Untitled 1

බ්ලොග් සම්මාන උළෙලකට සහභාගී වුනෙමි. - නීතිඥ අනුර හෑගොඩ

නොදන්නා බව දැනගෙන සිටීම මෙන්ම නොදන්නා බව පිළිගැනීම ද මංගල ලක්ෂණ වේ යැයි මම සිතමි. ඉඩ ලැබෙන සැම විටකදීම අන්තර් ජාලයේ ද , ෆේස් බූක් පිටුවල ද, යූ ටියුබ් හී ද ගත කරණ අද යුගයේ ජීවත් වන අප සමහරුන්, දවසට වරක් එන ලියුම් බෙදන්නාගේ යුගයේ සිට මේ දක්වා පැමිණ දැන් දිනකට කී වරක් ඊ මේල් ඇත්දැයි බලමින් සිටිනවා නොවේද?



බ්ලොග් කර්මාන්තය ද එවැන්නකි. කලකට ඉහත මම ද බ්ලොග් පිටුවක් අරඹා ලිපි කීපයක් පළ කළෙමි. අනෙකුත් අයගේ බ්ලොග් ලිපි ආසාවෙන් කියවුවෙමි. බ්ලොග් සටහන් හරිම අගේය. එහි තමන්ගේ ඕනෑම අදහසක් තමන්ටම උවමනා පරිදි ප්‍රකාශයට කාගේවත් පිහිටක් අවශ්‍ය නැත. පුවත් පතකට යැවූ විට සිදුවන කැපිලි කෙටිලි නැත. පළ නොවී තිබී වෙනකෙනෙක් කොප්පේ ගහන්නටත් ඉඩ නැත. මා මෙසේ ලියන්නේ වසර හතළිහකටත් වඩා අත්දැකීම් ඇතිවය. මා පාසල් සමයේ සරසවි පුවත් පතට යැවූ කෙටි කතාවක් පළවුයේ නැත. එහි සහය කර්තෘ වූ මගේ මිතුරාගෙන් එය පිළිබඳව විමසීමි. ඔහු පැවසූයේ මගේ කෙටි කතාව ඊළඟ සතියේ පල වන බවයි. ඒ ඊළඟ සතිය කවදාවත් ආවේ නැත. එහෙත් එම කෙටිකතාව මුලාශ්‍ර කොටගෙන චිත්‍රපටයක් නම් කලකට පසුව ආවේය. එකළ බ්ලොග් ක්‍රමවේදය තිබුණිනම් එම චිත්‍රපටයේ තිර නාටකය එන්නේ මගේ නමින් ය.

කෙසේ වෙතත් අද අපි නිදහස් නිවහල් ප්‍රකාශන යුගයකට අවතීර්ණ වී සිටින්නෙමු.
නිවහල් චින්තනයේ ලෝකය එයයි. වගකීමකින් යුතුව ශිෂ්ටසම්පන්නව ලියුවහොත් සාහිත්‍යයේ, ආනන්දයේ, ප්‍රඥාවේ දියුණුව එයයි.

බ්ලොග් සම්මාන පිලිබඳ ව පසුගිය වසර දෙක තුළ මා අසා තිබිණ. මා කොළඹ සිටි නිසා මේ වසරේ එවැන්නකට සහභාගී වන්නට ආරාධනයක් ලැබීමි. ඒ නෙළුම්යායේ බ්ලොග් සම්මාන උළෙලයි. එය තිබුණේ තරු පහේ වෝටර්ස් එජ් හෝටලයේ ය. ආරාධනා පත්‍රය කියවූ මා මේ නම් සුපුරුදු සම්මාන උළෙලක් වන්නට ඇතිය, ටයි බයි පැළඳ, ඉංගිරිසියෙන් එහා මෙහා යමින් කෙරෙණ දේශපාලන මතයනට පක්ෂ අයට, යහළු යෙහෙළියනට සම්මාන දෙන්නක් විය හැකිය යනුවෙන් සිතා කෝට් බෑයක් ද හැඳ, කොළඹදී සාමාන්‍යයෙන් පළඳින සැන්ඩල්ස් වෙනුවට හොඳට පොලිෂ් කළ සපත්තු කුට්ටමක් ද පැළඳ මගේ ඇඹේණිය සමඟ එයට සහභාගී වුයෙමි.

ශාලාවේ අසුන් සියල්ලක්ම පාහේ ජනයාගෙන් පිරී තිබිණ. එය මා සිතුවාක් මෙන් පොෂ් සංස්කෘතියක් නොවීය. සියල්ලන්ම පාහේ මධ්‍යම පාන්තිකයන් වුහ. කොටින්ම කෝට් හැඳ සිටියේ සම්මාන සංවිධායක වරයා සහ මා පමණි. කෝටය ගැලවීමට අවශ්‍ය වුවද ප්‍රමාදය.

සම්මාණ උළෙල ඇරඹිණි. නොයෙක් ශිර්ෂ යටතේ සම්මාණ පුදණු ලැබුණි. එය නම් අපුරුතම සම්මාණ උළෙලකි. සම්මාන ලැබීමට සමහරුන් වේදිකාවට ගොඩ වූයේ සෙරප්පු පයලා ගෙනය. තවත් සමහරුන් සාමාන්‍ය අත්කොට කමිසයකිනි. සමහරෙක් කමිසය උඩින් දමාගෙනය.එක් දමිළ බ්ලොග් රචිකාවියක් ද සම්මාන ලැබුවාය. ඇය පැමිණ සිටියේ උතුරු කරයෙන් වන්නට ඇතිය. ඇය සම්මාන ලබද්දී අගේ සැමියා ඉදිරියට පැමිණ චායාරුපයක් ද ගත්තේය. ඇයගේ සහභාගීත්වය කොතරම් අගනේ ද? මෙය නම් නියම ජනතාවගේ සම්මාන උළෙලෙකි. නියම දක්ෂයනට සම්මාන පිදෙන උළෙලකි. මාගේ සිත ප්‍රීතියෙන් පිනා ගියේ අන්ධ බ්ලොග් රචිකාවක් දෙවරක් සම්මානයෙන් පිදෙන විට ඇසේ මතුවූ කඳුළක් ද සමඟය. නියම සම්මනලාභින්ට ටයි බයි අවශ්‍ය නැත. බෝ අවශ්‍ය නැත. කෝට් සූට් අවශ්‍ය නැත. ඔවුන් එන්නේ ඔවුන් ලෙසය. සම්මාන පිළිගන්නේ ඔවුන් ලෙසය. අතරතුරදී සම්මාන පිදීම සඳහා මට ද ආරාධනා කරණු ලැබිණි. මා සම්මාන දෙද්දී සිතුයේ මෙවන් සම්මාන උළෙලකින් උපහාර ලබන්නන් මොනතරම් වාසනාවන්තයන් වන්නෝ ද යන්නයි. ඔවුන්ගේ සහජ දක්ෂතාවය, නිවහල් චින්තනය, අදීනව ලිවීමේ කලාවම ඔවුන් වාසනාවන්තයන් බවට පත්කොට ඇත.

මෙවන් ජනතාවගේ සම්මාන උළෙලක් සංවිධාන කිරීම පිළිබඳව නෙළුම්යායට අපගේ උපරිම උපහාරය පිදේ.

Top