Untitled 1

මගේ සිමා කිරිල්ල සහ තලල්ලේ තැලිල්ල..
මේ ට්‍රෙන්ඩ් එක ගෙනාවේ චෙෆාකි.. එයාටම ආවේනික වෙච්චි රස වෑහෙන සයිලියකින් දික්වැල්ලේ සුදා ගේ බයිට් කඩේ ගැන ලියපු පෝස්ට් එක කියවපු වෙලේ ඉඳන් මම ඉන්නේ ආයේ කවදද ඒ පැත්තෙන් යන්නේ කියල බල බල.. චෙෆා එක්ක හරි හරියට දික්-වලි යන්න ගත්තේ විසිරි සිහින ලියන අපේ වාසනාවන්ත කළු සුදු අක්කා..  එයත් ඔය දකුණු ලක අභිමානවත් සුජාත දියණියක් ය කියන්නේ.. අම්බෝ.. එයාට නම් විහිලු කරන්න ඕනි බලාගෙන.. අතපය කඩාගෙන ආපහු තිබ්බ විදියට හදා ගන්න ඕනෙනම් ඉතිං කමකුත් නෑ විහිළුවක් කරාට.. (මම කියුව කියලනම් කියන්න එපා).. 
එතකොට අණ්ඩ කොන්ට්‍රෝල් නැතිවෙන්න කලින් තංගල්ල දික්වැල්ල හතර මායිම මැනපු හොඳ කකුලක් තමයි ගස්ලබ්බත්.. දික්වැල්ලේ සුද්දගේ කතාව දැකල ගස් ලබ්බගේ ඇඟ කිලිපොලා යන ප්‍රේම ජවනිකාවක අත්දැකීමකුත් ලියල තිබ්බ උගේ නෙවෙයි වගේ.. හැක්. ඔන්න ඉතිං අපිටත් සෙකන්ඩ් වෙන්න පුළුවන්ය.. මගෙත් අත් දැකීමක් තියේ ඔය ලඟින්ම යන 'සිත මන්මත් කරවන සටනක්' ගැන.. හැබැයි ඉතිං බදුල්ලේ ඉඳල දික්වැල්ලට එන්න හෙන වටයක් තියෙනවා.. ඒක නිසා දික්වැල්ල පැත්තේ එන්න උණු විදිය මේකෙම මුලට අමුණලා දෙකට කඩල පොඩි වටයක් ගිහිල්ල තමයි එන්න වෙන්නේ.. තරහා අවසර..
 
මගේ සිමා කිරිල්ල..
 
කාලේ හරියටම මීට අවුරුදු විසි එක හමාරකට විතර කලින්.. 1995 අවුරුද්දේ.. උසස් පෙළ විභාගේ ඉවර උන ගමන් මගේ අතීසාර මිත්තරයට ඕනි උනා කියහන්කෝ සිමා කරන්න.. ඇත්තටම ඒක ඌට නෙවෙයි උගේ සනුහරේ එහෙකුට ඕනි වෙච්චි එකක් වෙන්නොනි.. ඉතිං මූ මටත් කතා කරා සිමා කරන්න.. මම අදටවත් දන්නේ නෑ ඔය සිමා කියන්නේ මොකක්ද කියල හරියට.. ඉතිං එදා ගැන හිතා ගන්ඩලකෝ.. ඕනේ මංගල්ලයක් කියල මාත් අම්මට කියුව මට සිමා කරන්න ඕනි කියල.. 'කෙහෙල්මල් සිමාවෙක් නෙවෙයි ඊළඟ පාරවත් හරියට පාඩන් කරලා විභාගේ ලියපං' කියල අම්ම එවෙලේම තීන්දුව ප්‍රකාශ කරා. ඒත් නවාතැන් පහසුකම් හා තව තව අඩුපාඩු සල්ලිකාරයෝ වෙච්චි මගේ යාළුවගේ දෙමව්පියන් දරන්න සුදානම් බවත් ගිහින් බලල ඇවිත් අකමැතිනම් නොකර නිකං ඉන්න හෝ බාගෙට කරලා ඉතුරු ටික පස්සේ උනත් කරන්න පුළුවන් වගේ ගොඩක් ඇවිටිලි වලින් පස්සේ මටත් 'කොළඹ ගිහිං සිමා කරන්න බලලා එන්න' අවසරය ගත්තා.
 
