1150 x 80 px

 

ඉන්දියාව සමග නැගිටිමු

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන විට ඉන්දියාවේ තිබුණේ සංවෘත භාග සමාජවාදී ආර්ථික ක්‍රමයකි.

කලබල වුණු ඉන්දියාවට ඇමෙරිකන් හිතවාදී ජේ. ආර්. රජය පාලනය කරන්නට හොඳ අවස්ථාවක් දුන්නේ ජේ. ආර්. මය. ඒ 1983 සිදුවූ දෙමළ ජන සංහාරයට ඉඩ සැලසීමෙනි. ඉන්පසු දෙමළ කැරලිකරුවන්ගේ සංවිධාන කිහිපයක්ම පුහුණු කරන්නට හා ශ්‍රී ලංකා හමුදා සමග සටන් කරන්නටත් රටේ ආර්ථිකය අඩපණ කරන ප්‍රහාර එල්ල කිරීමටත් මේ කණ්ඩායම් හරහා ඉන්දියාවට හැකි විය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ වඩමාරච්චි සටන නතර කරමින් සිදුවූ පරිප්පු ආක්‍රමණයයි.

ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාව ජීවත්වීමට නුසුදුසු දරුණු රටක් බවට පත්වුණි. ශ්‍රී ලංකාවේ උතුර හා දකුණ එකම ලේ විලක් විය. මේ තත්වයට ජේ. ආර්, ප්‍රේමදාස, සිරිමාවෝ, විජේවීර, ප්‍රභාකරන් පමණක් නොව ඉන්දියාව ද වගකිව යුතු විය. ඉන්දියාවට පළමු ප්‍රහාරය ලැබුණේ තමන්ම කිරි පෙවූ නයි පැටියාගෙනි. තම ජාතියේ අභිමානය රැකගෙන ප්‍රභාකරන් රජීව් ගාන්ධි එර්දි කළේය.

ඉන්දියාවට චන්ද්‍රිකා සමග ප්‍රශ්නයක් නොතිබුණු නිසා දෙමළ කැරලිකරුවන් සමග යුද්ධය අතර වුවද, රටේ ආර්ථිකය දියුණු වූයේ නැති වුවද චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙවරක්ම රට පාලනය කිරීමට තේරී පත් වූවාය. නමුත් ඉන්දියාව තම අගමැති මරා දැමීමට අණ කළ ප්‍රභාකරන් අමතක කළේ නැත.

චන්ද්‍රිකාගේ දෙවන පාලන සමයේ දී රනිල් වික්‍රමසිංහ සහ එජාපය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන රජයක් පිහිටෙව්වේය. බටහිර රටවල උදව්වෙන් ඔහු සාම ගිවිසුමක් අත්සන් කර ගිවිසුම විමසීමට ලංකාවේ තවමත් කුප්‍රකට මොනිටරින් මිෂන් (SLMM) එකක්ද ස්ථාපිත කළේය. ඔහුගේ වැඩපිළිවෙළ, LTTE දෙකඩ වී කරුණාගේ නායකත්වයෙන් තවත් කොටසක් බිහි වීමට හේතුවක් විය. එසේම LTTE ප්‍රදේ‍ෙවලට රුපවාහිනී හා නොයෙකුත් සුඛෝපභෝගි උපකරණ යැවුනි. ඉන්දියාව සිටියේ විමසිල්ලෙනි.

ඇමෙරිකාවේ හා යුරෝපයේ සහය රනිල් වික්‍රමසිංහ රජය ට හිමි විය. සිංහලයන් බහුතරයක් අසතුටු වුවද දෙමළ බහුතරයක් සිටියේ සාම විරාමයක් ලැබීමේ සතුටිනි.

කවුරුත් වැඩිපුර නොදන්නා කාරණයක් නම් තරන්ජිත් සිං සඳු නමැති මහතකු වසර 2000 දී ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයට දේශපාලන නිලධාරියා වශයෙන් පත්වීමක් රැගෙන පැමිණි බවයි.

එසේම ජනතා විමුක්ති පෙරමුණ නමැති වාමාංශික පක්ෂයේ නායකයා ශ්‍රී ලංකාවේ පැවති 88-90 භීෂණ සමයේ ඉන්දියාවේ උදව්වෙන් බටහිරට පැන ගොස් ජීවිතය බේරාගත් අයෙකි.

ඉන්දියාවේ රහස් ඔත්තු සේවයේ නම රෝ හෙවත් පරීක්ෂණ හා විශ්ලේෂණ කිරීමේ කාර්යාංශයයි.

ශ්‍රී ලංකාවට සුනාමිය පැමිණියේ වසර 2004 දීය. දකුණට ලැබුණා සේ උතුරේ විනාශ වූ පෙදෙස්වලටද ආධාර අවශ්‍යය. ආධාර දීමට අන්තර් සුනාමි සහන මණ්ඩලයක් LTTE සමග හැදීමට රනිල්ගේ රජය කැමැත්ත පළ කළ අතර චන්ද්‍රිකා ජනාධිපතිනියගේ විරුද්ධත්වයක් තිබුණේ නැත. මෙහිදී බටහිර රටවල ආධාර කෙලින්ම උතුරේ LTTE සංවිධානයට ලැබේ. ප්‍රභාකරන්, තමිල් සෙල්වම්, බාලසිංහම් ආදීන් ලෝකයේ දෙමළ ඩයස්පෝරාව සිටි රටවල්වල වීරයන් විය.

