සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම

ලෝකය පුරාම විශේෂයෙන්ම අප්‍රිකාණු, ආසියානු, ලතින් ඇමෙරිකාණු හා බටහිර රටවල් කිහිපයකම අතීතයේත් මේ වන විටත් රාජ්‍ය අනුග්‍රහයෙන් මුදල් නොගෙවා අධ්‍යාපනය ලබා දීමේ අයිතිය උදෙසා අරගලයන් සිදු වෙමින් පවතී.

අරගලයන් කොටස් දෙකකි. එකක් දැනට ලැබී ඇති නොමිලේ ලැබෙන රාජ්‍ය අධ්‍යාපන අයිතිය අහිමි කිරීමේ (ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව) යාන්ත්‍රනයට එරෙහිවය. අනෙක කිසිදා නොලැබුණු එම අයිතිය මුල් වරට ලබා ගැනීම වෙනුවෙනි. දැනටමත් විශේෂයෙන්ම යුරෝපයේ සංවර්ධිත රටවල් සීමිත සංඛ්‍යාවක් සහ සුබසාධන රාජ්‍ය සංකල්පය යටතේ ලංකාව වැනි අනපේක්ෂිතව බන්දේසියේ තබා මෙම සුවිශේෂී අයිතිය ලැබුණු තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයක් හැරුණුවිට විශ්ව විද්‍යාල (උසස්) අධ්‍යාපනය බොහෝ රටවල් වල මුදල් දී ලබා ගත යුත්තකි. නොමිලේ ලැබෙමින් පවතින රාජ්‍ය අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම සිදුවෙමින් පවතින්නේ එම සංවර්ධනය වෙමින් පවතින රටවලය.

 

දියුණු යැයි සම්මත සමාජයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සමාජ අසාධාරණය අවම වීමය. නොමිලේ රාජ්‍ය අධ්‍යාපන ලබා දීම යනු එය ලඟා කරගන්නා එක් ආකාරයකි. එසේ නොමැතිව අධ්‍යාපනය පෞද්ගලීකරණයට සහාය දැක්වීම යනු (විශේෂයෙන් ලංකාවේ) පවතින නරාවලෙහි තවදුරටත් පහලට ඇද වැටීමකි. එබැවින් මුදල් නොමැති වීම නිසා අධ්‍යාපන ලබා ගැනීමට නොහැකි වීමේ සමාජ අසාධාරනයට එරෙහිවීමේ අරගලයට සහාය දැක්වීම ප්‍රතිපත්තිගරුක හා ප්‍රතිපත්තියක් ඇති බුද්ධිමතුන්ගේ/ප්‍රගතිශිලීන්ගේ/වාමාංශිකයින්ගේ වගකීමකි. ලාභය අරමුණු කොට නොගෙන නිසි ප්‍රමිතියක යටත්ව රාජ්‍ය අනුග්‍රහය සහිතව මානව හා සමාජ සංවර්ධනය උදෙසා සිදුකෙරෙන අධ්‍යාපනය ධනේශ්වර සංකල්පය යටතේ වුව ඉතා වැදගත් වේ.

එහෙත් ලංකාව? සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, වාමාංශික නායකයින් හා බුද්ධිමතුන් යැයි තමන් විසින්ම කියාගන්නා දූපත් වාසී බොහෝ පිරිසක් හා බ්ලොග්/ෆේස්බුක් පල්හෑලි ලියන්නන් බොහෝ දෙනෙක් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට නැතහොත් වානිජකරණය කිරීමට සහයෝගය දැක්වීම පිණිස (ඔව් ඇත්ත! එරෙහිව නොවේ, සහයෝගය පිණිස) මෛ. සිරිසේන ආණ්ඩුව සමග දිවි හිමියෙන් පෙනී සිටිති. ඔවුනට අනුව සමාජයේ ඉදිරියට යෑම හෝ සමාජයේ දියුණුව පෙන්නුම් කරන්නනේ මේ වානිජකරණයට ඉඩ දීමෙන් පමණි. එසේ නොකලහොත් එය පසුගාමී කමකි. කුහක කමකි. තමන් මේ ෆේස්බුක්/ට්විටර් සංස්කෘතියට නොගැලපෙන්නෙකි. පින් සිද්දවෙයි. “දියුණුව“ සමාජවිද්‍යත්මකව හා දේශපාලනිකව හඳුනාගත් ලෝකයාගේ සිනහවට ලක් නොවණු පිණිස සිංහලෙන්ම ලියන්න. සිංහලෙන්ම කතාකරන්න.