ඔන්න ඉතිං අපි දෙන්නත් ඊට දවස් දෙක තුනකට පස්සේ රෙදි පෙරෙදි එහෙම ඔතාගෙන රෑ බස්සෙහෙක නැගලා බදුල්ලෙන් කොළඹ ආවා.. කලින් අහගෙන තිබ්බ විස්තර අනුව එලි වෙන්ඩ කිට්ටුව විජේරාම හන්දියෙන් බැහැල 'සිකරට් දෙකක්' එහෙම පත්තු කරගෙන සිමා කරන්න මුල් පියවර තිබ්බ.. එදා උදේ වරුවේ කරේ බෝඩින් හොයපු එක.. ජම්බුගස්මුල්ල පාරේ ද කොහෙද සුපිරි බෝඩිමක කාමරේක බූරු ඇඳන් දෙකක් එකකට මාසෙකට තුන්සියකට වගේ මිලකට හොයා ගන්න වරුවෙන් පුළුවන් උනා. බූරු ඇඳට අමතරව ඇදගෙන නාන්න ලිඳක් හා පහළොවකට විතර පොදු කක්කුස්සියක් භාවිතා කිරීමේ අයිතිය හා රෑ නවයෙන් පස්සේ ලයිට් දාන්න බෑ, ෆෑන් දාන්න, හීටර් ගහන්න, උයන්න බෑ වගේ බෑ ලිස්ට් එහෙකුත් අර තුන්සීයටම නොමිලේ හම්බුනා මතකයි. උන්න විදියට මලා මදැයි කියල බෝඩිමේ ඇන්ටිට හයසීයක් දීල ඇඳන් දෙක 'බුක්' කරගත්තු අපි කරේ තිබ්බ බෑග් ඇඳන් දෙක උඩින් තිබ්බේ අපේ අයිතිය අඟවන්න. හැරෙන තැපෑලෙන් ආපහු හයිලෙවල් පාරට ඇවිත් චිකන් කොත්තු දෙකක් කාල ඉස්ප්‍රයිට් දෙහෙකුත් බීල ගොල්ලීප් දෙකකුත් පත්තු කරගෙන ඔන්න සිමා කරන්න ඊළඟ පියවරත් තිබ්බ..
 