ඉන්දියාවට අනුව බටහිර සුනාමි ආධාර කෙලින්ම ලැබෙන්නේ තමන් කිරි පොවා ඇති දැඩි කළ එහෙත් පසුව දෂ්ට කළ නයි හාමිටය.

රටේ මේ සහන මණ්ඩලයට විරෝධතා වැඩි විය. ඉදිරියෙන්ම සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. එසේම ජාතික හෙළ උරුමයද විය. චන්ද්‍රිකා, රනිල් රජයේ ඇමතිවරුන් තිදෙනෙක් අස් කරමින් පාලනය තමන් අතට ගත්තාය. රනිල් ගෙදර ගියේය.

බටහිරට හිතැති කදිරගාමර් මරා දැමුණු අතර මහින්ද රාජපක්ෂ අගමැති විය.

තරන්ජිත් සින් සඳු දේශපාලන නිලධාරී මහතා 2004 දී ඉන්දියන් තානාපති කාර්යාලයෙන් වෙනත් පත්වීමක් ලබා නික්ම ගියේය.

මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වූ 2005 චන්දයේදී ජවිපෙ හා හෙළ උරුමයේ සහයෙන් ඔහුට 50.29% කුත් රනිල් වික්‍රමසිංහට 48.43% කුත් ලැබුණි. ප්‍රභාකරන් හිටියේද මහින්දගේ පැත්තේය. ඔහු දෙමළ ඡන්ද වර්ජනය කිරීමට නියෝග කර ඡන්දය දැමීමට ගිය දෙමළ ඡන්ද දායකයකුගේ අතක්ද කැපුවේය. දෙමළ ඡන්ද තිබුණා නම් මහින්ද 2005 දී බලයට පත්වන්නේ නැත.

කවුරුන් මොනවා කීවත් යුද්ධය සමයේදී මතුපිටින් කිසිදු සහයක් දෙන බවක් නොපෙන්වුවත් ඉන්දියාව LTTE සමග ශ්‍රී ලංකා හමුදාවල යුද්ධයට හා මහින්ද රජයට ආධාර කළේය. ඒ ආධාර චැනල් කිරීම සඳහා විශේෂ පුද්ගලයෙක් බැසිල් නමින් සිටියේය.බැසිල් තමන්ට පැවරුණු කාර්යය මැනවින් ඉටු කළේය. කරුණා අම්මාන් සිටියේ ඉන්දියාව පැත්තේය. මහින්ද රජයට කඳුකරයේ තොන්ඩමන් (ඉන්දියාව) ගේ සහය ලැබුණි. නයි හාමිගේ බෙල්ල කපන තුරු ඉන්දියාව මහින්ද රජයට සහය දුන්නේය. ඉන්පසු ඇතිවුණු යුධ අපරාධයක් සේ හැඳින්වෙන සුදු කොඩි සිද්ධියේ ඉන්දියන් ජාතිකයෙකු වන විජේ නම්බියාර් ද ගෑවී සිටි. මේ සිද්ධියේ දී මියගිය කොටි පොලිස්පති නඩේසන් කතා කර තිබුණේද බැසිල් ටය. (මේ සිද්ධියේ බැසිල්ගේ වරදක් නැත. ඉන්දියාව එය දනී.)

දෙවන ජනාධිපතිවරණයෙන් 2010 දී 57% පමණ ඡන්ද සංඛ්‍යාවක් දිනා රාජපක්ෂ මහතා රටේ දැඩි සංවර්ධනයක් දියත් කළේ යුද්ධයෙන් පසුවය. රටට යුද අවිවලින් ආධාර දුන් චීනය ආර්ථික තලයේද බලවතෙකි. මහින්ද රජය ණය ගත්තේ ඔවුන්ගෙනි. ඉන්දියාව ද ආධාර දුන් නමුත් ඔවුනට චීනයට සම වීමට නොහැකි වුණි. හම්බන්තොට නැව් නො ආ වරාය හා ගුවන් යානා නොඑන ගුවන් තොටුපළ චීන ආධාරවලින් හැදුනි. කොළඹ මුහුද ගොඩ කර නව වරාය නගරයක් හැදෙයි. විශාල හෝටල් ඉඩම් චීන කොම්පැනිවලට සින්නක්කර ලැබෙයි. කාලයක් මුළුල්ලේ රජයන් කිහිපයක සිහිනයක්ව තිබූ අධිවේගී මාර්ගය විවෘත වුණි. අසූ ගණන්වල හදන්නට සැලසුම් කර තිබූ ගල් අඟුරු බලාගාරය නොරොච්චෝලේ චීන ආධාරවලින් නිම වුනි.