කවුදෝ ඇමතිවරයෙක් පවසා තිබුණු පරිදි මේ වන විට 99% ක්ම සයිටම් සඳහා පක්ෂය. ඇත්තය. මේ ජනඝාතක යුද්දයකට ද 99% පක්ෂ වූ රටක්ය. 2009 යුද්ධයට අත දිගහැර සහයෝගය දීමෙන් ප්‍රගතිශිලි+වාමාංශික යැයි කියා ගන්නා බොහෝ දෙනෙකු නිරුවත් ව තිබුණු අතර සයිටම් යනු ඉහත සනුහරේ ඉතිරිවුණු කිහිප දෙනාගේ හැවත් ගලවා ඉවත් කරවීමට සමත් වූ මාතෘකාවයි.

ශිෂ්‍ය ව්‍යාපාරය

ලංකාවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අවිශිබම) මූලික කරගත් ශිෂ්‍ය ව්‍යාපාරය ඉතිහාසය පුරාම ජවිපෙ විසින් (මේ වන විට පෙරටුගාමීන්) මෙහෙයවුණි. එහි නායකත්වය සැමවිටම පත් වූයේ එකළ ජවිපෙ (මෙකළ පෙරටුගාමීන්) පූර්ණ අනුදැණුම ඇතුවය (අවිශිබම පමණක් නොව විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් තුළ පවා). මෙම මැදිහත් වීම අවිශිබම නායකත්වය දුන් ශිෂ්‍ය අරගලයන් සඳහා වඩා ශක්තියක් වූ අවස්ථා බොහෝය. එමෙන්ම අත් හැර දැමිය නොහැකි නාසිස්ටික් ගුණය නිසා දිය ව ගොස් ශිෂ්‍ය ව්‍යාපාරයේ මතකයෙන් පවා ගිලිහුණු අරගලයන් ද බොහොමයකි. ජවිපෙ දේශපාලන තීන්දු වලට අවනත නොවී ශිෂ්‍ය ව්‍යාපාරයේ මූලික අරමුණු ඉස්මතු කරගත හැකි නායකයින් ශිෂ්‍ය සංගම් වල හෝ අවිශිබමයේ සිටියේ කළාතුරකිනි (අවිශිබම ට එවැනි නායකත්වය දුන් එකම තැනැත්තා ලෙසින් අපගේ මතකයේ ඇත්තේ සුදත් අලහකෝන් සහෝදරයා පමණි).

අවිශිබම බලය හිමිව ඇත්තේ කා සතුව වුවද මේ මොහොතේ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දිය හැක්කේ අවිශිබම යට බව නොරහසකි. අවශ්‍යව ඇත්තේ ඒ සතුව ඇති ශක්තිය අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව දැවැන්ත පෙරමුණක් ගොඩනැංවීම සඳහා යෙදවීමයි. එහි දී සිය පෞද්ගලික දේශපාලන පරමාර්ථ පසෙකලා පොදු එකඟතාවයක් යටතේ තමන් සමඟ පෙරමුණුගතව ඇති අනෙකුත් සංවිධාන සමඟ අතවැල් බැඳ තමන්ගේ ප්‍රධාන ඉල්ක්කය සඳහා සටන් වැදීම වැදගත් වේ. එහි දී අප ඉහතින් සඳහන් කළ නාසිස්ටික් ගුණය අත්හැර තමන් අනෙකුන්ට වඩා ප්‍රබල යැයි ඔලුව ඉඳිමවා ගත් මමංකාරය මඟ හැර පොදු එකඟතාවයක් යටතේ අරගල කළ යුතුව ඇත. අවිශිබම ට මෙන්ම ලංකාවේ සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරය සඳහා ද මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත නොහැකි සියළුම පුරවැසියන්ට (සයිටම් සඳහා සහයෝගය දක්වන ඉහත කී ගම්මුන් ද ඇතුළුව) ද අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිවීමේ සටනේ ජයග්‍රහණය අතිශයින් වැදගත්ය. ඒ සඳහා අවශ්‍ය එම දේශපාලන නිරහංකාර බව නොමැත්තේ නම් සියල්ල අහෝසි වී යාමට නියමිතව ඇත.