එදා සෑ තමයි සෑ.. බූරු ඇඳන් දෙකට වෙලා කයියක් ගහගෙන ඉන්නකොට ඔන්න එකා දෙන්න එනවා. සමහරු අපි ඉන්න බව දැක්ක.. සමහරු දැක්කෙත් නැද්ද කොහෙද.. ඒ එන උන් ඔක්කොමගේ තිබ්බේ එකම රුටීන් එකක්.. පොඩි තුවා කෑලි කරේ දාගෙන එලියට යනවා.. මුණයි කර දෙපැත්තයි පිහද පිහද ඇතුලට එනවා. ගඳ ගහන මේස් ජෝඩුව සපත්තු ජෝඩුවටම ඔබල සපත්තු ජෝඩුව කකුලෙන් ඇඳ යටට තල්ලු කරනවා. ඊළඟට කෝට්ටේ යටින් ගන්න පට්ට හඩු ගඳ සරමක් දෙපාරක් ගසල ඔලුවෙන් ඇතුලට බස්සන සැණින් කලිසම ඉණෙන් පහලට වැටෙනවා. මාරුවෙන් මාරුවට කකුල් දෙකෙන් පන්නන කලිසම දෙපාරක් ගසල කලිසම ඇතුලෙන් ගන්න තද පාට ගුලියක් එක සාක්කුවකට ඔබල බූරු ඇඳ ගාව ඇනේක කලිසම රන්දනවා.. ඊළඟට ඔටෝමැටිකලි අත යන්නේ කලුපාට ඔෆිස් බෑග් එකට.. ඇඳ උඩ වාඩිවෙලා අර බෑග් එකෙන් ගන්න පරාට, වඩේ, පොල් රොටි වගේ මොනවහරි දෙයක් උගුරෙන් පහලට තල්ලු කරලා ඇඳ යටින් බෝතලයක් අරං ගුඩු ගුඩු ගාල වතුර බෝතල් භාගයක් ගසනවා. සමහරු පත්තර කොලේ ගුලි කරලා ඈත තියෙන ඩස්බින් එකට විසි කරලා ඇඳෙන් නැගිටලා ජනෙල් පලුවෙන් අත් දෙක එලියට දාල බෝතලේ ඉතුරු වතුර ටිකෙන් අත සෝදනවා. සමහරු කොලේ විසි කරන්න කලින් එකෙම්ම අත පිහදලා දාල බෝතලේ ඉතුරු වතුර ටික හෙටට තියා ගන්නවා. ඊට පස්සේ මෙලෝ වගක් නැතුව ඇඳේ දිගාවෙලා දෙපරන්දේ අත් දෙක ගහගෙන බිත්තිය පැත්තට හැරිලා ගොරවන්න ගන්නවා. මේක බලාගෙන හිටපු අපි දෙන්නට සිමා වලට තුන්වෙනි පියවර තියන්නනම් ආපහු සිකරට් දෙකක් ඕනිම කියල තේරිලා ගෝල්ලිප් දෙකයි ගිනිපෙට්ටියයි අරං ලිඳ ගාවට යනවා. ආපහු කාමරේට එන්නේ හරියටම රෑ අටයි පනස් නවයට.. ලයිට් නිවන්න කලින් ඇඳන් දෙක හොයා ගන්න ඕනි නිසා.
 
නයිට් ඊස් ස්ටිල් වෙරි යන්ග් සහෝදරවරුනි. ලිඳ ගාව තිබ්බ කූල් එක විනාඩි පාළොහක් වගේ යද්දී ඇඳ ගාව දියවෙලා දාඩිය ගලන්න ගන්නවා. ඒ එක්කම වගේ කට ළඟ තිබ්බ සිකරට් සුවඳින් මත් වෙලා හිටපු නහය වැඩ පටන් ගන්නවා. දාඩිය ගඳ, පුස් ගඳ, ඉඳුල් ගඳ, සපත්තු මේස් ගඳ, කටවල්වල ගඳ, පඩ ගඳ එක්ක එළියෙන් එන කක්කුස්සි ගඳ එකතු වුනාම පට්ට සැලඩ් එක.. ඒ ගමන්ම අරලිය මල් ෆිල්ම් එකේ ෆ්‍රෙඩි සිල්වා කියපු කියමන ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා.. ෆ්‍රෙඩි කියන්නේ "උඩින් මදුරුවෝ උස්සගෙන යනවා යටින් මකුණෝ අල්ලාගෙන නොහිටින්න" කියල.. අම්මප.. මට නම් මේ මදුරුවොත් එක්ක තරහ ලේ බොනවටම නෙවෙයි.. කණ ලඟටම ඇවිත් තව 'තැන් කූ..ඌ..ඌ..' කියලත් යනවනේ.. කොහොම හරි මධ්‍යම රාත්‍රිය වෙන්න කලින්ම මම නම් සිමා හීනය දකින අදහස ඇත ඇරලම දැම්ම. තවත් දුක හිතෙන දේවල් දරා ගන්න බැරි නිසාම අපි දෙන්න උදේ අනිත් උන් ඔක්කොම යනකං කොට්ටවලින් මූණු වහගෙන ඉඳල පස්සේ නැගිටලා නාල කරලා ඇඳ ගත්ත සිමා එකට යන්න. ඇත්තටම මට හෙන ආඩම්බරයි මගේ යාළුවා ගැන මූ තාමත් එක හිතිං සිමා කරන්න හිත හදාගෙන ඉන්න එක ගැන..
 