ඉන්දියාව මෙන්ම බටහිර ද කලබල විය. මහින්ද රජයට බටහිර යුධ අපරාධ තර්ජන එල්ල වීමද වැඩි විය. රටේ ජාතිවාදී ප්‍රශ්න ඇති වෙමින් ජාතිවාදී සංවිධාන පැන නැගුණි. මහින්ද රජයේ ද ද 2001-2004 රනිල් රජයේ මෙන්ම දුෂිත මැති ඇමතිවරුන් හා නිලධාරීන් පොකුරු වශයෙන් බිහි වුනි. රාජපක්ෂ රජය රටේ නිතිය තැකුවේ නැති අතර සංචාරකයනට පවා තර්ජන එල්ල වුනි. කොටින්ම රජය ඉතා අපකීර්තිමත් තත්ත්වයකට පත්ව තිබුණු අතර මාධ්‍ය නිදහසට ද තර්ජන එල්ල වී තිබුණි.

ඉන්දියාව බලා සිටි අවස්ථාව එළඹුණේ මහින්ද විසින්ම නව ජනාධිපතිවරණයක් කැඳවීම මගිනි.මෛත්‍රිපාල සිරිසේනට එජාප, ජවිපෙ හා දෙමළ සන්ධානයේ සහය ලැබුණු අතර 51.28% ප්‍රතිශතයක්ද මහින්ද රාජපක්ෂට 47.58% ද ලැබුණි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති විය. බොහෝ ස්වාධින කොමිසම් සභා පිහිටවනු ලැබීය . මාධ්‍ය නිදහස එයාකාරයෙන්ම ලැබුණි. නොයෙකුත් ජනතා හිතවාදී පනත් සම්මත වුණි. එහෙත් ඉන්දියාවෙන් බලාපොරොත්තු වූ පරිදි ආර්ථික ආධාර ලැබුණේ නැත. රනිල්ගේ රජයේ සරණට සිටියේ ද චීනයයි. අන්තිමේදී ඉන්දියාව අකමැති වුවද හම්බන්තොට වරාය චීනයටම දෙන්නට සිදු විය. කොළඹ වරාය නගරය ද ඉන්දියාවේ අභිප්‍රායට එරෙහිව චිනයටම දෙන්නට රනිල්ට සිදු විය.

රනිල් රජය ව්‍යවස්ථාවක් හදා අවසානය. නමුත් එය සම්මත කර ගන්නට ඔවුන්ට නොහැකිය.

කලින් ලංකාවේ සිටි තරන්ජිත් සිං සඳු මහතා මෙවර ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපතිවරයා ලෙස 2017 ජනවාරි 24 දා පත්ව ආයේය.

බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ පරණ හිතවතෙකි.

මෙම වසරේ 2018 පෙබරවරි 10 පැවති පළාත් පාලන ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවන පොදු ජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධායකත්වයෙන් යුක්තව ප්‍රබල ජයග්‍රහණයක් ලැබිය. තනිව ගත්තොත් එජාපය හේදී ගොස්ය.

එය එසේ වුවද මහින්දගේ පොදු ජන පෙරමුණට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 44.69 % කි.

වසර දෙකකින් පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට මේ ඡන්ද ප්‍රමාණය හොඳටම මදිය. තෙවන බලය වන ලක්ෂ හතක ඡන්ද සහිත ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වය වඩා ළංව සිටින්නේ නමට කොමියුනිස්ට්වාදී චිනයටය.

මහින්ද මහතා තම පුත්‍ර නාමල් සමග විපක්ෂ නායක සම්පන්දන් බැලීමට නොබෝදා රෝහලට ගියේය. උතුරේ විග්නේශ්වරන් ට දකුණේ දේශපාලන නායකයෙකුට ඥාති සම්බන්ධයක් ඇත්තේය. තොන්ඩමන් තමන්ගේ සීයා ලෙසටම පළාත් පාලන ආයතනය සඳහා ඩිල් එකක් ගසා අවසානය.

බුකියේ සිටින ලංකාවේ සමහර විද්වතුන් රටේ සිංහල අහවල් එක, පෞරාණික සභ්‍යත්වය, බ්‍රිගේඩියර් සහ අරක මේක රනිල් නොසැලකූ නිසා ඔහු පරාජය වී යයි කියති. ඔහුගේ පක්ෂයේ දූෂිතයන් ද සිටිති. මහින්දගේ රජයේද 2015 දූෂිතයන් සිටියහ. නමුත් රටේ ඡන්ද සංඛ්‍යාව දූෂිතයන් නිසාම වෙනස් වන්නේ නැත.

ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මීට වඩා හොඳ අවස්ථාවක් තවත් නැත. රටේ ප්‍රධාන පක්ෂ දෙකම හිර වෙලාය. ව්‍යවස්ථාවට මම නම් විරුද්ධ නැත.

පරීක්ෂණ හා විශේල්ෂණ කාර්යාංශය වුවද එය හොඳින් දනී.

ශ්‍රී ලංකාව කොහෙන් හෝ පටන් ගත යුතුය. ලේ හෙලුවා හොඳටම ඇතිය.

- kolambagamaya.blogspot.com

 

Top