Untitled 1

රාජිතට සන්නස්ගලක් ගහමු
රැවුම් ගෙරවුම් ඇණුම් බැණුම් මැද්දේ නෙළුම්යාය සම්මාන උලෙළත් සමාප්ත වුණා. ඒකේ කටු ටිකක් තවමත් හප හපා ඉන්න ඉතුරු වෙලා. ඒවයිනුත් හොඳම එක තමයි රාජිත සේනාරත්න සම්මාන උළෙලට ගෙන්වීම සහ නිවේදිකාව ඔහුව 'නූතන සේනක බිබිලේ' ලෙස හැඳින්වීම. කටුව තාම සූප්පු කරන අයට සන්නස්ගල වීරයෙක් වෙලා. 
මට නම් සන්නස්ගලව මතක තමන්ගෙ සිංහල ටියුෂන් පන්තියට වාසිකරගන්න සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්ණ පත්‍රය පැන්නීම සමඟ තියෙන චෝදනාවයි සබරගමුව මහ ඇමති කමට එජාපයෙන් නම් කලාම රාජපක්ෂගෙ තර්ජනයකට බයවෙලා 'භාරගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ' කියල අපබ්‍රංශයක් සිංහල වහරට එක් කරපු කෙනෙක් හැටිය තමයි. ඊට පස්සෙ  කාළෙක පොඩි කාලෙ කැලේට මළපහ කරන්න ගිහිල්ල හෙදගන්නෙ නැතුව ආපු කථාවක් දාල තමන් ගැනම පොතක් ලියාගෙන පිළිගැනීමක් හොයපු කෙනෙක් විදිහට තමයි. තවත් ඉතින් බ්ලොග් ලෝකේ කීප දෙනෙක්ම රාජිත සේනාරත්න පහත් මිනිහෙක්ය කියාගෙන තමන් වගේ උසස් කට්ටියකට සම්මාන දෙන්න  සුදුසු නැති කෙනෙක්ය කියන්න උත්සාහ කරනව. ඒගොල්ලන්ට කොහොමත් බෙහෙත් නැති එකේ ඒ ගැන කරදර වෙලා වැඩක් නැහැ. 
 
මම ගරු කරන තරුණ බ්ලොග් කාරිණියක් එයාට සම්මානයක් තියෙනවනම් රාජිත හැර වෙන කෙනෙක්ගෙන් ලබා දෙන්න කියල ඉල්ලීමක් කරල තිබුණ කියල මට කවුරුහරි කිව්ව. තවත් මේ බ්ලොග්කාරිණිය වගේ එහෙම හිතන අය ඉන්න පුළුවන් නිසා ඒ ගැන යමක් කියන්න හිතුණ. 
 
පළමුවෙන්ම කියන්නෙ මම කවදාවත් රාජිත සේනාරත්නට ඡන්දය දී නැති බවයි. මම ඔහුව පෞද්ගලික හඳුනන්නෙ නැහැ. කවදාවත් හමුවී වත් නැහැ. සමහරක් ඔහුට කරන චෝදනාවක් තමයි ඔහු 'ප්‍රා' නම් ඝාතක කණ්ඩායමක් ජ්.වි.පෙ කැරළිකරුවන්ව ඝාතනය කරන්න මෙහෙයෙව්ව කියන එක. මම හිතන්නෙ මේක කට කථාවක් පමණයි. 88/89 භීෂණය ගැන පහුගිය අවුරුදු 25 තුල ලියවිච්ච විවිධ පුවත්පත් ලිපි වල එහෙම දෙයක් සැකයකින් තොරව කියන්න  පුළුවන් කිසිම සාක්කියක් මම නම් දැකල නැහැ. ඒ කථාව ඇත්ත කියල මොහොතකට උපකල්පනය කළොත් මම දැකපු විදිහට 'ප්‍රා' සහ 'කහ බළල්ලු' වැනි කණ්ඩායම් ඝාතනය කළේ ඉල්ලා අස් නොවූ රජයේ සේවකයන්, කලා කරුවන්, භික්ෂූන් වහන්සේලා, එක පක්ෂ දෙකක දේශපාලනය කළ අය, අහිංසක මිනිසුන් කෘර ලෙස ඝාතනය කල මිනීමරුවන් කල්ලියක්.  ඒකාලේ භීෂණයට කෙලින්ම මුහුණ දීමට සිදුවුණ කෙනෙක් හැටියට එවන් දේකට ඔහු සම්බන්ධ වුණා නම් හෝ නායකත්වයක් දුන්නනම් මට නම් ඔහු වීරයෙක්. 
 
