තිබූ අතර එය වටා ගඳපාන ගස් තිබුනේය​. 
 
අප සියළුදෙනා පැක් හයකට පමණ බෙදා තිබූ අතර දිනය අවසන් කිරීමට පෙර මෙම පැක් සියල්ලේම සිටි බාලදක්‍ෂයන් ජය ඝෝෂා කරමින් එක් ස්ථානයකට දිව විත් කෙටි රැස්වීමක් පවත්වති. වරක් මෙම රැස්වීමකදී හර්ෂ මෙන්ඩිස් ගේ හිසට කාක්කෙක් වර්චස් පිඞක් හෙලුවේය​. හිස පාත් කරගත් හර්ෂ ටැප් එකක් සොයා දිව ගියේය. 
 
මෙම​ පන්ති පවත්වන ලද්දේ බදාදා පාසල් වේලාවෙන් පසුවය​. මේ නිසා පෝතක බාලදක්‍ෂ හෙවත් කබිං තිබූ දවස් වලට අප දවල්ට කෑමට බත් ගෙනාවෙමු.  පාසල අවසන් වූ වහාම අප දිව ගොස් අත් සෝදා පොත් බෑග් ඇර කෑම පාර්සල් දිග හැර ගන්නෙමු. මම , දාබරේ , චන්දික විජේසේන , නන්දන මෙලෙස එකට එක්වී කෑම කෑවෙමු. සමහර දින වල මා ගෙන ආවේ සැන්ඩ්විචස් ය​. 
 
මෙම පන්ති වලදී අපට පෝතක බාලදක්‍ෂ නීතිය උගන්වන ලදි. මෙය ආරම්භ වන්නේ මෙසේය​. .... මාගේ ආගමට හා රටට යුතුකම් ඉටු කිරීමටද පෝතක බාලදක්‍ෂ නීතියට කීකරු වීමටද අවංක උත්සහය යොදන බවට මම පොරොන් දු වෙමි. මෙම දිවුරුම  අප සෑම පුහුනුවීම් පන්තියකදී කීවෙමු.  වරක් මම පාසලේදී පුටුවක් උඩට නැග ....මාගේ ආගමට හා රටට යුතුකම් ඉටු කිරීමටද සමන්තගේ වල්ගය කැපීමටද මාගේ අවංක උත්සහය යොදන බවට මම පොරොන්දු වෙමි  කියා කීවෙමි. සමන්ත කීවේ අපගේ කණ්ඩායමේ සිටි සමන්ත කුමාරතුංගටය​. මෙම නව දිවුරුම ඇසූ චන්දික විජේසේන සිනාසුනේය​. නමුත් සමන්ත මට රැව්වේය​. එහෙත් මම මෙම දිවුරුම පුටුවක් උඩට නැග කියනු ඇසුණු අබයකෝන් ටීච මට තරවටු කලාය​. ඉන් පසු මම මේ  දිවුරුම විකෘති කලේ නැත​. 
 
පෝතක බාලදක්‍ෂ පන්ති වලදී අපට නව ක්‍රීඩා උගන්වන ලදි. එසේම බාලදක්‍ෂ ගීතද උගන්වන ලදි. මේ ගීත අතර ...මවුග්ලිගෙ දඩයම ,මවුග්ලිගෙ දඩයම ශෙකාන් මරව් ,ශෙකාන් මරව්. ඌව හම ගසමු ඌව හම ගසමු ලා ලා ලා මෙන්ම පන්ති පන්ති බාලදක්‍ෂ කඳවුරේ සිටියි ගීතයද මට මතකය​. තවද සෙනෙවිරත්න මහතා අපට නේපලී ගීතයක් වන ජම් ජම් ජම් පාරලී මෙන්ම අප්‍රිකානු ගීතයක් වන ...බඳ රොටියන්ක බබ , බඳ රොටියන්ක  ගීතයද ඉගැන්වූයේය​. ඒ සමයේදී අප ගැට ඉගෙන ගත්තෙමු. පිරිමි ගැටය රුවල් ගැටය අසීරු නොවීය​. එහෙත් කොස් පට්ටා ගැටය සහ ජීවිතාරක්‍ෂක ගැටය අසීරු ගැට වූයේය​. 
 