GOMA, ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ හා හෙළ උරුමය තුළ පමණක් නොව කාලෝ ෆොන්සේකා සහ අවිශිබමය මෙහෙයවන පෙරටුගාමීන් තුළ පවා මෙම අරගලය තුළින් ලඟා කර ගැනීමට මාන බලන වෙනත් අරමුණු තිබිය හැක. එහෙත් සයිටම් ද ඇතුළුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධ වීමේ දී එම සටන සියළු විරෝධතා එක්තැන් කොට ජයග්‍රහණය කරා රැගෙන යාමට ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය යුතුය.

වරක් නෝම් චොම්ස්කි පැවසූයේ කිසිවෙකු ගේ ප්‍රගතිශිලී ඉල්ලීමක් සඳහා තවත් කෙනෙකු අන්ත ප්‍රතිගාමීව වෙනත්ම අර්ථයකින් සහයෝගය දැක්විය හැකිය යන්නයි. එබැවින් ප්‍රගතිශිලීන් කළ යුත්තේ අනතුර වෙත දිගු කරණ ඇඟිල්ල සහ ඇඟිල්ලේ අරමුණ නොසළකා අනතුර ගැන අවබෝධයෙන් කටයුතු කිරීමයි. ඒ වෙනුවෙන් සටන් වැදීමයි.

(අපගේ පෞද්ගලික අදහසට අනුව සියළුම විරෝධතා හා සටන් උපාය මාර්ග සියළුම පාර්ශවයන්ගේ එකඟතාවයෙන් හා සහභාගීත්වයෙන් සිදු කළ යුතු ව ඇත. පහුගිය ම.රා ආණ්ඩුවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය ක්‍රියාත්මක කළ ඒ වෙනුවෙන් පෙනී සිටි ඒකාබද්ධ විපක්ෂය වැනි පැහැදිලි දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන අත්හැර දැමිය යුතුය. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (GMOA) වැනි ආයතන රෝහල් තුළ කෝකටත් සිදු කරණ තනි තනි වෛද්‍ය වර්ජන මුල් මෙහොතේ අත්හැර දැවැන්ත පෙරමුණක් සේ සමාජය දැනුවත් කිරීමෙන් පටන් ගෙන අරගලය පෝෂිත කළ යුතුය. එය “අධ්‍යාපනය පෞද්ගලීකරණය නවතා දමණු!“ සහ “සයිටම් ඇතුළු සියළුම පෞද්ගලික විශ්ව විද්‍යාල රජයට පවරා ගනු!“ යන පැහැදිලි අරමුණ වෙනුවෙන් පමණක් මෙහෙයවිය යුතුය. එහෙත් අර්බුද හැරෙන්නට එවැන්නක් තියුණු අරගලයක ලක්ෂණ මේ මොහොතේ නම් පෙනෙන්නට නොමැත. සයිටම් සඳහා සහාය දක්වන ගම්මු/වම්මු අපයේ ඉන්ටවල් හිනාවෙන් දත් විළිසන්නේ එබැවිනි).


සයිටම් තර්ක 1

සයිටම් සඳහා සහයෝගය දක්වන බොහෝ දෙනෙකු තුළ ඇත්තේ සයිටම් කෙරෙහි විරෝධය දැක්විය යුත්තේ ඇයි ද යන්න සොයා බැලීමටත් පළමුව සයිටම් ආයතනයට විරෝධය දක්වන GMOA වෙත ඇති විරෝධයයි. GMOA වෙත කිසිවෙකුගේ විරෝධයක් ඇත්නම් එය ඉතාමත්ම සාධරණය. GOMA යනු ලංකාවේ ඇති වෘත්තිය අයිතීන් දිනාගැනීමට ඇති ආයතන වලින් අමාණුෂිකම සහ අසාධාරණ ම ආයතනයයි. සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණයේ වාසි ඉතාමත්ම කුරිරු අයුරින් යොදවාගෙන දුප්පත් රෝගීන් සතු අන්තිම සතයත් සූරා කන ලේ මාපිලුන් පෝෂණය කරන සංවිධානයයි (මේ සඳහා GOMA ට එරෙහිව 2016 අගෝස්තු මාසයේ ලක්බිම පුවත් පතට කුසල් පෙරේරා ලියා ඇති ලිපි කිහිපය කියවන්න. අපට පෙනෙන පරිදි කුසල් පෙරේරා තුළ පවා සයිටම් ට එරෙහි නොවීමට ඇති ප්‍රධානම හේතුව GMOA විරෝධයයි).

