1150 x 80 px

අපි යමු ඉදිරියටම !!!!!

සිංහල බ්ලොග් අවකාශයේ සාපේක්ෂව නවකයෙකු වුවත් ජීවත් වී ඇති කාලය අනුව සමාජය ගැන පළපුරුද්දක් ඇති කෙනෙකු හැටියට නෙළුම්යාය බ්ලොග් සම්මාන ගැන ලඟකදී ඇතිවූ කථාබහ ගැන මා බලා සිටියේ ඉමහත් පිළිකුලෙනි. මුදල් ඇති වුන්, නැතිවුන්, තරුණයන්, වයසක අය, ආදී වෙනස්කම් වලින් තොර සමාජයක් වූ බ්ලොග් අවකාශයේ සැරිසැරූ කුඩා කාලය තුල ලත් අත්දැකීම් වලින් ජීවිතයේ අන් කටයුතු හරහා ලබා ගත් සතුට මෙන්ම සතුටක් මම ලැබුවෙමි.

සාමාන්‍ය සමාජයේ අය අපට හමුවන්නේ පුද්ගලයා ප්‍රථමයෙන් සහ ඔහුගේ හැකියාවන් පසුව බැවින් හැකියාවන් පළමුවෙන් දැක ඒ පිටිපස සිටින පුද්ගලයන් දැන හඳුනා ගැනීමට ලැබීම නැවුම් එමෙන්ම සතුටුදායක අත්දැකීමක් විය.

සැමදා කැමති සමාජ සේවා කාර්‍යයන් සඳහා හැකියාවන් හරහා ඇතිකරගත් විශ්වාසය මතම දායක වීමට ලැබීම බ්ලොග් ලිවීම හරහා බලපොරොත්තු නොවූ එහෙත් ඒනිසාම ලැබුණු ඉතා තෘප්තිමත් අත්දැකීමකි. තරුණ, මහළු භේදයකින් තොරව හැකියාවන් මත බ්ලොග්කරුවන් අගැයීමට පත්වනු බලා සතුටක් විඳීමට නෙළුම්යාය සම්මාන උළෙල මට අවස්ථාවක් ලබා දුන්නේය. මිනිසුන්ගේ තරාතිරම් මත සහභාගී වී ඇති සුහද හමුවලට වඩා තරාතිරම් නොතකන විවිධ හැකියාවන් සහ මත දරන විවිධ වයස් වල අය සමඟ වූ සුහද හමුවීමන්ද මට මහත් සතුටක් ගෙනදුන් බව පිළිගත යුතුය. තනිවම බ්ලොග් ලිවීමට එහා ගිය අත්දැකීම් සමූහයක් නෙළුම්යාය නිසා සහභාගීවීමට ලබුණු සමාජ සත්කාර ව්‍යාපෘති, සම්මාන උළෙලවල්, සුන්දර මිනිසුන් හමුවීම නිසා ලැබීමට මම වාසනාවන්ත වීමි.

නෙළුම්යාය සම්බන්ධ සම්මාන උලෙල, සමාජ සේවා කටයුතු, සුහද හමු ආදිය ස්වේච්චාවෙන් සංවිධානය කරන අය පිළිබඳව මගේ ඇත්තේ ගෞරවාදර හැඟීමකි. ඒ ඔවුන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා ඒ සඳහා වන කැපවීම මම දැක තිබීම නිසාය. විනිශ්චය මණ්ඩල වල මම නොසිටියත් හැම අංශයකටම සුදුසූම අය තෝරාගැනීමට ඔවුන් අතර වන සාකච්චා, වාද විවාද සමහරක් අසා තිබීම නිසාය. වෘත්තීය ජීවිතයේ දකින ඉහල තරාතිරම් වල සිටින අය විවිධ තීරණ ගැනීමේදී දක්වන පාක්ෂික භව, අනෙකාගේ මතයට ගරු නොකිරීම, හේතු රහිතව කඩේ යාම ආදිය එම සාකච්චා වල මම නොදුටු නිසාය.

බ්ලොග් ලෝකයේ යහපතට විවේචනය කරන අය කිහිප දෙනෙක් සිටින බවත් ඔවුන්ගේ විවේචන ගැන අදහස් දැක්වීම හා වාද විවාද කිරීම පොදු අරමුණේ ප්‍රගමනය සඳහා වැදගත් වන බව මම පිළිගනිමි. එහෙත් විවේචනය කරන්නාගේ අරමුණු ගැන වටහා ගැනීමක් නොකර ඒවාට පිළිතුරු දීමට උත්සාහ කිරීම නිශ්ඵල දෙයක් බව වටහා ගැනීමට පරිණත බවක් නැත්නම් වන්නේ පටු ආර්ත්මාර්ථකාමී අරමුණු මුදුන්පත් කරගැනීමට ඕනෑම පහත් වැඩක් කිරීමට බලාගෙන සිටින පිරිසකට වේදිකාවක් සකසා දීමකි. පසුගිය සම්මාන උළෙල සංවිධානය කරන අවස්ථාවේදීද විවිධ මත ගැටුම් ඇතිවුණ බව රහසක් නොවේ. එහෙත් එම මත ගැටුම් ඇතිවුණේ ඒ සඳහා දර දිය අදින අය අතරය. එම මත ගැටුම් විවිධාකරයෙන් සමථයකට පත්වුණේ එම වෙනස් මත ඇතිවුණේ කලයුතු කාර්‍යයයේ සාර්ථකත්වය පැතූ පිරිසක් අතර වීම නිසාය. එවන් මත ගැටුම් සමථයක පත්කරගැනීමට කාලය මිඩංගු කිරීම සාධාරණය. එම කාර්‍යයයට ශ්‍රමයෙන් හෝ අදහසකින් වත් සහයෝගය නොදක්වන පිරිසක් විසින් ගෙනයන ව්‍යාපාරය සිදුවන්නේ එහි ප්‍රගමණය වෙනුවෙන් නොව මෙම උළෙල කඩාකප්පල් කිරීමේ අරමුණෙන් පමණක්මය යන දේ තේරුම් ගැනීම අපහසු නැත. එවන් අයවළුන් සමඟ වාද විවාද කිරීම ඔවුන්ගේ එම කඩාකප්පල්කාරී ක්‍රියාවලට පිළිගැනීමක් ලබා දීමක් වේ.