උදේ නවයට දහයට විතර අපි දෙන්න බෞද්ධාලෝක මාවතේ කොහෙන්දෝ බස් එකෙන් බැහැල මළලසේකර මාවතේ ඇවිදගෙන ගිහිං සිමා එකට ගියා. උඹ රෙජිස්ටර් වෙනවද නැද්ද? අරූ අන්තිම වතාවටත් මගෙන් ඇහුව.. හිතට ආපු වචන ටික මං බොහොම සාවධානව කියල දැම්ම... මට බෑ හු** මේ හු** කට්ට කන්න.. උඹ ඕනේ හු*** කර ගනින්.. මං අද රෑ බස්සෙකේ ආපහු යනවා.. අපරාදේ උඹ අර හු*** මටත් එක්ක ගෙවපු තුන්සිය.. පුළුවන්නං ආයේ ඉල්ලා ගනිං.. වෙනදට එකට පහක් කියන එකා හෙන සාන්ත දාන්ත විදියට කට පියාගෙන ගිහිං රෙජිස්ට්‍රාර් හම්බුනා.. මං පහල ලොබි එකේ ලගා ගහ ගත්ත අරූ එනකං. ඔන්න එතකොටයි පින්වතුනි මං පෙර කරපු අකුසලයකින් කට ඉස්සරවෙලා සිමා කරන්න බෑ කියපු මෝඩකම මට ටික ටික වැටහෙන්න ගත්තේ.. සිරි පැරකුම් එකේ රජ්ජුරුවන්ගේ අන්තඃපුරේ වගේනේ යකඩෝ සිමා එක.. බාගෙට තං, බාගෙට ගල්, බාගෙට බුරි.. අම්මට උඩු.. බදුල්ලේ මොන කොලෑන්ස් ද? දැන් ඉතීම් පරක්කු වැඩියි.. ටෞකණ්ඩ.. අම්මප ඔය හරියේ හොඳ උස ගලක් තිබ්බනම් මම එදා අර මෝඩ බිසෝවරු කරා වගේ ඒකෙන් පහළට පැනල මැරෙනවා.
 
"හරි..යමං.." මගේ හීන සාගරේ බිඳගෙන අරූ කණ ළඟටම ඇවිත් කෑ ගහපි. අම්මට මුගේ තියෙන සතුට.. යකෝ සිමා කරන්න රෙජිස්ටර් වෙලා ඔහොමනම් අවුරද්දක් හමාරක් කරනකොට මූ සතුට වැඩිවෙලා වෙන ලෙඩක් හදා ගන්නත් බැරි නෑ.. මයේ මොකෝ.. උඹනේ කට්ට කන්නේ කියල මාත් වැඩි කතා බහක් නැතුව බෝඩිම පැත්තට යන බස් එහෙක එල්ලුනා. අර ඇඳුම් දෙක තුන තියෙන බෑග් එක ගන්න නැත්නම් අම්මප මම නම් ආයේ ඔය මුස්පේන්තු බෝඩිම පළාතෙවත් යන්නේ නෑ.. ඒත් ඉතින් සන්තකේට තිබ්බ සේරම එතනනේ. යන්නම වෙනවා.. මෙන්න බොලේ.. මම ගිහිං ඇඳුම් දෙක තුන බෑග් එකට ඔබා ගන්නකොට අරුත් උගේ ඇඳුම් බෑග් එකට දානවා..
 
