1150 x 80 px

බණ්ඩාගේ කොළඹ ගමන part- 02 හෙවත් පොත් ගුල්ලියකගේ බුක් ෆෙයාර් වන්දනාව
මා එදා වේල හම්බ කර ගැනීමට රස්සා වලට යාමට පටන් ගත් මුල් අවධියේම වැටුප බැර වන ගිණුමෙන් තවත් ගිණුමට ස්ථාවර නියෝගයක් දුන්නේ හැම පඩියකිංම 2000ක් වෙනම ගිණුමකට දමන ලෙසයි.එහි එක් රැස් වන මුදලින් සැප්තැම්බර් බුක් ෆෙයාර් වන්දනා කිරීම මගේ සාමාන්‍ය සිරිතයි.
මෙවර  ඒ මුදල වියදම් කිරීමට ලෝබ කමක් හට ගත්තේ සුද්දාත් මාත් එක්ව අටවන් යන අපේ කැදැල්ලේ එක බිත්තියක් වත් කපරාරු කිරීම පොත් ගැනීමට වඩා යහපත් නොවේදැයි මගේ හඳුංපොත මගෙං පුරස්න කල බැවිනි.බිත්තිත් වහලයත් පමණක් ඇති ගෙදරන අහිගුන්ටික ජීවිතයක් ගත කිරීමෙන් මේ වන විටත් අපි බාගෙට පිස්සු වැටී සිටිමු.
 
අපේ ගරුතර විදුහල්පතිනිය ඊට සහයෝගය දුන්නේ  බස් එක පමා වන විනාඩි 05ට රතු ඉර ගසා මගේ නිවාඩු ටික අනුභව කිරීමෙන් හා පාසල් පැමිනීමට වෑන් එකක් හයර් කර ගැනීම නිසා පඩියෙන් ගෙඩි පිටින් 2000ක්  ඒකට පූජා කිරීමට සලස්වා මාව බංකොලොත්භාවයට පත් කිරීමෙනි.අපේ සුන්දර පෙම්බර විදුහල්පතිනියට ජය වේවාය! වැඩි වැඩියෙන් ඉරි ගහන්ට ශක්තිය ධෛරයය ලැබේවාය.
 
යන්දෝ නොයන්දෝ යන දෙගිඩියාව බුකි වාසීන්ගේ ජනතා පරමාධිපත්‍යයට යටත් කල විට ලද උපදෙස් වලට අනුව බුක් ෆෙයාර් වර්ජනයකට අවසන් නිගමනයට එළඹියෙමි.කුයි කුයි ගාන හදවත ගැට ගසා පාසලේ පුස්තකාලෙන් ගත්පොත් තොගයක් තුරුල් කොට ගෙන හිත සනසා ගතිමි.
 
මගේ සියළු අධිෂ්ටාන යකාට යවමින් මගේ සදාදරණීය නගණ්ඩිය ජංගමයා හරහා පවසා සිටියේ තමාට පොත් තොගයක් ගැනීමට ඇති බවත් ඒකට එක්කං යන ලෙසත්ය.
 
හදවත බල්ටි ගැහුවේ නගණ්ඩියගේ පානෙන් එලිය ගෙන මටත් බුක් ෆෙයාර් එක වන්දනා කිරීමට හැකි හංදාය.
 
මේ අහු අස්සේ මගේ පණ කෙන්ද වූ දෝණී ලෙඩ විය.කෑම වර්ජනය කරන්නට වූ හංදා සිරිංජයකිං බලෙන් කිරී පෙවූ අතර ඒවාට වැය වූ මුදල් ප්‍රතිපූර්ණය සඳහා සුද්දා විසින් පන්දහසක් පරිත්‍යාග කරන ලදී.
 
මම මගේ අන්තිම සතේත් කදමළු බැඳගෙන බුක් ෆෙයාර් වන්දනාව සඳහා දින ගැන්නෙමු.සෙනසුරාදා දෙවන බස ප්‍රවීනතාව ලබා ගැනීමට පංතියකට යන බැවින් ද ඉතුරු දවස් ටික ඉස්කෝලේ යන බැවින්ද සුභ නැකත යෙදී තිබුනේ විසිහතර වෙනිදාටය.
 
