1150 x 80 px

වල් ඌරන්ගේ සතුරෝ
ඉස්සර කාලේ වල් ඌරෙක් එලා ගන්නවා කියන්නේ ලොකු රාජකාරියක්. අපේ පැත්තෙ භාවිතා වෙච්ච මදු වලින් ඌරෙක් වගේ ලොකු සතෙක් අල්ලගන්නවා තියා හිතිල්ලත් බොරු. ඒ හින්දා බේත් කොටන තුවක්කුවෙන් හරි බොරු වලක් කපලා හරි තමයි ඌරෙක්ව අල්ල ගන්ඩ වෙන්නේ. අනික වල් ඌරෙක් හොයනවාට වඩා ලේසියි කෝදුරු තෙල් හත් පට්ටයක් හොයා ගන්න එක.
හැබැයි පස්සෙන් පහු වෙනකොට මේක ටිකක් ලේසි උනා. හාවෝ බෝවෙන්නැහේ ඌරො බෝ වෙන්ඩ පටං ගත්තා. හමුදාවේ වැඩ කරලා පැන්සොං අරන් ආපු නොම්බර එකේ වෙඩික්කාරයෝ ගමට එකතු උනා. බේත් කොටන තුවක්කුවට වඩා හොදින් එල්ලේ ගන්ඩ පුළුවන් තුවක්කු දෙක තුනකුත් ගමට ආවා. ඒ කොහොමද කියල අහන්ඩ එපා. ඒක කෝක කෝක හරි තුවක්කු හම්බුනා කියල ලියල තියා ගන්ඩකෝ. ඔය අල්ල පනල්ලේ අපේ ගමේ අයියලාගේ අක්කලාගේ ඌරු මස් කෑමේ ආසාවත් දවසින් දවස ඉහල ගියා. ඉතින් සැපයුම කොච්චර වැඩි උනත් ඉල්ලුම ඊට හපං විදිහට ඉහල ගිය හංදා ඌරු මස් වල වටිනාකමත් ඉහලටෝම නැගගෙන නැගගෙන ගියා.
 
මේ කාලේ සිද්ද වෙච්චි කතා දෙකක් තමා අද මං මේ කියන්ඩ තනන්නේ. කැමතිනං හොමරි කමට ගුලි ගැහිලා ඉන්නෙ නැතුව එන්ට ඌරු මස් සුට්ටක් හොයා ගන්ට...
 
දවස ජනවාරි පළවෙනිදා. මගෙ හිතේ ඒ 2002 නැත්තං 2003. අලුත් අවුරුද්දට මුළු ගමම ඇහැරෙන වෙලාවේ කව්දෝ කෙනෙක් අපේ ගෙදර දොරට තඩි බානවා. අම්මා ගිහිං දොර ඇරියා. බැලින්නං හීං බණ්ඩා මාමා.
 
“මොකද හීං බණ්ඩ මලය අද උදේම?”
 
“නෑ අක්කෙ මේ ඌරු මස් ගන්නවද කියල අහන්ඩ ආවේ?”
 
ජනවාරි පළවෙනිදා උදේම ඌරු මස් ගන්නවද කියල අහපුවම අපේ අම්මට ඌරු ජුවල් නැග්ගා!!
 
“අපේ ගෙදර පැත්ත පළාතේ ඔය මල ජරාව ගේන්ඩ එපා....මල කරුමයක්නේ මේ අවුරුද්දේ පළවෙනිදාම!!!”
 
හීං බණ්ඩා මාමා උදේම බැනුනුත් අහගෙන හිමීට පල්ලම් බැස්සා. පහල ගෙදර මාමා මෝල් ගහක් අරං හීං බණ්ඩා මාමා පස්සේ පන්නලා තියෙන්නෙත් ඊට ටික වෙලාවකට පස්සේ උදේම ඌරු මස් විකුනන්ඩ ගිය පිනේ ආනුභාවයෙන්.
 