"ආ.. බොල.. තෝ කොහේ යන්නද? ඇයි කෝස් එක පටන් ගන්න පරක්කු වෙනවද?"
"කවුද හු** කෝස් එක කරන්නේ?"
"එහෙනං සල්ලි දීල රෙජිස්ටර් උනේ මොන පු* අමරුවකටද?"
"හඃ.. හඃ.. හඃ.. මං මේ රෙජිස්ටර් වෙච්චි ලියුම ගිහිල්ල පෙන්නලා මිසක අපේ අම්මට මෙතන තියෙන අමාරුකම් කියුවොත් අම්ම විස්වාස කරයි කියල තෝ හිතනවද? ඈ යකෝ.. තෝ පොඩි කාලේ ඉඳලම අපේ අම්මව දැන ගෙනත්"
"#$%^&**&^%$#,.. හික් හික් හික්.. තොපේ තාත්තට කසන්න සල්ලි තියෙන නිසා හොඳයි.. එහෙනං යමං ආපහු පුරුදු බදුල්ලේම ලගා ගහන්න"
 
ඔන්නොහොමයි පිංවතුනි මේ කතාවට ප්‍රවිෂ්ට වෙන්ඩ කියල ලියපු මගේ සිමා කිරිල්ල ඉවර උනේ..
 
එදා මිටිං ඇරපු කුරුල්ලෝ වගේ ජම්බුගස්මුල්ල පාරෙන් ආපු අපි එක පයින් ගෙදර ගියා කියල හිතනවද? පිස්සුද ළමයෝ එහෙම යන්න. ඔය යාළුවගේ තාත්තා වැලිගම..  අම්මගේ ගම අහංගම ගොයියාපානේ.. (දැන් අවුරුදු හතළිහක් වෙලාවත් ඔය ගොයියාපාන කියනකොටම ඒකෙ පද පෙරලලා කියන්න හිතෙන එක අදටවත් නතර වෙලා නෑ කියහන්කෝ ඉතිං) උන්ගේ ලොකු අම්මලා ඇතුළු නෑදෑ සනුහරේම ඉන්නේ එහේ. ඉතින් එදා අපි පිටකොටුවෙන් මාතර බස් එහෙක නැගල ගියා ගොයියාපානේ.. 
 
ඒ ගිහින් නටපු විගඩන් කියනවනම් වෙනම ලියන්න වෙන්නේ. ඒක නිසා එහෙ දවස් කීපයක් නතර වෙලා හිටියා කියල විතරක් ලියන්නම්. ඉතිං අතේ සල්ලිත් හිඟ වෙනකොට නටන්න තියෙන පිස්සුත් ඔක්කොම නටල ඉවර උනාම අපිම හිතුව ආපහු බදුලු යන්න. ඒ යන්නේ මාතරට ගිහින් මාතරින් මොණරාගල බස්සෙහෙක වැල්ලවායට ගිහිං එතනින් බදුල්ලට ඔන්න ඔහොම දිග ගමනක්.. ඉතින් අපි එදා උදේ අහංගමින් පිටත් වෙලා මාතරට ඇවිත් මාතරින් මොණරාගල යන බස් එහෙකට නැගල කරලා පිටිපස්සට වෙන්න තියෙන සීට් එකක් බලල හරි බරි ගැහිලා වාඩි එහෙම උනා.. යාළුවා තමයි නඩේ ගුරා.. ඒ කාලේ මං ඔයි පැත්තට ආගන්තුකයි හොඳටෝම.. අනේ ටිකක් වෙලා යද්දී වයසක අම්මල ළමයි වඩා ගත්ත අම්මල එහෙම ඇවිත් අපි දෙන්නගේ සිට් දෙක දිහා බලනකොට අපි ඒවා දීල කෙලිම්ම පිටිපස්සේ ෆුට් බෝඩ් එකටම සෙට් උනා. ඒ කාලේ ඔය බස් වල සිකරට් එහෙම බොනවට විරුද්ද වීගෙන වීගෙන වගේ එන කාලේ.. ඒත් චන්ඩි ව‍ගේ උන් ඇතුලෙම බිව්වා.. අපි වගේ නොන්ඩි කලේ ෆුට් බෝඩ් එකට ඇවිල්ල සිකරට් එකක් ගහල යන එක. ඒක වැරද්දක් විදියට කවුරුත් හිතුවේ නෑ. ඉතීම් ෆුට් බෝඩ් යන එකේ එහෙම වාසියකුත් අපිට ලැබුන..
 