මේ අහු අස්සේ මා හෙලිදරවු කර ගත්තේ සුද්දාගේ සපත්තු  දෙකේ අවුලක් ඇති බවය.අළුත් සපත්තු නොගන්නේ මන්දැයි ප්‍රශන කල විට සපත්තු ගැනීමට තබා වුන් මුදල මට පොත් ගැනීමට දුන් බවත් ලබන පඩියෙන් සපත්තු ගත හැකි බවත් නමුත් ලබන පඩියෙන් බුක් ෆෙයාර් යාමට බැරි බවත් කීවේ මගේ ඇසට කඳුලක් නංවමිනි.
 
මගේ ආත්මාර්ථකම ගැන මා සිය වරක් මටම ශාප කර ගන්නට ඇත.මගේ සතුට වෙනුවෙන් ඔහු තමාගේ අවශ්‍යතාව කැපකර ඇත.
 
තාත්තාගේ කොන්තරත් වල චෙක් හම්බවෙනකල් බුක් ෆෙයාර් එක පවත්වන්නේ නැති හංදාත්,ඒත්පොත් ගන්නට ම ඕනෑ හංදාත් මල්ලී ඔහුගේ මාලය උකස් තබා ඇත.අක්කා කෙනෙකු විලස මං ඔහුට බැන වැදිය යුතු වුනත් 2008 මා බුක්ෆෙයාර් වන්දනාවේ ගියේ 3000ට මගේ මාලය උගස් තැබීමෙන් බව මට අමතක කල නොහැක.එහිදී ගත් ඈන් පොත් පෙල තවමත් යලි යලිත් කියවමින්  මා ලබන සතුට මතක්වෙද්දී අහිංසක කොළුවාට දොස් නැගීමට මට හිත දුන්නේ නැත.වසර 9ට පසුව ඔහු අක්කාගේ මල්ලීම බව ඔප්පු කර ඇතුවාම පමණි.
 
ඉස්සරලාම ආ බාධකය වූයේ මගේ ඇඳුමයි.සුදු රැලි සායත් කළු හැට්ටයකිං යුත් මගේ ඇඳුමට නගණ්ඩි එක හෙලා විරෝධය පලකලාය.
 
“ඔයි ඇඳුම ඇඳගෙන මාත් එක්ක එහෙම එන්ඩ එපා“යි තර්ජනය කලාය
 
“දැන් ඔයි ජාතියේ රැලි සායවල් අඳින්නෙ නෑ“යි තියමිං තර්ජනයේ සැර බාල කලාය.
 
රස්සාව හංන්දා කොතැනටත් සාරි බාරි අදින මං,කොයි දේටත් සාරි බාරි තෑගි හම්බෙන මං ,ඔයි විලාසිතා ගැන වැඩි මනං දේ දන්නේ නැතිය.සාරියක් ඇර අළුත් ඇඳුමක් ගත්ත කාලයක්වත් මතකේද නැතිය.අන්තිමට මගේ සාරි ගොඩ පැත්තකට තල්ලු කල ඇය ඇඳුමක් තෝරා දුන්නාය.එය තරමක පරණය.
 
ඒකට කමක් නෑ පරණ පැෂන් ඇඳගෙන යනවට වඩා පරණ ඇඳුමක් ඇඳන් යනවා...ඒ නගන්ඩගේ අදහසයි.
 