එමෙන්ම තවත් බොහෝ දෙනෙකු සයිටම් ආයතනයට සහයෝගය දක්වන්නේ, සයිටම් ආයතනයට විරෝධය දක්වන අවිශිබම සමඟ ඇති දේශපාලන කෝන්තර නිසාවෙනි. එසේත් නැත්නම් නවක වධයට අනුබල දීම, විශ්ව විද්‍යාල තුළට දේශපාලණය රැගෙන ඒම සහ අධ්‍යාපන ය කඩාකප්පල් කිරීමේ උත්සහ කිරීම වැනි සමාජගත සංකල්ප නිසාවෙන් අවිශිබම ය වෙත ඇති නරක කීර්තිනාමය නිසාවෙනි.

එසේත් නැත්නම් ජාතික හෙළ උරුමයේ (ඔවුන්ගේ මූලික දේශපාලණ ප්‍රතිපත්තිවලටත් එහායින් ඇති) සයිටම් විරෝධය ඔවුන්ට කැක්කුමකි.

එහි අළුත්ම දිගුව වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය සයිටම් ආයතනයට විරෝධය දැක්වීමයි. දැන් සයිටම් ආයතනයට සහයෝගය දක්වන “යහපාලන“ බුද්ධිමතුන්ගේ හිසකෙස් අගින් රැස් විහිදෙන්නට පවා පටන් ගෙන ඇත.

මොවුහු සිදු කරන්නේ සයිටම් හෝ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිවි ය යුත්තේ ඇයිදැයි යන කාරණා බුද්ධිමත්ව සොයා බලනු වෙනුවට මෙකී සයිටම් ආයතනයට එරෙහිව දිගු කරණ ඇඟිලි දෙස බලා සයිටම් සඳහා සහයෝගය දැක්වීම සඳහා වූ ලාබ තර්ක ගොඩ නැංවීමය. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අනතුර - GOMA හෝ අවිශිබම හෝ ඒකාබද්ධ විපක්ෂයට හෝ හෙළ උරුමයට හෝ පහර දීම සඳහා එන්ජෝයි කිරීමය. අනතුරෙහි බරපතළ කම අනුව ඉදිරියේදී තමන්ගේම පරම්පරාවෙහි හෝ ඉදිරි පරාම්පරාවක තමන්ගේම දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා තමන්ට දැරිය නොහැකි ප්‍රමාණයේ මුදල් කුට්ටියක් සොයාගත යුතු වීම යන සරල කාරණාව -නොමිලේ ලබා දුන් රාජ්‍ය අධ්‍යාපනයේ වරප්‍රසාද ලබා දැනට කොළඹ ආසන්නව කේන්ද්‍රගතව සිට සයිටම් ආයතනයට සහයෝගය දක්වන මේ හිටපු ගම්මු තේරුම් නොගනිති. මෙලෙස බෙරිහන් දෙන මොවුන් බොහෝ දෙනෙකුට ණය නොවී හෝ අසාධාරන ලෙසින් මුදල් ඉපයීමකින් තොරව මාසයකට රුපියල් ලක්ෂ දෙකක් (වර්තමාන සයිටම් බරපැන යැයි සළකණ) තමන්ගේ දරුවෙකු ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලබා දිය හැකි මට්ටමක මේ මොහොතේ නම් නොමැත. මේ සල්ලි නැති+අලුත් කොළඹ+පරණ ගම්මුන්ට සල්ලි දී ඉගෙන ගන්න හදන එකාට විරුද්ධවීම කුහක කමක් සේ දැනේ. අධ්‍යාපනය නොමිලේ ලබා ගැනීම අයිතියක් සේ දැකීම අවමානයකි.