විජේසිංහ ආකේලා අපගේ ඉංග්‍රීසි ගුරුවරිය වූවාය​. මේ නිසා මගේ ඉස්කෝලේ කෙරුවාවල් ගැනද ඇය දැන සිටියාය​. එහෙත් වරක් විශ්මයකට මෙන් විජේසිංහ ආකේලා මාව එක් පෝතක බාලදක්‍ෂ පැක් එකක උප නායකයෙකු කෙරුවාය​. එහෙත්  මගේ බාලදක්‍ෂ කැප් එක ගලවා ගත් හතර පන්තියේ සිටි සිටි ජ්‍යෙෂ්ඨ සිසුවෙකු සමග  මම ගෝරියක් දා ගත් නිසා  සවස් වන විට  මගේ උප නායක තනතුර අහෝසි කරන ලදි. මම යලිත් වරක් සාමාන්‍ය සාමාජිකයෙකු වූයෙමි. පසු කාලයක එනම් 1977 දී අප පහ වසරේ සිටියදී විජේසිංහ ආකේලා ඇමරිකාවේ පදිංචියට ගියාය​. 
 
පෝතක බාලදක්‍ෂයන් ලෙස අප විහාරමහ දේවි උද්‍යානයේ බාලදක්‍ෂ කඳවුරු වලට ගොස් ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂයන් කඳවුරු කරනවා නැරඹුවෙමු. එසේම එක් කඳවුරක් අවසානයේදී තිබූ ප්‍රසංගයේදී නැටුමක් ද ඉදිරිපත් කලෙමු. මෙම නැටුම අපට පුහුණු කරවන ලද්දේ විද්‍යාලයේ නැටුම් ගුරුවරයා වූ වෙලබඩගේ මහතාය​. අපගේ පුහුණු කිරීම් තිබුනේ පාසලේ විශාල ඝන්ටාරය යටය​. මෙතැන කොස් ගසක්ද එකල තිබූ නිසා එය අපට සෙවන දුන්නේය​. පුහුණුවීම් වලදී ලී කෙලි වලට ගන්නා පොල්ලක් අත තබා ගෙන සිටි වෙලබඩගේ මහතා අප නැටුම් පියවරවල් වරද්දන විට තට්ටම් වලට තැළුවේය​. මේ නිසා අප සුපරික්‍ෂාකාරීව නැටුවෙමු.  විහාරමහ දේවි උද්‍යානයේදී අප විවිධ පාසල් වලින් පැමිනි බාලදක්‍ෂයන් හඳුනා ගත්තෙමු. මේ අතර ද්‍රවිඩ පාසල් වලින් ආ දෙමල බස කතා කරන බාලදක්‍ෂයන් ද වූහ​. අප ඔවුන් සමග සිනාසුනෙමු. එහෙත් භාෂාව අප අතර අදිසි බිත්තියක්  ලෙස තිබුනේය​. 
 
සීස් ස්කවුට්සලා හෙවත්  මුහුදු බාලදක්‍ෂයන් මෙන්ම ගුවන් බාලදක්‍ෂයන් ද අපට මුණ ගැසුනෝය​.  මුහුදු බාලදක්‍ෂයන් කතා කලේ ඉංග්‍රීසි භාෂාවෙනි. මගේ එක් වැඩිමහල් සහෝදරයෙකු මුහුදු බාලදක්‍ෂයෙකු විය​. මේ නිසා මම චකිතයකින් තොරව  මුහුදු බාලදක්‍ෂයන් අතරට ගියෙමි. එහෙත් ඔවුන් සාමාන්‍ය බාලදක්‍ෂයන් කෙරෙහි එතරම් තැකීමක් නොකලෝය​. 
 