අවසානයේ උදේ අපි තිදෙනා-නංගීත් මල්ලීත් මාත් - වන්දනාවේ පිටත් වුනේ  උදේ 6.30 එළඹි සුභ මොහොතිංය.නැකත පට්ටම සුභ බව කියා පාමිං පටංගත් තැන හිටංම ගේන පොත් හෝදලාම ගෙට ගන්ඩ පුළුවං වන  තරමේ මහ වැසි ඇද හැලෙන්ඩ විය
 
ගමේ බසයෙන් අවිස්සාවේල්ලට ආපහු ගිහින් එතනින්ම බස් එකට නැග වාඩිවෙලාම එනවාද නැත්තං හන්දියෙන් බැස මගින් බස්එකට නගිනවාදැයි මොළය සමඟ කල තර්ක විතර්ක වලින් පසු හංදියෙන් බැස 122 බසයක එල්ලුන අපිට මගේ රමණීය තීරණයේ මරණීය ප්‍රතිඵල පෙන්වමින් මහරගමට යනතෙක් වවුලන්ට පවා ඉරිසියා හිතෙන අන්දමට එල්ලී යාමට සිදුවිය.
 
අන්තිමට දෙයියනේ කියා අපි කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියෙන් බැස ගත්තෙමු.මේ මා හැමදාම බුක් පෙයාර් වන්දනාවේ ගිය පාරයි.එතැනින් බැස 154 බස් එකක නැග්ග පසු කිසිම ගින්නකින් තොරව පොත් පොළ ඉදිරියෙන්ම බැස ගන්නට පුළුවන.පසුගිය වසර 02  යාමට බැරි වුන බව ඇත්තයි.ඒත් ඒ වරදට මේ තරම් දඞුවමක්....154ක් එන තුරු කවදාවත් මේ තරම් බලා ඉන්නට සිදුවී නැත.
 
අවසානයේ සැක සහිත වුන මා එතැනට පැමිනි 155 බස්සෙකෙන් විමසුවේ BMICH යාමට හැකිද කියාය.ඇයි ඉතිං එක ඉලක්කමයි නොවැ වෙනස්.
 
 ඒ මාතලීගේ බහුශ්‍රැත පිළිතුර වූයේ මෙතනිං බස් එක ගත නොහැකි බවත් “තුං මුල්ලට“ යා යුතු බවත්ය.තුං මුල්ල තබා එක මුල්ලක්වත් නොදන්නා මම වහාම නගණ්ඩිගේත් මලණ්ඩිගේත් මුහුණු බැලීමෙන් වැලකුනේ මගේ කාඩ් එක ඉරීගෙන යන ආකාරය ඔවුන්ගේ මූනෙන් දකින්නට වෙතැයි හිතාය.
 
අවසානයේ තෙසක් රියක් නවතා වීරයා සේ “BMICH“ යැයි මහ හඞින් කීවේ තෙසක් රියට පුදන මුදලින් ගත හැකි පොත් ප්‍රමාණය උපකල්පනය කරමිනි.
 
අවසානයේ වට කීපයක් ගසා එතැනට ආ රියදුරා 150 කීවේ මීටරයේ 50 අගේට දිස්වෙද්දීය.
 
“ බොල මීටරේ කැඩිලා“දැයි අහන්ට සිතුනත් 100යි නොවැ පාඩු හිතමිං කට පියා ගත්තේ නැත්තං  තෙසක් රියදුරෙකු සමඟ ඇදෙන්නට ගිය මගේ වලිය උපමා රූපක සහිතවම ගෙදරට වාර්තාවීමේ අවදානමක් ඇති නිසාය.සුද්දා ෂේප් කර ගත හැකි වුවත් තාත්තා ෂේප් කරනවා නං බොරුය.අනෙක ඒක ඇත්තටම කැඩිලාදැයි දන්නෙත් නෑ නොවැ.
 
අන්තිමට අටාහාමාරට එතැනට ගියෙමු.
 
හුටාය! පට්ට පෝලිමකි.ඉස්සර පාං පෝලිම වාගේමය.බණ්ඩාරනායක ශාලාව වටේටම ගිය පෝලිම පිටුපස ෂෙඩ් එක ලඟටම වී ඇත.
 
“මේ බුක් ෆෙයාර් එකේ පෝලිම“දැයි මම එකෙකුට ලංවී ඇහුවේ ඇත්තටම ෂුවර් නැති හංදාය
 
අන්තිමට අපි දෙයියනේ කියා ඇතුලට රිංගා ගතිමු.
 
