1150 x 80 px

කූඩු හැදිල්ල, ඔට්ටපාළු සහ උණ කැපිල්ල!


තවත් එක වෙසක් දිනක් උදා විය, එලෙසම එය අවසන් විය. ඒ සමගම කුඩා කල අපට රස විඳින්නට ලැබුණු වෙසක් සිහියට නැගීමෙන් කණ්ඩාගේ සිතට සියුම් සතුටක් මෙන්ම දුකක්ද කාන්දු විය.

දැන් අමු කම්මැලියෙක් වන කණ්ඩා ඔටුවන්ගේ රටට පය ගැසුවාට පසු කිසිදාක වෙසක් කූඩුවක් සාදා නැත, ඒ සඳහා “රෙඩි මේඩ්” නිදහසට කාරණා කණ්ඩා සතුය, කාන්තාරයේ රට ඉඳි මිස බට පඳුරු නොවීමත් ඔට්ටපාළු ගලවා ගැනීමට රබර් වතු වල හිඟකමත් ඒ අතර ප්‍රධානය.

කණ්ඩා කම්මැලියෙකු උවත් හාමිනේ කම්මැලියෙක් නොවේ, කණ්ඩාගේ නිදහසට කාරණා හාමිනේට අදාළම නැත. එනිසා මෙහි පැමිණි පැමිණීමෙන් පසු යෙදුණු පළමුවැනි වෙසක් දින සැමරීමට උණබට වෙනුවට මස් පිළිස්සීම වෙනුවෙන් භාවිතා කරන ලී පතුරු හෙවත් “බාබිකියු ස්ටික්” ද (BBQ Sticks)  සව් කොළ වෙනුවට වර්ණ ගැන්වූ “පේපර් සර්වියට්” ද භාවිත කර වෙසක් කූඩුවක් නිර්මාණය කරන්නට හාමිනේ සමත් වූවාය.

තමන්ට ඇති දේ භවිතා කර උපරිම පල ලැබීමට මෙන්ම මෙවන් අත්කම් සඳහා හාමිනේ උපන් හපන්කම් දක්වන බව පැවසුවොත් එය අතිශෝක්තියක් නොවේ. නමුත් ලබන සතියෙන් අරඹන්නට යෙදෙන මසකට අධික කාලය පුරාවට යෙදෙන දීර්ඝ සංචාරයකට සූදානම් වීම සඳහා ඇති අටෝරාශියක් වැඩ කටයුතු ගොන්න නිසා මෙදා පොටේ නම් හාමිනේටත් ඒ ගැන වගක් නැත.

ඒ නිසාදෝ කුඩුවක් සෑදීම වෙනුවට පසුගිය වාරයක සෑදූ වෙසක් කුඩුවක පින්තූරයක් මුහුණු පොතේ දැමීමෙන් පමණක් මෙවර සෑහීමකට පත් වන්නට හාමිනේ තීරණය කළාය. පහතින් දමා ඇති කූඩුවේ සම්පුර්ණ අයිතිය සහ”කොපි රයිට්ස්” හාමිනේටය.

පසුගිය අවුරුදු කිහිපය තිස්සේම හාමිනේ අතින් නිමවූ වෙසක් කූඩුවකින් සැරසුණු නිවසේ බැල්කනිය මෙවර පාළුවට ගොසින්ය, එයට විකල්පයක් ලෙස බල්බ් වැලක් දෙකක් ඔතා හාමිනේව බැල්කනියේ තැබීමට මා යෝජනා කළත් හාමිනේගෙන් රැවුම් ගෙරවුම් මිස යහපත් ප්‍රතිචාරයක් නොලැබුණේ ඇයිද යන්න කණ්ඩාට ගැටලුවකි ?

කණ්ඩා කියූ ලෙසට වැඩකටයුතු සිදු කලේ නම් පසු ගිය දිනෙක ඩුබායි වල පවත්වන්නට යෙදුනු වෙසක් උත්සවයටත් වැඩියෙන් ජන ගංගාවක් කණ්ඩලාගේ නිවාස පිහිටි ගොඩනැගිල්ල පහළ රොක් වෙනවා සිකුරුය !