අප සමග සිටි ජ්‍යෙෂ්ඨ පෝතක බාලදක්‍ෂයන් කීප දෙනෙකුගේ නම් මට තවමත් මතකය​. අප තුන හෝ හතර පන්ති වල සිටියදී ඔවුන් එක වසරක් අපට වඩා ජ්‍යෙෂ්ඨ වූහ​. මොවුන් අතරින් ධම්මික මෙන්ම වරුණව මට සිහිපත් වේ. ධම්මික ගීත කියමින් විනෝද විය​. ඔහුගේ අතේ ඇඟිලි සයකි. ඒ කාලයේ බැංකු පොත්  හිමිව සිටියේ ඉතා සීමිත බාලදක්‍ෂයන් පිරිසකි. වරුණ ඔහුගේ  බැංකු පොත අපට පෙන්වීය​. උසස් පෙළ කරන සමයේදී මට එක් වරක් වරුණව හමු විය​. 
 
අප වරක් මීරිගම බාලදක්‍ෂ මූලස්ථානයට ගියෙමු. මෙම ගමන ගියේ මරදානේ සිට දුම් රියෙන් නිසා එය විනෝද ජනක විය​. අප උදෙන්ම මීරිගම ගියෙමු. මීරිගම කැලෑ රොදවල්ද තිබුනෙන් අප කැලෑ වැදුනෙමු. ඉතා උස මාර ගසක කඹයක් විය​. අප එම කඹයේද එල්ලුනෙමු. අප යලි කොලඹ ආවේ රාත්‍රී හතට පමණය​. මරදානේදී බොහෝ සිසුන් බස් වල නැගී ගෙවල් බලා ගියහ​. මමද සෙනෙවිරත්න මහතාට ගෙදර යන බව පවසා බස් රථයක නැගී ගෙදර ආවෙමි. එහෙත් ප්‍රමාදය නිසා ගෙදර මෙහෙකාරිය මා සොයා විදුහලට ගොස් තිබුනාය​.මෙහෙකාරිය මම තවමත් ගෙදර නා බව කියූ නිසා සෙනෙවිරත්න මහතා රාත්‍රියේ අපගේ ගෙදරට ආවේය​.  මම නිරුපද්‍රිතව ගෙදර සිටිනු දැක ඔහු සැනසුම් සුසුම් හෙළුවේය​.  
 
මේ හැර වරක් අප මොරටුවේ සර්වෝදය මූලස්ථානයට ගියෙමු. එහිදී අපට ආචාර්‍ය ඒ.ටී ආරියරත්න මහතා හමු විය​. සර්වෝදයේදී බතික් වැඩපොලක් ද දුටුවෙමු. සවස් වරුවේදී දෙනෙත් අඳ සර්වෝදය සාමාජිකයෙක් වයලීන් එකක තත් පිරිමදිමින් තොටුපළ අයිනේ ගීතය ගැයුවේය​. එම ගීතයට සෙනෙවිරත්න මහතා ගායකයාට ප්‍රසංශා කරන ලදි. ඉර බැසගෙන යත්ම  සෙනෙවිරත්න මහතාත් සෙසු ආකේලාලාත් අප සියළුදෙනාම පෝලිම් ගස්වා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අසල තිබෙන බස් නැවතුම් පළට ගෙන ආහ​. සෙනෙවිරත්න සර් එතැන තිබූ කඩයකින් අපට චොක්ලට් රෝල් මිලදී ගෙන අපට කෑල්ල බැගින් දෙන ලදි.  ඉන් පසු අප බස් රථයක නැග නැවත විද්‍යාලයට ආවෙමු. 
 
බාලදක්‍ෂ කැට සතිය හෙවත් ජොබ් වීක් එක විනෝදජනක විය අප අහල පහල ගෙවල් වලට ගොස් වැඩ පළ  කොට ලැබූ මුදල් බාලදක්‍ෂ සංගමයට දුන්නෙමු. බොහෝ විට ගෙයක සාලය අතුගෑම​, බිම පොලිෂ් කිරීම වැනි වැඩ අපට දෙන ලදි. ඒ කාලයේ දුන් මුදල නම් සත පනහකි. සමහරු රුපියලද දුන් බව කිව යුතුය​. 
 
මෙලෙස වසර ගනනාවක් පෝතක බාලදක්‍ෂයෙකුව සිටි මම ඉහල පන්ති වලට යන විට ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂයෙකු වූයෙමි. 
 
වෛද්‍ය රුවන් එම් ජයතුංග 
 
Top