බොහොමයක් තරුණ අයට ඒකාලේ තිබ්බ භීෂණය ගැන මතකයක් නැහැ. බස් පුච්චමින්, බස් ධාවනය තහනම් කරමින්, ට්‍රාන්ෆොර්මර් පුපුරවා හරිමින් සතියකට දින දෙක තුන තුණ්ඩු කෑලි හරහා කඩ වසා දමමින්, ඒ කාලයේ ප්‍රභාකරන් වත් නොකල පාසැල් වසා දැමීම කරමින් අධ්‍යාපනය කඩාකප්පල් කරමින් ගෙන ගිය ක්‍රියා කලාපය යම් විදිහකින් අවසාන නොවූවානම් අද ලංකාව සෝමාලියාවටත් වඩා දරුණු තත්ත්වයක පත්වී තිබෙන්නෙ ඉඩ තිබුණා. එජාපය හැරුණු කොට ජේවීපී භීෂණයට ලක්වූ අනික් පක්ෂය විජය කුමාරණතුංග සහ ඔසී අබේගුණසේකර සම්බන්ධ වූ පක්ෂය. එහි ඉදිරිපෙල සාමාජිකයෙක් ලෙස රාජිත ඔවුන්ගේ ආරක්ෂාව පතා භීෂණය ජවිපෙ එළිපත්තට ගෙනගියා නම් එය අසාධාරණ දෙයක් විය නොහැකියි. නීතියෙන් පිට ක්‍රියා කරන ත්‍රස්තවාදීන් මර්ධනයට නීතියේ රාමුවෙන් පිට ක්‍රියා කරන සංවිධාන යොදා ගැනීම හැම තැනම වෙන දෙයක්. එකවර පතුරම් විශාල ප්‍රමාණයක් ස්වංක්‍රීයව පිටකල හැකි T56 අවි ආදියෙන් සන්නද්ධව මිනී මැරූ අය උණ්ඩයට උණ්ඩයෙන් පිළිතුරු දෙන විට අඬන්න අයිතියක් තියෙනවද? එහෙනම් ඔබ උතුරේ ත්‍රස්තවාදය පරාජය කිරීමත් අනුමත නොකරන කෙනෙක් වෙන්න ඕන. ඒ ජාතිය හෝ කථාකරන භාෂාව අනුව ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙණු කරන ආකාරය වෙනස් වන්නේ නැති නිසා.
 
රාජිත සේනාරත්නගේ වැරදි නැතුවා නෙවෙයි. SLFP ඡන්ද වලින් පත්වී චන්ද්‍රිකා ආණ්ඩුව හැර එජාපයට ඒමත් එජාප ඡන්ද වලින් පත්වී මොකද්ද එක ශක්තිමත් කරන්න ආණ්ඩු පක්ෂයට යාමත් මම අනුමත කරන්නේ නැහැ. ඒවගේම සමෘද්ධි ඉතිරිකිරීම් වල බිලිය 80 ක් තම ග්‍රහණයට ගන්න බැසිල් ගෙනා දිවිනැගුම පණතට විරුද්ධවූ ශිරාණි බණ්ඩාරණායක ගෙදර අරින්න වීරවංශ වැන්නවුන් සමඟ එක රැයින් නඩු ඇසූ කැකිල්ලේ නඩුවට කෙළින්ම සම්බන්ධ වීමත් සරත් ෆොන්සේකාට විරුද්ධව පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී ගෙන ගිය බොරු ප්‍රචාරත් සලකන විට ඔහු අපතයෙක්.
 