නෙළුම්යාය සහ එහි වටිනාකම තේරුම් ගෙන ඇති අය සහ තේරුම් ගන්නා අය වෙනුවෙන් එය දිගටම පැවතිය යුතු දෙයකි. අඩුම වශයෙන් ඊට වඩා සංවිධානාත්මක ව්‍යුහයක් ඇති ආයතනයකින් එවන්නක් සිදුවන තුරු එම අඩුව පිරවෙන්නේ නෙළුම්යායෙනි. මා දන්නා තරමට පළමුවෙනි සම්මාන උළෙලට වඩා දෙවන උළෙල සහභාගීත්වය සහ අනික් කරුණු මත ඉදිරියෙන් තිබිණි. මින් ඉදිරියට එය තවත් විශාල සහභාගීත්වයකින් පැවැත්වෙනු ඇති බව මගේ විශ්වාසයයි. එය බ්ලොග්කරුවන්ට එපාවූ දවසක එය සහභාගී වන ප්‍රමාණය අඩුවී යනු ඇත. එවන්නක් සිදුවුණොත් පමණක් ඒ ගැන තීරණයක් ගැනීමට ඉඩ තබා කඩාකප්පල්කාරීන්ට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් එලෙසම කරගෙන ඉඩ දී සිටීම වඩා උචිත දෙයක් යයි මම සිතමි.

මෙම කඩාකප්පල්කාරී ව්‍යාපාරයේ යටි අරමුණු ගැන සමහර බ්ලොග් කරුවන් ලියා ඇත. තවත් අය ඊමේල් මඟින් සහ අනික් විදි වලින් ඒ ගැන කථා කර ඇත. එවන් පහත් අතිශය ආර්ත්මාර්ථකාමී අරමුණු සඳහා සමාජ ව්‍යාපාරයක් කඩා බිඳදැමීමට උත්සාහ කරන අයට දිය හැකි එකම පිළිතුර වඩාත් හොඳින් එම කාර්‍යය සඳහා කැපවීමයි. ඒ සඳහා දැනට සංවිධානය කරන අය ගියවරටත් වඩාත් කැපවීමෙන් ක්‍රියාකරනු පෙනීම සහ කලින් සම්බන්ධ නොවූ අයත් ඉදිරිපත්වීම මෙම කඩාකප්පල්කාරී ව්‍යාපාරය බොහෝ දෙනෙක් පිළිකුල් කරන බවට ඇති හොඳම සාක්ෂියයි.

නෙළුම්යායට සම්බන්ධ වී ඇති අය ගැන සමාජයේ ඔවුන්ට වඩා වැඩි කලක් ජීවත් වී ඇති මට ඇත්තේ එකම එක චෝදනාවකි. ඒ ඔවුන් සමහරකගේ ඇති අති සංවේදී බවයි. අබුද්දස්ස කාලයේ සමාජ කටයුතු වලට එනවිට තිබියයුතු ඉබි කට්ට ඔවුන්ට නැත. ඵල ඇති රුකට ගල් වදින බව සහ බල්ලන් බිරුවට ගැල දිගටම යායුතු බව ඔවුන් වටහා ගත යුතුය. අනුන්ගේ හැකියාව සහ තමන්ගේ නොහැකියාව නිසා ගල් ගසන්නන් මෙන්ම පටු අරමුණු මුදුන්පත්කර ගැනීමට ගල් ගසන්නන්ද ඇත්තේ බ්ලොග් ලෝකයේ පමණක් නොවේ. බොහෝ කකුල් හතරේ බල්ලන් බුරන්නේ ගැල නිසා තමාට හෝ තමාගේ ස්වාමියාට හානියක් වන බවට ඇති වැරදි වටහාගැනීමක් නිසාය. කකුල් දෙකේ බල්ලන් බුරන්නේ අවුරුදු ගණනක් සූප්පු කරකර සිටි කට්ට නැතිවීම නිසාය. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ කට්ට ගත්තේ ගැලේ යන අය කියාය.


ඔවුන් ඔවුන්ගේ කාලය යොදවා කට්ට හොයාපුදෙන් අපි යමු ඉදිරියටම !!!!!

 

Top