වෙසක් සැමරීම ගැන සිහිවෙද්දී ඒ පිළිබඳ කණ්ඩාට ඇති දුරම මතකයන් වන්නේ දැනට තිස් අවුරුද්දකට ප්‍රථම කුඩා කල තාත්තා සහ අම්මා එක්ව වෙසක් කූඩු නිර්මාණය කල අකාරයයි.

කණ්ඩාලාගේ නිවසේ බොහෝවිට නිර්මාණය වන්නේ අටපට්ටම් උවත් ඉඳහිට අම්මාගේ ඉල්ලීම මත එය බිලිං කූඩු හෝ නෙළුම් මල් බවට පත්වෙන අවස්ථාද ඇත. එයට අමතරව ඉඳහිට ලයිට් වැලක් දෙකක්, බකට් කිහිපයක් සහ නිවාස ඉදිරිපිට පත්තු කරන මැටි පහන් කිහිපයකින්ද සැරසෙන්නේය.

වෙසක් කූඩු හදන්නට ප්‍රථම ඒ සඳහා අවශ්‍ය අඩුම කුඩුම සපයා ගන්නට උවමනාය, මේ සඳහා පළමු උත්සාහය වැලිපිල්ලෑව ලෙනගල වත්තේ ගෙවුණු මේ සමයේ අප නිවස පිටුපස මායිමේ වූ “අක්කර විසිපහ” හෝ “විසිපහේ වත්ත” නමින් හැඳින්වූ රබර් වත්තෙන් ඔට්ටපාළු සහ බට ගස් සපයා ගැනීමයි.

වෙසක් කූඩුවක් දෙකක් තැනීමට ඔට්ටපාළු ගලවා ගැනීමට එදා වත්තේ සේවය කළ කිසිවෙක් විරෝධතාවයක් දැක්වුයේ නැත, නමුත් අප බට කපන්නට යනවිට බොහෝ විට ප්‍රමාද වැඩිය, ගමේ හාදයින් කලින්ම බට ගාල සුද්ද කර ඇති නිසා ඉතිරි වී ඇත්තේ නොමේරූ බට පඳුරු පමණි.

ළපටි බට පඳුරු වලින් වෙසක් කුඩු තැනීම අමු පොල් කොළවලින් නිවසක වහල සේවිල්ලනවා වැනි මෝඩ වැඩකි. හේතුව නොමේරූ බට පතුරු වියලෙන විට විශාල ලෙස  හැකිලීමකට ලක් වෙන නිසාය. එවන් තකතීරු වැඩක් කළහොත් බොහෝවිට වෙසක් කූඩු සඳහා අටපට්ටමටත් එහා ගිය අමුතු රුවිත හැඩ ලැබීම සිකුරුය. මේ කියන්නේ කට කහනවාට නොව අත්දැකීමෙන්ය ?

එවිට අප පිහිටට එන්නේ “සෝමපාල අයියා” හෝ “සෝමපාල බාසුන්නැහේ” යනුවෙන් ගම්වාසීන් හැඳින්වූ අල්ලපු වැටේ විසූ අපගේ අසල්වැසියාය. නමුත් කණ්ඩා පුරුදු පරිදි “බාසුන්නැහේ” වෙනුවට “අන්කල්” යන්න ගරු සරු ඇතිව ආදේශ කර ගත්තේය.

වෘත්තියෙන් වඩු කාර්මිකයෙක් වූ හෙතෙම අප පවුලට හිතවත්ය. ඔහු කණ්ඩාගේ පියා මහරගම පිළිකා රෝහලේ නැවතී සිටිනා දිනයන්හි රෝහලේ නැවතී තාත්තාට ඇප උපස්ථාන කිරීමට තරම් හිතවත් සහ නිහතමානී පුද්ගලයෙකු විය. හැකි කිසිදිනෙක අපගේ ඉල්ලීමක් අහක දමන්නේ නැති සෝමපාල බාසුන්නැහේ, තම මහ ගෙවල් පිහිටි නාවලමුල්ල පැත්තෙන් අපටත් ඇති වන්නට අමතර බට ගස් කිහිපයක් කෙසේ හෝ රැගෙන ඒම සිරිතක් වශයෙන් කළේය.