සයිටම් තර්ක 2

ලකුණකින් දෙකකින් රජයේ විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට බැරිවුණු ශිෂ්‍ය‍යෙකුට මුදල් දී හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අයිතිය තිබිය යුතුයි යන - බැලූ බැල්මට සාධාරන යැයි පෙනෙන තවත් තර්කයක් සමහරු ඉදිරිපත් කරති. එහෙත් එය දියුණු/සාධාරණ සමාජයක ප්‍රධානතම ලක්ෂණයක් වූ ලිංගික/ජාතික/ආගමික/ආර්ථික යන සමාජ අසමානතාවයන් සැළකිල්ලට ගතහොත් එය අවම වශයෙන් මිනිසා සතු එම මූලික අයිතීන් සඳහා එරෙහි වීමක් යනුවෙන් වත් ඔවුහු නොදකිති.

ධනේශ්වරයේ අතකොලුවක් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරෙහි අපගේ දැක්ම කවරෙක් වුවත් 1948 එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් සඳහා වූ විශ්ව ප්‍රකාශනය යටතේ ද අධ්‍යාපන අයිතීන් සඳහා ඉන් පසුව ගෙන ආ එකතු කිරීම් වලින් ද සහතික කර ඇත්තේ ලිංගික/ජාතික/ආගමකි/ආර්ථික හෝ වෙනත් සමාජ අසමානතාවයකින් තොරව නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීම සදහා වූ අයිතියයි. එම අධ්‍යාපනය මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් තොරව මානව වර්ධනය උදෙසා යොදාගැනීමේ අයිතියි. පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන ඉඩක් එහි සඳහන් වුවද එය පවා එහි මතු කර ඇත්තේ එම පෞද්ගලික අධ්‍යාපනය සිදු කළ යුත්තේ ලිංගික/ජාතික/ආගමකි/ආර්ථික අසමාන බවකින් තොරව එය ලබා ගැනීමට හැකියාව තිබිය යුතු බව සහතික කිරීමෙන් හා එය අධ්‍යාපනය ලබා දීමේ මූලික පරමාර්ථ වලට යටත් ව සිදු විය යුතු බවකි (උදා: මුදල් ඉපයීමේ අරමුණින් තොරව). ඒ අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවන්නේ නම් ඒවා සඳහා ඇතුල් වීමට ඕනෑම තරාතිරමක කෙනෙකුට හැකිවිය යුතුය. ඒ සඳහා බටහිර රටවල්වල ක්‍රියාත්මක ව ඇත්තේ රජය මඟින් අවශ්‍ය සියළුම ප්‍රතිපාදන අවම පොලියක් සහිතව ණය මුදලක් සේ මූල්‍ය පහසුකම් රහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීමයි. අධ්‍යාපන ප්‍රමිතිය රඳවා ගැනීම සඳහා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පරිබාහිරව එම ආයතන අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ හසුරුවණු ලබයි.

සයිටම් හෝ ලංකාවේ අනෙකුත් පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා එවැනි ප්‍රමිතියක් හෝ මුදල් නොමැති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මුදල් ලබා ගැනීමේ පූර්ණ ශිෂ්‍යාධාර හෝ අවම පොළී ණය ක්‍රමයක් හෝ නොමැත. එහෙත් එය අතිරේක කාරණාවකි. ප්‍රධාණ කාරණාව වන්නේ ලිංගික/ජාතික/ආගමකි/ආර්ථික අසමාන බවකින් තොරව සියල්ලටම රජය විසින් අධ්‍යාපනය නොමිලේ ලබා දීමේ වගකීමයි. ඒ සඳහා රටේ පුරවැසියන් සඳහා වූ අයිතිය යි.

සයිටම් තර්ක 3

තව කොච්චරක් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල තිබෙනවද? ඒවාට කෑ නොගහ ඉඳල ඇයි සයිටම් වලට විතරක් මේ විරුද්ධ. ඒ තවත් තර්කයකි. අපට කියන්න ඇත්තේ, මොනයම් හේතුවකට හෝ ඒවාට විරුද්ධ වීමට නොහැකි වුණා නම්, පිං සිද්දවෙයි සයිටම් විරෝධී අරගලයෙන් දැං වත් පටන් ගන්න යන්නය.