දවල් වෙනකොට ගමේ හුඟක් ගෙවල් වලට හීං බණ්ඩා මාමා ගිහින් තිබුනත් හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තිබ්බේ නෑ. ගෙවල් දෙක තුනකින් නං සල්ලි දීල තිබ්බ අවුරුද්දේ මුලිම්ම ගෙදරටම කඩා වැටිච්ච චෑන්ස් එකට පයින් ගහන්නෙ නැතුව. ඒත් දවල් වෙනකල් ඌරු මස් නොලැබිච්ච හිංදා අර සල්ලි දුන්න මිනිස්සු හීං බණ්ඩා මාමව හොයන්ඩ ආවා. ඒ වෙලාවෙ තමයි උන්දැට තරු පෙනිලා තියෙන්නෙ.
 
“රතුබණ්ඩා උදේම ගියා ඌරෙක් මරන්ඩ...තාම ආවෙ නෑ ...ආපු ගමං ගෙනල්ල දෙන්නම්” හීං බණ්ඩා මාමා උත්තර දුන්නා.
 
ඒත් හවස් වෙනකලුත්, හවස ගෙවිලා රෑ වෙනකලුත් රතු බණ්ඩයියා ඌරු මස් අරං ආවේ නෑ. ඒ හිංදා එදා උදේ ඉඳන් ඌරු මස් කන්ඩ බලා ගෙන හිටපු දෙතුන් ගොල්ල පෙරාපු කුණු හරුප වලින් හීං බණ්ඩ මාමයි එයාගේ සනුහරේ කට්ටියවයි  අමතනවා.මේ අවනඩුව මොකද්ද කියල බලන්ඩ මාත් ඒ පැත්තට බෙල්ල දැම්මා.මිනිස්සු කියන්නේ හීං බණ්ඩ මාමා ඒ අයව රවට්ටලා සල්ලි ගත්තා කියලා. හීං බණ්ඩා මාමා කියන්නේ රතු බණ්ඩයියා ඌරෙක් මරන්ඩ තුවක්කුවත් අරං අල්ලපු ගමට ගිය හිංදා ඒ ලැබෙන මස් විකුණන්ඩ ඇඩ්ඩාන්ස් ගත්තා කියල. ඒත් ප්‍රශ්නෙ රතු බණ්ඩයියා ඌරු මස් නොගෙනාපු එක. දැන් මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කේස් එක වගේ.
 
අපි ඔක්කොම රතු බණ්ඩයිය හොයා ගෙන ගියේ මස් වලට මොකද උනේ කියල අහන්ඩ.
 
“මොන ඌරු මස්ද?” රතු බණ්ඩයිය ගත් කටටම අහපි
 
“ඇයි රතු බණ්ඩ උඹ අද උදේ පහට විතර තුවක්කුවත් කර තියාගෙන ගියේ ඌරෙක් මරන්ඩ යනවා කියල අල්ලපු ගමට!! හා නැද්ද?” හීං බණ්ඩ මාමා පුදුමෙන් වගේ ඇහුවා.
 
“ඔව් මං ගියා තමයි!”
 
“උඹ වෙනද ඌරෝ මරා ගෙන ආපුවමත් විකුනන්නේ මං නෙවෙයිද?”
 
“ඔව් උඹ තමයි!”
 
“ඉතින් අද උඹ මට මස් දුන්නේ නෑ නේ!”
 
“කොහේ තියන මසක්ද යකෝ?”
 
“ඇයි උඹ වෙඩි තිබ්බ ඌරගෙ?”
 
“කොහෙද මම ඌරෙක් වෙඩි තිබ්බේ?”
 
“අද...එහා ගමේ දි!!”
 
“බොට පිස්සුද? මං කොහෙද අද ඌරෙකුට වෙඩි තිබ්බේ?”
 
දැන් මේක කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙන් හතර බීරි කතාවට මාරු වෙලා.
 