නගණ්ඩිගේ පොත් හොයා කුටියෙන් කුටියට ගියෙමු.
 
එක විෂය ඒකකයටක එක පොත බැගින් ලියා ඇති ජීව විද්‍යා විෂය ධාරාවේ පොත් හැට හුට හමාරක් ගත් පසු ඇය සෑහීමකට පත්වුනාදැයි මම නොදනිමි.
 
වාණිජ විෂය ධාරාවේ 12 ට හා 13ට වශයෙන් උපරිම ව ලියැවෙන්නේ පොත් දෙකක් බැවින් මේ හරුප නොතේරෙන අසරණ නූගත් මං පැත්තකට වී ඔහේ හිටියෙමි.
 
අන්තිමට මමත් මල්ලීත් අපේ පොත් තෝරංට ගියෙමු.මල්ලී සාමාන්‍යෙයන් කැමති මා මල් පොත් යැයි හඳුංවන සරල පෙම් කතා වලටය.
 
කරවල ඔතං ගේන පත්තර පිටුවේ ඉඳන් අන්තර්ජාලයේ ගොසිප් පිටු පවා අතනාරින මං ඒවාට සල්ලි වියදං කරන්නට නං මැලිය.
 
අන්තර් ජංජාලයෙන් බා ගත් මල් පොත් ,පුස්තකාලයෙන්,යාළුවන්ගෙන් ඉල්ලාගත් එවැනි පොත් කියවනවා විනා මා ඒවා මිලට ගන්නේ නං නැතිය.මා මුදල් වැයකරන්නේ නැවත නැවත කියවිය හැකි ඒ කියවන වාරයක් පාසා අළුත් යමක් හැඟෙන දැනෙන ,හද රැඳුන තැං සිහිවද්දී පවා හිත රිදවන සනසන පොත්ය.බොහෝවිට පරිවර්තන පොත්ය.
 
අන්තිමට බොහෝකාලයක් ආසාවෙන් බලං හුන් ඇනා කැරණිනා ඇතුළු පොත් කීපයක් ගතිමි.
 
අවසානයේ “නිමිසා ප්‍රකාශන“ සොයං ගියේ රමණී බුලත්සිංහල මහත්මියගේ පොත් වලට සුද්දා හැර අපේ පවුලේ සියළු දෙනාම ප්‍රිය කරන හංදාය.මල්ලී කැමති යෞවන සමීන්ද්‍ර මහතාගේ පොත් වලටය.ඒ දෙබස් වලට බඩ වැල් කටින් එලියට එනකංම හිනාවෙන්නට හැකි හංදාය.
 
රමණී බුලත්සිංහල මහත්මියගේ අළුත් පොත් රැසක් එලි දැක්වී ඇත.මං කියවා නැති සියල්ල මිලට ගතිමි.මල්ලී ඒ ටික කියවා එවනකං මට මාසයක් විතර බලං ඉන්ට වෙනවාය.ඒත් බලං ඉන්ට බෑ වගේය.
 
අන්නිමට මම මට ආයෙම ඒ පොත් සෙට් එක මිලට ගන්ට යද්දී නගන්ඩ යුද්ද ප්‍රකාශ කලේ
 
“ හැබෑටම තමුසෙගේ මොලේ නරක්වෙලා“දැයි අසමිනි.
 
මටත් ඒ ටික කියවන්න ඕන“මං අහිංසක ලෙස නිදහසට කරුණු ඉදිරිපත් කලෙමි.
 
“එහෙනං අයියට වෙන පොත්ටිකක් අරංදීලා තමුසෙ ඒ ටික තියා ගන්නව..අයියට පොත් කියවන්ඩ මිසක් තමුසෙට වගේ පොත් එකතු කරන පිස්සුවක් නෑනේ...“
 
අන්තිමට මං මෝඩ අක්කා බුද්ධිමත් නැගණියගේ අවවාද වලට හිස නැමුවෙමි.
 
අපි සෙල්ෆි නොගැසුවත් එක යුතුකමක් හෝ ඉෂ්ට සිද්ධ කරනු රිසියෙන් නූල්ඩ්ස් කෑවෙමු.
 