සමන් රත්නප්‍රිය අසන්නේ, ඇයි කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාලට කෑ ගැහුව්වෙ නැත්තේ බයටද? අපිට කියන්න ඇත්තේ ඔව් බයට තමයි. ඒ කාලයේ ගෝඨාභයගේ සුදු වෑන් එතැයි (සමන් රත්නප්‍රිය හිටියා වගේම) කිසිවෙක් බිය නොවී සිටියේ නම් පුදුමය.

රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීමේ හෝ රාජ්‍ය සේවය තුළ වෙළඳ පරමාර්ථයෙන් පෞද්ගලික සේවා සඳහා ඉඩ දීමෙන් හෝ සිදු වී ඇති අවාසනාවන්ත තත්වය හඳුනා ගැනීමට ලංකාවේ චැනල් වෛද්‍ය සේවාව, පෞද්ගලික වෛද්‍ය පරික්ෂණ ආයතන, පෞද්ගලික බස් සේවා සහ ටියුෂන් කර්මාන්තය සම්බන්ධව ඇති අත්දැකීම් ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්ය. මෙතෙක් පිහිටුවා ඇති පෞද්ගලික විශ්ව විද්‍යාල කෙරෙහි නොව ඉහත සඳහන් පෞද්ගලික සේවා නිසා ඇති පදමට සියලුම රටවැසියෝ අඬු කැඩෙන කම් පීඩා විඳින මුත් කිසිවෙක් මෙතෙක් සංවිධානාත්මක විරෝධයක් දක්වා නෙමැත. දේශපාලන හෝ මොනයම් හෝ හේතුවකට පෙර පිහිටුවූ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය නොපෑ නිසාවෙන් අධ්‍යාපනය තවදුරටත් පෞද්ගලීකරණය කිරීම සාධරන යැයි තර්ක කළ හැක්කේ මේ දූපතේ අයට පමණය. කළ යුත්තේ සයිටම් විරෝධයෙන් පටන් ගෙන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නවතා රාජ්‍ය අධ්‍යාපනය නොමිලේ ලබා දීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීමයි. සිදු වූ අත් වැරැද්ද හදා ගැනීමය.

සයිටම් තර්ක 4

දැනට පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය ඉතා පහල බව, එහි අධ්‍යාපනයේ නිදහස් බව නොමැති බව, එම ආයතන වලින් උපාධිය ලබා පිටවන්නන් ගේ ගුණාත්මක බව ඇත්තේ සැළකිය යුතු මට්ටමක පහල බව යන කරුණු තුළ ඇත්තේ නොසලකා සිටිය නොහැකි තරමේ තිත්ත ඇත්තකි. නූතන ලෝකයේ තාක්ෂණය ඉතා සීඝ්‍ර‍යෙන් දියුණු වෙද්දී ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය නවීකරණය වී ඇත්තේ ඉතා අඩුවෙනි. එහි පාඨමාලා තවමත් ඇත්තේ දෙවන ලෝක යුද්ධ අතීතය ට ගැලපෙන පරිදිය. උගන්වන ආචාර්‍ය මහාචාර්‍ය වරු පවා බොහෝවිට නූතන තත්වයන් හා සංකලනය වී නොමැත. එහෙත් එකී ප්‍රමිතීන් වල අගතීන් පෙන්වා ඒ වෙනුවට පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකිරීමට උඩගෙඩි දීම තරම් අඥානකමක් තවත් නොමැත. විශේෂයෙන්ම අදාල ප්‍රමිතීන්ගේ අහලකටවත් නැති සයිටම් වැනි උපාධිධාරීන් බිහිකරණ වෙළඳ ව්‍යාපාර (අධ්‍යාපන ආයතන නොවේ) තුළින් බලාපොරොත්තු විය හැක්කක් නොමැත. මේ කියන සයිටම්-බර උගතුන් සිදුකළ යුත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රමිතීන් ඉහළ නැවීම සඳහා කටයුතු සැලැස්වීමට මුදල් බරපැන යෙදවීමට රජයට බලකීරීමයි.

උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් සයිටම් තුළ ඇති දුර්වලතා අවබෝධකරගත් කිහිප දෙනෙක් කුහක ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරමින් සයිටම් සඳහා කොන්දේසික සහායක් දක්වති. ඒ සයිටම් තුළ ප්‍රමිතිය රාජ්‍ය විශ්ව විද්‍යාල මට්ටමට ඉහළ දමා ඒ සඳහා ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු බවයි. එහෙත් මොවුන් වෙළඳ ව්‍යාපාරයක් වශයෙන් පිහිටුවා ඇති එවැනි ආයතන වල ඇති ප්‍රමිතිය වැඩි දියුණු කළ යුත්තේ කෙසේද යන්න පැහැදිලි කරන්නේ හෝ ඒ සඳහා අරගල කරන්නේ නැත. කොන්දේසිය ඇඟ බේරා ගැනීමට පමණි. එහෙත් පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට සහයෝග දැක්වීමට නිදි ඇඳුම් පිටින් කඩිමුඩියේ ඉදිරිපත් වෙති. රාජ්‍ය පාලනය දූෂීත වූ සහ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වූ ලංකාව වැනි රටක එවැනි ප්‍රමිතීන් ඉල්ලීම විහිළුවක් බව ඔවුහු හොඳාකාරව දනිති.

වෙළඳ ව්‍යාපාරයක් ලෙස අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කිරීමෙන් සිදුවීමට නියමිත අනර්ථයන් හා ලෝකයේ අනෙකුත් පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවා ඇති පදනම් ගැන ජාතික හෙළ උරුමයෙහි මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ප්‍රදීප් දීර්ඝ විස්තර සහිතව පෙන්වා දී ඇති බැවින් ඒ පිළිබඳ ව දීර්ඝව විස්තර කළ යුතු නැත. එහෙත් එවැනි ආයතන තුළ පවා වියදම් අවම කර ගැනීමේ පරමාර්ථයෙන් සිදුකෙරෙන සමහර කප්පාදූන් නිසා ඉහත ප්‍රමිතීන් සහිත පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක් සතු ගුණාංග ගිලහෙන අයුරු වර්තමානයේ පැහැදිලි වෙමින් පවතී. ප්‍රායෝගික පරීක්ෂණ වෙනුවට සජීවී හෝ පටිගත කරණ ලද වීඩියෝ මගින් පරීක්ෂණ නරඹා අත්දැකීම් ලබා ගැනීම සහ සීමිත ඉඩකඩ සඳහා පිළියමක් වශයෙන් තෝරාගත් විෂයයන් ඔන්ලයින් උගන්වා සහතික පත් ලබා දීම එවැනි උදාහරණයන්ය.

රාජ්‍ය විශ්ව විද්‍යාල වල අනවශ්‍ය වියදම් ඇති බව සැබෑවකි. එහෙත් මෑතක දී නිකුත් වූ දත්තයන් අනුව අප අසල්වැසි රට වූ ඉන්දියාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක එක් සිසුවෙක් වෙනුවෙන් වසරකට වෙන්කර ඇති මුදල ඉන්දියාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක එවැනිම පාඨමාලවකට වෙන්කර ඇති මුදලට වඩා 80% කට වඩා අඩුය. එවැනි අඩු මුදලකින් පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට නම් කොහෙන් හෝ එම මුදල් කප්පාදුව සිදු කළ යුතුය.

සයිටම් තර්ක 5 සහ තවත් සයිටම් තර්ක

ආර්ථිකය වානිජකරණය වී ඇති අවස්ථාවක අධ්‍යාපනය ද වානිජකරණය කළ යුතුයැයි තවෙකෙක් අන්ත ප්‍රතිගාමී තර්කයක් ඉදිරිපත් කරයි. සමහරුන්ට එය යතාර්ථයක් ලු. අවාසනාවන්ත කමක මහත! ලැජ්ජාවක් නොමැතිව මොවුන් කියනනේ සයිටම් සදහා විරෝධය පෑම “ප්‍රතිගාමී“ කමක් ලෙසිනි. සෞඛ්‍ය/අධ්‍යාපනය/ප්‍රවාහනය වැනි සේවා සමාජ අසාධාරණයකින් තොරව ලබාදීම අයිතියක් සේ සළකා ධනේශ්වර ක්‍රමය තීව්‍රව පවතින රටවල් වල පවා ප්‍රගතිශීලීහු දීර්ඝ කාලයක් තිස්සේ ඒ සඳහා සටන් වදිති. ඒ ධනේශ්වර වානිජකරණයෙන් කුණුව විනාශ වී යන මානව අයිතීන් ලබා ගැනීම වෙනුවෙනි. එහෙත් සමාජයක දියුණු බව සළකන එවැනි ලක්ෂණ දූපත්වාසී ලියන්නෝ ළිං මැඬියන් සේ නොදියුණු කම් සේ දකින විට අපි වෙනත් කවරෙක් නම් එම සමාජයෙන් බලාපොරොත්තු විය හැකිද?