දිගට හොයා ගෙන ගියාම වෙලා තියෙන්නේ කවුරුත් නොහිතපු දෙයක්. අල්ලපු ගමේ මිනිහෙක් බොරු වලක් කපලා. එකට ඌරෙක් වැටිලා. උදේම ඇහිලා තියනවා ඌරා කෑ ගහන සද්දේ. ඉතින් අවුරුද්දේ පළවැනි දවසෙම මුලින්ම දඩයං කරන එක මහ පව්කාර වැඩක් කියලා හිතලා උන්දැ පණිවිඩයක් එවලා රතු බණ්ඩයියට. මොකද මනුස්සයා තමයි පැත්තෙම හිටපු හොඳම වෙඩික්කාරයා. ඉතිං අපේ ලොක්කත් තුවක්කුව කරේ තියා ගෙන අල්ලපු ගමට යන අල්ල පනල්ලේ තමයි හීං බණ්ඩා මාමට හම්බ වෙලා තියෙන්නේ.
 
හැබැයි අල්ලපු ගමට යනකොට අර පණිවිඩේ එවපු මනුස්සයට ගෙදර උංදෑ ජාතිය අමතනවලු  එකසිය ගානට. “මේ වගේ පව්කාර හැත්තක් එක්ක ඉන්නවට වඩා වහ බීල මැරෙනවා” කියල උන්දැ අර මනුස්සයට බනිනවලු. ඉතින් අර ගෙදර මනුස්සයා රතු බන්ඩයියවත් අල්ලගෙන අර බොරු වලෙන් ඌරව ගොඩ දාලා. කේන්ති ගිය වල් ඌරෙක් ලඟට වත් යන්ඩ හොඳ නෑ හරි භයානකයි. එහෙවු එකේ මාරු විකාරෙන් හිටපු සතෙක් වලකින් ගොඩ දානවා කියන්නේ හරිම අවදානම් වැඩක්. ඉතින් දවල් වෙනකල් ඒකට මහන්සි වෙලා කොහොමින් කොහොම හරි අර සතාව ආපහු කැලේට පන්නලා තමයි රතු බණ්ඩයියා ඇවිත් තියෙන්නෙ. ඒ එන්ඩ ඉස්සර අර මනුස්සයගෙන් දවසක කුලියත් ඉල්ලා ගත්තලු රතු බණ්ඩයියා වෙච්ච නව නිංගිරාවට.  එදා ඌරගෙ කේන්දරේ හරිම බලගතු දවසක්! ඔක්කොම ග්‍රහයෝ උච්ච වෙලා තිබිලා තියෙන්නෙ!! අනික් පැත්තට අල්ලපු ගමේ මනුස්සයගෙයි හීං බණ්ඩා මාමගෙයි දෙන්නගෙම ගිරහයෝ ඔක්කොම නීච වෙච්ච දවසක්!!!.
 
දෙවෙනි කතාව සම්බන්ධ වෙන්නේ ඌරු සමිතියට. අපේ ගමේ තියෙන්නේ එකම එක සමිතියයි. ඒ මරණාධාර සමිතිය. ඔය ඉස්සරලා කතාවේ හිටපු රතුබන්ඩයිය හෙම උනන්දු වෙලා ඒ සමිතිය හදපු විදිහ ගැන දැන ගන්ඩ ඕන කෙනෙක් ඉන්නවනම් මේං මෙතෙන්ට කොටලා බලා කියා ගත්තට මගේ අමනාපයක් නෑ ඕං. හැබැයි ජාතික අවශ්‍යතාවලට අනුව විඩෙන් විඩේට අලුත් සමිති බිහි වෙනවා. එහෙම බිහි වෙච්ච සමිතියක් තමයි ඌරු සමිතිය.
 
මේ සමිතියේ දර්ශනය ඌරංගෙන් තොර ගමක්! දිනපතා රැස්වීම හවස හයට විතර කඩේ ගාවදි. ඌරො ගැන දෙතුන් දෙනෙක් පවත්තන සාර ගර්භ දේශනා වලින් සාමාජිකයන්ගේ ලේ රත් වෙනවා. හමුදා බාසාවෙන් කියනවනං මොරාල් අප් වෙනවා. සරම කැහැපොට ගැස්සෙනවා. අත් මිටි මොළ වෙනවා. ගුද මාර්ගෙ වැහිලා යනවා. පපුවට ගහ ගන්නවා. අපෙ හාමුදුරුවනේ අපි බේර ගත්තු මේ රට.. ඌරංගෙන් අපේ ගම නිදහස් කර ගැනීමට පෙළ ගැසෙව් කියලා කාහල නාදයක් පැතිරෙනවා. කොල්ලෝ බල්ලෝ ඔක්කොම ඌරු දඩයම පටං ගන්ඩ කැලේට වදිනවා!!! 
 
