1150 x 80 px

එල ද බ්‍රා වසරක්!

මෙන්න මෙව්වයි බ්‍රෝ මාර්කටිං කියන්නෙ!

දෙදාස් පාලොහ ඉවරවේගෙන එන ඉසව්වේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය සකල සිරි විභූතියෙන් ආඪ්‍යව, කිරියෙන් පැණියෙන් උතුර උතුරා පවතින හෙයින්ද, තල්මහට මදුරුවෙක් ඇන්නහේ දේශීය ආර්ථිකයට, වසර දෙදාස් පන්සීයක පට්ට අභිමානවත් අතීතයට සහ සංස්කුරුතික සළුපාලියට වැලේ වැල් නැතිකරනු පිණිස ඇතිවූ එකම පරසතුරු උවදුර වූ පරදේසක්කාර එන්රිකේ හැල සුද්දා ලංකාවේ සිංදු කියන්නට ගොඩබැසීම අතිගරු ජහපාලනපති සිරිසේන මැතිතුමා ඇඹිලිපිටියේ සිට සිදුකල අභීත මැදිහත්වීම හමුවේ හිරු දුටු පිණි මෙන් වියැකී ගිය හෙයින්ද, දෙදහස් දහසය ලබන්නාහාම අලුත් බදු සංශෝධන තෑගි සමග අපිට රැකියා ස්ථානය ගෙදර වගේ හිතෙන අද්විතීය වාතාවරනයක් නිර්මාණය වූ හෙයින්ද, අපේ ලයිප් පුල් මාවලස් ලෙස ගෙවී යමින් පවතී.


කොමෙන්ටු වලට රිප්ලයි කිරීම අතපසු වූ හෙයින්ද, පමා වූ හෙයින්ද, බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම ඉඳහිට මගහැරුණු හෙයින්ද පරල වූ අය වෙනුවෙන් මෙන්න භාජනයක්; ගැත්තා කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ සමාව පිරිනමන්න. හැකි සැනින් පිලිතුරු සපයමි.


මගේ පෙරකී දුර්දාන්ත ක්‍රියාකලාපයන් හමුවේ අකම්පිතව, විල්පත්තුවේ ජනාවාස හදන හැටි තවමත් නොදන්නා හිටන් තුමා මෙන් පුල් පන් එකෙන් ඇලලී, වසර පුරා බ්ලොග් අඩවියට තුඩ තියා ඉවසිල්ලේ මා වටා රොඳ බැඳි රසවතුනි; ඔබ නැතිනම් "බස්සි" කියා කෙනෙක් නැතිවෙන්නටත් තිබුණි. ස්තූතියි!


සිරිලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්කම භාරගන්නට ලැබුනු ඇරයුම අළුයම ලූ කෙල පිඬක් ලෙස ඉවත හෙලූ කුමාර් සංගක්කාර සකල සිරි ලංකාව සිසාරා ඇවිද ඇවිද, නුවරෑළියේ අල ගොවියන්ගේ දරුවෝ, තලවාකැලේ තේ දළු නෙලන්නියෝ, දකුණු මුහුදු තීරයේ අහිංසක ධීවරයෝ, අනුරාධපුරේ ආසනික් කන වී ගොවියෝ සහ කොළඹ කුලී කම්කරුවන්ගේ හය හතර නොතේරෙන නොදරුවෝ ඇදගෙන ඇවිත් බලහත්කාරයෙන් එන්රිකේගේ දෙවොල් මඩුවට ගාල් කරන ලද්දේ යම් සේද, අන්න ඒ වාගේම නොඑක් රසපිරි පෝස්ට් තොග ගනනින් බස්සිගේ නවාතැනේ ගාල් කරන්නටයි, මේ අළුත් අවුරුද්දේ මගේ පොරොන්දුව!


ඒ අකුරු කියවා, උරා බී, කැමැතිනම් වමාරා යලි යලිත් බුදිමින්, 'උඩට අඳින යට ඇඳුම්' පමණක් නොව 'යටට අඳින යට ඇඳුම්' වුව ගලවා රිසිසේ ප්‍රීති වුව මැනැව. හැබැයි පුතෝ! තෑගි පිණිස දෙනවානම්, යට ඇඳුමක් වුවත් අපේ ජනාධිපතිතුමාගේ උදහසට ලක්නොවන පරිදි රැපින් පේපරයක ඔතා වැදගත් විදියට පිලිගැන්වීමයි සුදුසු!

New Year 2016 Wishes Quotes Greetings2

ඔබ සැමට සොම්නසින් පිරි නව වසරක් වේවා!

-http://bassigenawathana.blogspot.co.uk/2016/01/blog-post.html

Top