ආපසු එන ගමනේ තුංමුල්ලෙන් බහින්නට හිතාගෙන 154කට ගොඩවීමු. කකුල් කඩෙත්තුව හැදෙනකං ඇවිද්ද හංදා සීට් එක උඩ ඔහේ තැංපත්ව උන්නේ පහු වන ගම් නියංගම් අඳුන ගන්නට උත්සහා දරමිනි.
 
අන්තිමට ලඟින් හුන් තැනැත්තෙකුට තුං මුල්ල ආසන්නයේදි මතක් කරන මෙන් ඉල්ලා සිටියේ නැත්තං කඩ වල බෝඩ් ලෑලි කියවමින් අඟුලානටම යාමේ අවධානමක් ඇති හංදාය.
 
ඔහු කරන්ට් වැදුනකු සේ උඩ පැන්නේය.හතර අතට නැවී සෙනග අතරින් රිංගා වටපිට බැලුවේය
 
“මේ තුංමුල්ල තමයි.“එවර කරන්ට් වැදුනේ අපි තුංදෙනාටය
 
පොත් පොල වන්දනාවේ ගිය ගොඩේ බයියංද අද බස්එකේ සිටිය හැකි බව කොන්දා ළමයාටද සිහිපත් වන්නට ඇත.ගිරිය පුප්පා
 
“තුං මුල්ල බහිංඩැයි“කෑගෑවේ ඒ හංදා වන්නට ඇතිය.
 
මා මෙන්ම මග හසර නොදත් උදවිය රංචු පිටිංම කරන්ට් වැදුනා සේ ෂීට් වලිං ඉවතට විසි වෙද්දී මං පසක්කර ගත්තේ තුං මුල්ල නොදන්නේ මං විතරක් නොවන බවය.
 
අන්තිමට ශ්‍රී සම්බුද්ධ ස්වර්ණ ජයන්ති මංදිරය ඈතිං දිස් වන විට තිඹිරිගස්යාය ආසන්නයේ කොහේ හෝ තැනක අපි සිටින බවත් දැන් 122ක නැගී නම්බු පිටිං ගෙදර යා හැකි බවත් පසක් කරගෙන සැනසුම් සුසුම් හෙලීමි.
 
ඒත් මෙවර බුක්ෆෙයාර් වන්දනාවේ සුන්දරම මොහොත මේ එකක් වත් නොවේ.රාක්ක වල ඉදන් අනේ මාව ගන්නැයි දෑතට පනින්න වෙරදරන ආදරණීය පොත් වලට කුරිරු ලෙස පිටු පාමිං අමාරුවෙන් ඉතුරු කරන් ආ රුපියල් දාහේ කොල 02 සපත්තු ගන්නැයි කියමින් සුද්දාට දුන් මොහොතයි.
ඔහුගේ දෑසේ දිස්නය දුටු මට පොත් කැපකිරීම උදෙසා ලැබිය යුතු වන්දිය ඕනෑවටත් වඩා ලැබුනු බව හැගී ගියේය.
                                 
පලි--.(මම උදේ 2.45 ට නැගිට උයා පිහා 5ට ගෙදරිං අවුත් දැරණියගල ටවුන් එකට 6.20 වෙද්දී ආවත් 7.10 වන තුරු බසයක් නැතිවීම මගේ වරදක් නොවේ.ඊට කලින් 6ට යන බසයේ යාමට දවසකට රු.400 දී තෙසක් රියකින් අවිස්සාවෙල්ලට පැමිණිමට මට සිදු වේ.බස්  එක 7ට දා ගැනීමට කල සියළු ප්‍රයන්තද අසාර්ථක විය-මේ මාගේ තත්වයයි.රාජකාරි දේවකාරි  පිළිබඳ බණ දෙසන්නට සූදානම් වූ ඊනියා අකුරට වැඩ කරන්නන්ට මේ මාර්ගයේ සතියක් එක දිගට අප මෙන්  ගමන් කරන ලෙස ආරාධනා කරමි.)
 
Top