ඔහුගේ වීරත්වය මම දෙවතාවක් දැක තිබෙනවා. ඔබ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයට කැමති කෙනෙක් නම් මේ කරුණ පොඩ්ඩක් මධ්‍යස්ථව සිතා බලන්න. 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයාට ඔහු යුද්ධය වෙනුවෙන් සහ රට වෙනුවෙන් කල සේවය පසෙකලා අත් අඩංගුවට ගත් ආකාරයත් ඔහුව සිට ගත කල ආකාරයක් දැන දැනම ඉතා බලගතු ජනාධිපතිවරයෙකුට එරෙහිව සංවිධානය නොවූ විපක්ෂයකට පැමිණීමට ඔහු ගත් අවදානම ගැනීමට ඔබට ආත්ම ශක්තියක් තිබෙනවාද? ඔබ අයත් පක්ෂය මොහොතකට හිතෙන් අයින් කර සිතුවොත් ඔහු සහ වත්මන් ජනාධිපති කල දේ ඇත්තටම වීරත්වයක්. 
 
දෙවන කරුණ ඒවගේම වැදගත් දෙයක්. මේරටේ සෞඛ්‍ය ක්ශේත්‍රය ගිලගෙන සිටින ඖෂධ මාෆියාවට එරෙහිව ඔහු ගෙනයන ක්‍රියා මාර්ග ගැන සළකා බලන්න. එවකට සෞඛ්‍ය ඇමති සිරිසේන මහතා ඖෂධ මිල අඩු කිරීමට ගත් වෑයමක් ඖෂධ සමාගම් සිය ගණනක් එක් සමාගමක් මිලියන 2.5 ගණනේ එකතු කර සිරිසේන මහතාට වඩා එවකට බලවත් අයෙකුට දී එය නැවැත්තුවා. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා මිල පාලනයක් ගෙනවිත් දැනට ඖෂධ 48 ක මිල පාලනයකට යටත් කර තිබෙනවා. තවත් ඖෂධ ප්‍රමාණයක් මේ මිල පාලනයට ගෙන ඒමට කටයුතු යෙදෙමින් තිබෙනවා. 
 
සේනක බිබිලේ ශ්‍රීමතාණන් වසර කිහිපයක් සටනක් ගෙන ගියේ විශාල සමාගම් ඖෂධ හරහා ගසා කෑම වළක්වා ලෙඩ්ඩුන්ට අඩු මිලට ඖෂධ ලබා ගැනීමට සැලැස්වීමට නම් ඔහු බලාපොරොත්තු වූ එහෙත් කල නොහැකිවූ දෙයක් අද රාජිත සේනාරත්න මහතා කරනවා. එවිට ඔහුට නූතන සේනක බිබිලේ යැයි කුඩා උත්සවයකදී කීම සමහර අයට මෙතරම් විශාල ප්‍රශ්ණයක් වන්නේ කෙසේද?
 
පවතින රජයෙන් සහ රාජිත සේනාරත්න මහතාගේ නායකත්වයෙන් ඖෂධ මිල දීර්ඝ කාලීනව අඩු කිරීමට සහ ජාත්‍යන්තර ඖෂධ නිශ්පාදන සමාගම් දොස්තර මාෆියාව හරහා රටට සහ ලෙඩ්ඩුන්ට කරන හානිය මැඩපැවැත්වීමට  දැනට කෙරී ඇති අනෙක් වැඩ ගැන ඔබ සමහර විට නොදන්නවා ඇති. මම එයින් එකක් පමණක් කියන්නම්. 2015 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කරන ලද Expression of Interest දැන්වීමක් හරහා තෝරාගත් සමාගම් 12 කට එකඟවූ මිලකට එකඟවූ ප්‍රමාණයක් රජය මිලදී ගන්නා පදනම මත ඖෂධ වර්ග කීපයක් ලංකාවේ නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලා පිහිටුවීමට  අනුමැතිය දුන්නා. එයින් කර්මාන්තශාලා හයක්  වැඩ නිම වීමට ආසන්න මට්ටමේ තියෙනවා. මේවාහී නිෂ්පාදනය ආරම්භ කලවිට එම ඖෂධ පිටරටින් ගෙන්වීමට යන වියදමින් විශාල කොටසක් ලංකාවේ ඉතිරිවෙනවා. එමෙන්ම අවුරුදු 15 ක කාලයකට මිල ගණන් එකඟ වී ඇති බැවින් එම ඖෂධ සඳහා යන මිල පාලනය කිරීමට රජයට හැකිවෙනවා. 
 