මොවුන්ගේ මනස් කෙතරම් කුරුවල් වී ඇත්දැයි පෙනේනනේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වීම පසුගාමී අදහසක් සේ පැවසීමෙනි. තවෙකෙක් පවසා තිබුණේ සමලිංගික විවාහ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා සහාය දැක්වීමට තරම් ලංකාව නොදියුණු බවකි. මොවුන් නොදන්නේ වෙ‍නත් රටවල නම් සමලිංගික අයිතීන් සඳහා සටන් වදින්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධව සටන් වදින්නන් බවය.

තවෙකෙක් අසන්නේ සයිටම් වලට (හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල) වලට පමණක් විරුද්ධ වෙන්නෙ වෛද්‍ය වෘත්තිය ට ඇති මහානුභාවක් නිසාවෙන් ද යන්නය. අනෙකුත් වෘත්තීන් වෛද්‍ය වෘත්තිය ට වඩා පහත් ද යන්නය. GOMA ත් එවැනිම අදහසක පිහිටීමෙන් ප්‍රකාශ නිකුත් කරණ බැවින් සයිටම් සඳහා සහයෝග දක්වන්නන් එය ද වෘත්තීය කුහක කම්ක් ලෙසින් අර්ථ දක්වා තමන්ගේ වාසියට යොදා ගනිති. ඒක් වෘත්තියකට වඩා තවත් වෘත්තියක් උසස් හෝ පහල වන්නේ නැත. එක් එක් වෘත්තීන්ට එයටම ආවේනික වූ ලක්ෂණ පවතී. එක් වෘත්තියක හෝ ක්‍රියාකාරීත්වය නොසලකා හැරීමෙන් සමාජ සංතුලනයට සිදුවන බාධාව කොළඹ මහ නගර සභාවේ කුණු එකතු කරන්නගේ එක් දිනක වැඩ වැරුමකින් උගත හැකිය. එහෙත් සයිටම් යනු මේ මොහොතේ අධ්‍යාපනය පෞද්ගලීකරණයේ මතුපිට ට පැමිණ ඇති අර්බුදයයි. සයිටම් සඳහා විරෝධය දැක්විය යුත්තේ අධ්‍යාපනය පෞද්ගලීකරණයේ සමස්ත ක්‍රියාවලියටම විරුද්ධවයි.

පසුගිය ජනවාරි 31 දා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය හැකි බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව නිසා සයිටම් ආයතනය පිහිටුවීම පිළබඳව තවදුරටත් විරුද්ධ වීම සාධාරණ නොවන බවක් සහ දැං ඉතිං උසාවි තීන්දුවට ගරුකළයුතු බවක් ඇතැමෙක් තර්ක කරති. ලංකාවේ නීති පද්ධතියේ දූෂිත බව ගැන අමුතුවෙන් කතා කළ යුත්තක් නොවේ. විශේෂයෙන්ම තීන්දුව ලබා දුන් විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා විනිසුරුවන් ගැන බොහො දෑ අන්තර්ජාලයේ පළ වී තිබුණි. ඇසින් දුටු සාක්ෂි තිබියදී පා.ම. රවිරාජ් ඝාතකයින් නිදොස් කොට නිදහස් කෙරුවේ බොහෝ මෑතකදීය. එහෙවු ලංකාවේ එම අධිකරණය උසාවියට ඉදිරිපත් නොවී මඟහැර සිටියවුන් පවා නිදොස් කොට නිදහස් කර තිබුණි.

http://www.loopholesblog.org

Top