ඔය බස් වල ගිහිං තියෙන ඈයෝ දන්නවා ඕකේ සීටින් ඇරෙන්ජ්මන්ට් එක.. ෆුඩ් බෝර්ඩ් එක ළඟම අනිත් පැත්තේ පේළියේ තුනේ සිට් එකේ එදා හිටියේ අපිට ටිකක් ඉතර වැඩිමල් අක්කල තුන් දෙනෙක්.. 'ගාමන්ට් එහෙක වැඩ කරන' ලක්ෂණ තිබ්බට එහෙම නොවෙන්නත් තිබ්බ. ඒ කෙලින්ම පිටිපස්සේ දිග සිට් එකේ හිටියේ 'අනිවා ආමි' පොරවල් තුනක්. හොඳ උස මහත කොල්ලෝ මතක විදියට.. උඩු රැවුල් වවල ෂර්ට් අත හීනියට වැලිමිටෙන් උඩට නවල බඩ මැද්දට වෙන්න ඇඳපු කලිසමට හිරට හිරේ යට කරපු ෂර්ට් එක, කොළපාට බෙල්ට් එක හා ටිකක් ලොකු ට්‍රැවලින් බෑග් එක තමයි ඒ කාලේ ආමි කොල්ලොන්ගේ අයිඩෙන්ටි කාඩ් එක. ඒ වගේම තමයි ඔහොම යාළුවෙක් හම්බුනාම අනිවාර්යයෙන් අහන ප්‍රශ්ණ තුනකුත් තිබුන.. 'දැන් කොහෙද ඉන්නේ? කවදද ආවේ? කවදද යන්නේ?' කියන්නේ ඒ ප්‍රශ්ණ තුන..
 
පරණ දොර දෙකේ CTB බස්සෙකක්.. පින්තූරේ ගත්තේ උත්පල දිල්හාන් ගේ ෆේමස් බස් බ්ලොග් එකෙන්..
ඔන්න ඉතිං වැඩේ.. අක්කල තුන්දෙනා ඉස්සරහ සිට් එකේ.. අයියල තුන්දෙනා පිටිපස්සේ සිට් එකේ.. අපි දෙන්න එතන ෆුට් බෝඩ් එකේ.. මාතරින් පිටත් වෙනකොට ටික ටික පටන් ගත්ත අයියලාගේ විහිලුව දෙවුන්දර හරියට වගේ එනකොට අක්කලාට කරදරයක් වෙච්චි බව පෙනුනා.. එතනින් තව ටිකක් ඉස්සරහට එනකොට ඒ අයියලාගේ හැසිරීම අක්කලාට විතරක් නෙවෙයි මුළු බස් එකටම කරදරයක් වී ගෙන ආව.. හැමෝම නුරුස්නා බැල්මක් දැම්ම මිසක් කවුරුත් ඉතින් ආර්මි ඩයල් නිසා කතාවකට ගියේ නෑ.. අපිනම් ඉතින් නුරුස්නා බැල්මක්වත් දාන්න ගියේ නැත්තේ අතේ දුරින් හිටපු නිසා.. හොම්බ තලාගෙන ගෙදර ගියාම අරුගේ අම්මගේ ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා හොඳයි ඇල්ල වැල්ලවාය පාරේ පල්ලමකින් පහලට පනින එක.. ඔන්න ඒ නිසා අපි දෙන්න ෆුට් බෝඩ් එකේ පහලටම බැහැල තව සිකරට් එකක් ගැහුවා ඉස්ට්‍රෙස් යන්න. මාතර ඉඳන් ගන්දර ට එන්න බස් එක පෑ බාගයක්වත් යන්නේ නෑ. ඒත් ගන්දරට එනකොට අයියල හොඳටම ෆෝම් වෙලා.. එහෙම තමයි ආමි අයියල.. ළඟ පිකප්.. 
 
ඔන්න ඒ වෙලාවේ අපේ කතා නායකයා ෆිල්ම් එකට එන්ටර් වෙනවා.
 