දවසක් ඔහොම සමිති වාරෙකින් පස්සේ කට්ටියම කාලෙට ගිහිං ඌරෝ හොයන්ඩ.  මේ කතාව කියවන ඔහෙලටත් කියන්නේ දැම්ම මොකක් හරි ආයුදයක් අතට ගන්ඩලා. ඌරෙක් මුලිච්චි උනොත් එහෙම ආය 'එක්කෝ උගෙ පන - නැත්තං මගේ පන' තමා. ඌරු දලේකින් බත් කෙණ්ඩා වලට ඇන්නොත් හෙම මස් ගොබ ඉරිලා යනවා. වාසනාව තිබිලා බේරුනොත් හොදා නැත්තං තනි අලියට මාට්ටු උනා වගේ තමා ඌර එක්ක ගනුදෙනුවත්.
 
ඉතිං ඔය ඌරු දඩයමේ යන කවුරුත් එහෙම කරන්නේ වැඩේට සෑහෙන ආයුධයක් අරං තමා. ඔය කියන දවසේ ටිකක් වැස්ස. ඒ උනාට ඌරංගෙන් ගම බේර ගන්ඩ යන මේ වීරයෝ වැස්ස, හුලග වගේ පොඩි පොඩි දේවල් වලට බය වෙන නොන්ජලයෝ නෙවෙයි. නියම සුපිරි වීරයෝ හරිය.
 
ඉතින් දැන් කට්ටියම හීං සීරුවේ ඉලුක් ගාල් පීරමින් ඉදිරියට ඇදෙනවා. සද්ද නෑ. තණ කොළ පෑගෙන සද්දේ විතරයි…. ටික දුරක් ගිහින් නවතිනවා… හොඳට ඇහුං කන් දෙනවා… ඌරංගෙ සද්ද එනවද කියලා…. නායකයා අනිත් අයට සංඥා කරන්නේ අතින්....ආයෙත් ටික දුරක් හිමීට අඩිය තියලා යනවා….. නවතිනවා. කන් දිහනවා....
 
ඔහොම ටික වෙලාවක් යනකොට හොඳටම රෑ බෝ උනා. දැන් ඌරු සමිතියේ සභාපති ප්‍රධාන දඩයක්කාර තුමාව පස්සෙන් යන සෙට් එකට පේන්නේ නැති ගාන. ඉතින් වැඩි පළපුරුද්දක් නැති අයියලාට දැන් ටික ටික බය හිතෙනවා. ලොකු ටෝක් දීලා ඌරො මරන්ඩ ආවට මොකද කරුවලේ ඉලුක් ගාල් පිරිච්ච බූටෑවේ අඩි දහයක් දොළහක් යනකොට හිතෙන්ඩ පටන් ගන්නවා ඇයි දෙයියනේ මේ දුක විඳින්නේ කියල. ඉතින් එහෙම හිතිච්ච අයියලා දෙන්නෙක් ආපහු පල්ලම් බහින්ඩ පටන් අරං. ටෝච් එක පත්තු කර ගත්තේ අඩු ගානේ ආදී පාරක් වත් හොයා ගන්ඩ හිතා ගෙන. ඔහොම ආදී හාර පන්සීයක් එනකොට මෙන්න බොලේ අමුතු සද්දයක් ඇහෙනවා....ඥොක්... ඥොක්... ඥොක්... ගාලා. සද්දේ ඇහෙන්නේ වම් පැත්තේ තියන ඉලුක් ගාලකින්. ටෝච් එක ඩග් ගාලා නිවලා දාපු එක අයියෙක්, අනික් එකාට රහසින් කියනවලු මෙහෙම.
 
“ඌරෙක්!”
 
“මරුනේ...මරමු!”
 