මේ අවුරුද්දේත් පුවත්පත් දැන්වීම් හරහා ලංකාවේ ඖෂධ සහ එන්නත් වර්ග නිෂ්පාදනයට කැමති අයගෙන් ඉල්ලුම්පත් කැඳවූවා. ඒ සඳහා සමාගම් 23 ක් ඉදිරිපත් වී තිබෙනවා.  අවුරුදු 15 කට නිෂ්පාදනය රජය මිලදී ගන්නා නිසා අතිරික්ත ධාරිතාව යොදාගනිමින් සුළු වශයෙන් හෝ අපනයනය කරන්නත් හැකිවෙන්න පුළුවන්. සේනක බිබිලේ ශ්‍රීමතාණන් ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඇතිකලේ එවකට තිබුණු ආර්ථික ක්‍රමය අනුව රජයේ වියදමින් මෙය කරන්න. අද ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ලෙස ශ්‍රී ලංකාවේම නිපදවීම මඟින් රජයේ වියදම් අඩු කිරීමටත්, රටේ විදේශ විනිමය ඉතිරිකිරීමටත්, සේනක බිබිලේ මහතා බලාපොරොත්තු වූ ඖෂධ සමාගම් බූවල්ලාගෙන් රට නිදහස් කර ගැනීමටත් විශාල වැඩ කොටසක් රාජිත සේනාරත්න මහතා යටතේ කෙරී ගෙන යනවා. 
 
රාජිත සේනාරත්න 'නූතන සේනක බිබිලේ' ලෙස හඳුන්වන ලෙස නිවේදිකාවට දන්වා සිටීමෙන් චන්දිම විතාන මහතාට වාසියක් වෙනවා දැයි මම දන්නේ නැහැ. එහෙත් නිවේදිකාව එසේ  කීමට විතාන මහතා කී බව ඇය හෙළි කලේ සන්නස්ගලගේ ප්‍රතිචාරයට පිළිතුරක් වශයෙනුයි. එසේම සේනක බිබිලේ ශ්‍රීමතාණන්ගේ දර්ශණය ඔහුගේ මරණයෙන් අවුරුදු 40 කට පසුව වේගයෙන් ඉදිරියට යන්නේ රාජිත සේනාරත්න මහතා යටතේ බව මධ්‍යස්ථව මෙය කියවූවේ නම් ඔබට ඒත්තු යනු ඇති. ඒ අනුව ඔහුට නූතන සේනක බිබිලේ කියා ආමන්ත්‍රණය කීම ඔහු කරගෙන යන මේ සේවයට කල ගෞරවයක් ලෙසයි මා දකින්නේ. එමෙන්ම එවැනි විශාල වැඩ කොටසක් රටේ අභිවෘද්ධියට කරගෙන යමින් සිටින ඔහුව සම්මාන උළෙලට ආරාධනා කිරීම ඉතා හොඳ දෙයක් ලෙස මා දකිනවා.
 
දැන් මා ඔබගෙන් පැන කිහිපයක් අහන්නම්. ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සහ මිල පාලනය කිරීමට ගෙන යන ඉහත ක්‍රියාමාර්ග වලින් සෞඛ්‍ය ක්ශේත්‍රයේ විශාල මුදලක් වැය වන ඖෂධ සහ එන්නත් වියදම දීර්ඝ කාලීනව සහ පාලනය කිරීමට නායකත්වය දෙන රාජිත සේනාරත්නට වඩා දෙයක් සන්නස්ගල මේ රටට කර තිබෙනවාද? එසේ නැත්නම් ඔහුගේ පැමිණීම හෙළා දකිමින් මම උතුම් යයි කියා ගන්නට උත්සාහ කරන අය රාජිත සේනාරත්න කරගෙන යන වැඩ කොටසට වඩා යමක්  කර තිබෙනවාද? රාජිත සේනාරත්න මේ ගෙනයන වැඩ පිළිවෙලින් ශ්‍රීමත් සේනක බිබිලේ බලාපොරොත්තු වූ අරමුණ කරා මේ රටේ සෞඛ්‍ය අංශය ගමන් කරමින් තිබෙනවාද? නැත්ද? අන්තිම පැනය මම අහන්නනේ නැහැ. එය කුමක්ද කියා ඔබ දන්නවා. එය ඔබගෙන්ම අසා මධ්‍යස්ථව සිතා පිළිතුරත් ඔබට දීගන්න.
 
කියවූ ඔබට ස්තූතියි.
 
http://lankanian.blogspot.com/2017/03/blog-post_30.html
Top