මේ කතා නායකයා ඉස්සරහ ෆුට් බෝඩ් එකේ කොන්දොස්තර මහත්තයා ළඟ කතාවක් දාගෙන හිටියේ.. වැඩිය උස මහත නැති අවුරදු විසි පහක විතර කොල්ලෙක්.. මූ මං බලාගෙන වෙඩිල්ලක් වගේ එනවා පිටිපස්සේ සිට් එක ලඟට.. ඇවිත් ආමි උන් තුන් දෙනාගෙන් තනියම ගේම ඉල්ලුවා වන්ෂොට් වන් වගේ.. "අඩොව්.. කැ* වැඩ කරන්න එපා ඩො.. උඹලටත් නංගිලා ඉන්නවා නේද? උඹල විතරක් නෙවෙයි මේ බස් එකේ යන්නේ.. තව ගෑණු මිනිස්සු ඉන්නවා .. පොඩි උනුත් ඉන්නවා...." ආදී වශයෙන්.. අම්මට.. ආර්මි උන් එහෙම සෙකන්ඩ් වෙනවද? අඩෝ.. තෝ කවුද ඩො අපිට උගන්නන්න.. දැනගන් අපි ආමි එකේ.. " ඔන්න බලලා පැන්න මල්ලෙන් එළියට. ඊට පස්සේ දෙපැත්තෙන්ම දරුණු වාග් සංග්‍රාමයක්.. හැබැයි තාම කවුරුවත්ම අතපය ඉස්සුවේ නෑ.. බස් එක ඉස්සරහට යනවා.. බස් එකේ හිටපු හැඩිදැඩි පිරිමින්ට නින්ද ගිහිං.. අපි දෙන්න අත් මිට මොළවාගෙන... ඒත් ආමි කාරයොන්ට පේන්නේ නැති වෙන්ට.. ගෑණු කට ඇරගෙන සින් එක දිහා බලාගෙන.. බස් එක තාමත් හිමි හිමින් ඉස්සරහට යනවා..
 
ඔහොම ගිහිං.. එක තැනකදී බෙල් එකක්වත් ගහන්නේ නැතුව බස් එක කඩයක් අයිනට කරලා නතර කරා. අපේ වීරයා අපි දෙන්නව තල්ලු කරගෙන පිටිපස්ස දොරෙන් එලියට පැනල කඩේ ලඟට දිව්වා.. ඒ සැණින් මූ ආපහු බස් එක පැත්තට දුවන් එනවා.. අම්මට සිරි ගජ.. කඩේ හිටි නොහිටි පිරිමි දහයක් විතර "උගේ අම්මට..&^&%$#" කියාගෙන මුගේ පස්සෙන්.. අපි දෙන්න ෆුට් බෝඩ් එකෙන් බස් එක ඇතුලට විසි උනා..වීරයා ආපු ස්පීඩ් එකටම පිටිපස්සේ සිට් එකට පැනල අරුන් තුන් දෙනාට එක මුෂ්ටි ප්‍රහාරය බැගින් එල්ල කරා. ඒ සංඥාව මගේ හිතේ.. අර පිටිපස්සෙන් ආපු රොත්ත බුරුත්තම අරුන් තුන්දෙනාගේ ඇඟට කඩන් පැන්න.. ඒක නෙවෙයි නියම සීන් එක.. කොහේ හිටිය ගෑණුද මංදා හෙන හමුදාවක් තත්පර ගාණකින් බස් එක වට කරා.. සමහරුන්ගේ අතේ කොහු ඉදල්.. සමහරුන්ගේ අතේ පිහි මන්නා.. සමහර ගෑණු බස් එකේ එල්ලිලා.. තව සමහරු අතේ තියෙන කොහු ඉදල් වලින් බස් එකට තඩි ගහනවා.. හැමෝම සමෝසමේ කුණුහබ්බ වපුරනවා.. මේ ඔක්කොටම එක විනාඩියක් යන්නැති මගේ හිතේ.. වීරයා ආපහු පැන්න බස් එකෙන් එළියට .. හරි හරී.. කියාගෙන.. ඩ්‍රයිවර් බස් එක ඇද්ද.. යන බස් එකෙන් ටිකක් දුර වෙනකනුත් කුණුහරප වපුරන කටවල් පැන්න.. ඊළඟට ඔක්කොම එක රොත්තට හූ..ඌ..ඌ.. කියුව.. බස් එක හෝන් එකක් ගහල සැර දාල ඇදල ගියා.. මම ටක් ගාල වීදුරුවෙන් එබිලා ළඟ තිබ්බ කඩේක බෝඩ් එකෙන් ගමේ නම බලා ගත්ත.. "තලල්ල"
 