“තුවක්කු නෑනේ..”
 
“ගහමු!”
 
“ගහන්නෙ &^%%^&**ද යකෝ අතේ තියෙන්නේ කුඩේ විතරනේ!!” (අර කුණු හරුපේ ඉඳන් ඉතුරු ටික හයියෙම්ම කියවෙලා)
 
ඊට පස්සේ අපිට ඇහෙන්නෙ දුවන සද්දයක් විතරයි. කළුවර හින්දා මෙලෝ සංසාරයක් පෙන්නේ නෑ. කටු අකුල් බරු ගහගෙන, මුල් වල පැටලි පැටලි, දෙන්න දුවනවා. උන් දෙන්න පස්සෙන් ටික දුරක් යනකල් ඌර පැන්නුවා කියල උං දෙන්නම සත්ත වෙනවා. හැබැයි ඒක ඇත්තද කියන්ඩ දන්නේ ඌරා විතරයි.
 
මේ ඔරිජිනල් ‘බාධක දිවීම’ නතර උනේ එකෙක් වලකට වැටිලා. අනිකා ලොකු හවරි නුග ගහක හැප්පිලා බිම වැටුනාම. උන් දෙන්නා කෑ ගහපු සද්දෙට ඌරො අල්ලන්ඩ ගිය කස්ටිය මුංව හොයන්ඩ ගිහිං යාන්තන් වදෙන් පොරෙන් පාරට ගෙනාවා. ඊට පස්සේ ඉස්පිරිතාලේ උස්සන් ගියේ දෙන්නටම ලොකු තුවාල වෙලා තිබ්බ හින්දා.
 
වලේ වැටිච්ච එකාගේ දකුණු කකුලට මැහුම් අටකුයි වම කකුලට මැහුම් තුනකුයි දැම්මා. ගහේ හැපිච්ච එකාගේ නළලට මහිම හතරයි අතකට මැහුම් දෙකයි!!
 
ඔය සිද්දියෙන් පස්සේ ආධුනික දඩයක්කාරයන්ට ඌරු සමිතියේ සාමාජිකත්වය නැති උනා. තව ටික දවසකින් මුළු සමිතියම අඩ  පන උනේ සභාපති දඩයක්කාර තුමා වෙන පලාතක රස්සාවට ගිය හිංදා. ඒ හින්දා සමිතිය විසුරුවා හරින්ඩ උනා.  දැන් ඌරො අපේ ගමේ ගෙවල් වල මිදුලටත් එනවා. ඒත් උන්ට හිරිහැර කරන්ඩ කවුරුවත් යන්නේ නෑ. තව ටික දවසකින් ඌරො පිහිටුවා ගනී සමිතියක් 'මිනිස් සමිතිය' කියලා ගං වල ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ටික දඩයන් කරන්ඩ!!
 
මිනිස්සුයි සත්තුයි අතර තියෙන්නෙ නොනවතින අරගලයක්. අර බැද්දේගම පොතේ කියවෙනවා වගේ. සිළිඳු ලා ජීවත් උනේ ඒ කාලේ විතරක් නෙවෙයි. අදත් ගං වල ජීවත් වෙන අහිංසක මිනිස්සු සතා සරුපයාගෙනුත් තැලෙනවා. ඉලුක්, මානා වගේ වල් වලිනුත් තැලෙනවා. සිළිඳු කැලේට බය උනා වගේ මිනිස්සු මේ සත්තුන්ට බය වෙනවා. හැබැයි සිලිඳුටත් ඇත්තටම ගේම දෙන්නෙ සත්තු වත් කැලේවත් නෙවෙයි  ආරච්චිල!!. දැන් කාලේ අපේ ගමේ මිනිස්සුන්ටත් එහෙමම තමයි. සත්තුන්ට බය උනාට ලොකුම විනාසේ සිද්ද කරන්නේ අපිත් එක්ක එකටම ඉන්න මිනිස්සු. සිලිඳුට ඒක තේරුං යන්ඩ ඉස්සර වෙන්ඩ ඕන සංගදි ඔක්කොම උනා. දැනුත් එහෙමයි !!!
 
Top