ඊට පස්සේ තමයි පින්වතුනි කට්ටිය ආමි රණවිරුවෝ දිහා බැලුවේ.. අම්මට.. කෝ රණවිරුවෝ.. එතන හිටියේ ලේ පෙරාගෙන වැරහැලි ඇඳගත්ත මූණු ඉදිමිච්චි හිඟන්නෝ වගේ තුන් දෙනෙක්.. මෙන්න අර නින්ද ගිහින් හිටපු පිරිමින්ට ඇහැරිලා.. ඔහොම මදි.. තව මුන්ට තලන්න ඕනි.. ඒ  බස් එකේ පිරිමි.. වැඩේ කියන්නේ ගෑනුන්ගේ අනුකම්පාව මේ වෙනකොට පටාස් ගාල ආමි උන් තුන් දෙනාට යොමු වෙලා.. ඒ මදිවට සමහර ගෑනු අර කෙල්ලෝ තුන් දෙනා දිහා බලන්නේ හරියට උන් තුන්දෙනා අරුන්ට ගැස්සුවා වගේ.. තවත් සමහරු කෙල්ලොන්ට ඇනුම් පදත් කියන්න අරං.. බස් එක දික්වැල්ල ස්ටෑන්ඩ් එකට ආවා.. ඇත්තටම ස්ටෑන්ඩ් එකට එන්න කලින් අරුන් තුන් දෙනා බස් එකෙන් එළියට පැන ගත්ත.. හැමෝම සැනසුම් සුසුමක් හෙළුව.. ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තොර මහත්තයයි දෙන්න එකිනෙකා දිහා බලල ඔලොක්කු හිනාවක් හුවමාරු කර ගත්ත.. අපි දෙන්න ආයෙම ෆුට් බෝඩ් එකේ පහලම තට්ටුවට බැස්ස.. ඉස්ට්‍රෙස් එක අඩු කරගන්න..
 
ගුටි කාල සුදු කොඩිය දාන් යන තරුණයෙක්.. රණවිරු අයියලා එදා දික්වැල්ලෙන් එහාට යන්න ඇත්තේ මෙහෙම වෙන්නොනේ
 
දැන් අවුරුදු විසි ගානක් වෙලත් මම දික්වැල්ල මාතර අතර පාරේ යන්නේ කල්පනාවෙන්.. අර බෝඩ් එක දකිනකොට තාමත් ලාවට හී ගඩු පිපෙනවා.. ඒ එක්කම අර කිසි හේතුවක් නැතුව කුණුහබ්බෙන් බැන බැන බස් එකට තඩි ගහපු ගෑණු මතක් වෙලා පොඩි හිනාවක් යනවා.. "ඔයාට අර සිද්දිය මතක් වෙනවා නේද තාම?" ඒ අපේ බිරිඳ.. එයැයිට ඒ කාලේ සිද්දිය කියල තියෙනවා..  "අනේ අප්පච්චි ඒ කතාව කියන්නකෝ" ඒ ලොකු උන් දෙන්න.. මම ආයෙම හිනා වෙනවා.. මේ "තලල්ල" මෙතන කතා කියා කියා ඉන්න බෑ පරිස්සමෙන් එලවන්න ඕනි.. ඒ මම.. හැබැයි හිතෙන් කියන්නේ..
 
Top