නමුත් එයත් වැරදුණ වතාවක වෙසක් කූඩු සෑදීම සඳහා වත්තේ පොල් කඩන්නට තිබුණු උණ බට කෙක්ක කෑලි කිරීම නිසා තාත්තා මෙන්ම තාත්තාගේ සුවච කීකරු ගෝලයා වූ පුතණ්ඩියාද අම්මාගෙන් කන් පිරෙන්නට බැනුම් අසා ගත් හැටිද හොඳහැටි මතකය.
එවරත් වෙසක් කූඩු හදන වැඩේ සරුවටම ගියමුත් කෙක්ක ගැන කොක්ක එතැනමය, අම්මා සටන අත හැරියේ නැති නිසා පොල් හෝ කොස් ගෙඩියක් කඩා ගැනීමට කෙක්ක අවශ්‍ය වන වාරයක් පාසා මේ කතාව ඇදගෙන තාත්තාට දොස් කීම වැරදුණේ නැත.

සාමාන්‍යයෙන් තාත්තාගේ වචනයකට පිටින් නොයන අම්මාගේ කට ඇරෙන්නේ තාත්තා මෙවැනි දුර දිග නොබලා කරන දේකින් එදිනෙදා ගෙදර වැඩට කරදරයක් අවහිරයක් සිදුවන විට පමණි. මෙය අප නිවසේදී කන කැස්බෑවා විය සිදුරෙන් එළිය බලන්නා සේ අතිශය කලාතුරකින් සිදු වන්නකි.

මෙසේ අම්මාගේ කන්දොස්කිරියාවෙන් ගැලවෙන්නට බැරිම තැන තාත්තා කිතුලට රා බොන්න ගිය හාදයා දුන්නු උත්තරේට නොදෙවෙනි නිදහසට කාරණාවක් සොයා ගත්තේය. ඒ කෙක්ක කැපුවේ එය බෙහෙවින් දිරාපත්ව ඇති නිසා වැරදිලාවත් පාවිච්චි කරනා විට වක් පිහිය සමගම ඔළුවට කඩන් වැටී අලි ජංජාලයක් වීම වැළැක්වීමට බවය.

එසේ පවසා තාත්තා තාවකාලිකව ජාම බේරා ගත් නමුත් අම්මාට වත්තේ වැඩ සඳහා අලුත්ම කෙක්කක් ලබා දෙන බවට පොරොන්දු වීමට තාත්තාට සිදුවිය.

නමුත් පොරොන්දු දුන්නා සේම ඒවා ඉටු කිරීමේ වගකීමද ඇති බැවින් කෙක්කට වග කියූ අප දෙදෙනා දිනක් නයා මැරිච්ච් අහිකුන්ඨකයන් සේ උණ ගසක් සොයා එළියට බැස්ස අතර එවරත් අප පිහිටට ආවේ තවත් අසල් වැසියෙක් වූ සිරිපාල මහතාය.

ඔහුගේ වත්ත කෙළවර සාරයට හැදුණු දාර උණ පඳුරක් තිබුණද අපට අවශ්‍ය ආකාරයේ කෙක්කකට සරිලන උණ ගසක් තෝරා ගැනීම පහසු නැත. ඒ සඳහා විවිධ මංගල කාරණයන් සලකා බැලිය යුතුය උණගස තරමක් මේරු මුත් සිහින් විය යුතුය නැතහොත් කෙක්ක බර වැඩි වී එය ආම්බාන් කරන්නට හැකිවෙන්නේ නන්දිමිත්‍ර හෝ හර්කියුලීස් වැන්නෙකුට පමණි. ( නන්දිමිත්‍ර කෙසේ වෙතත් හර්කියුලීස් කෙක්කෙන් පොල් කැඩුවාද නැද්ද යන්න දන්නේ සියුස්ම පමණි )

උණගස මේරූ සිහින් එකක් වූ පලියටම මදිය, එය ඉද්ද ගැසුවා සේ කෙළින් විහිදුණු ගසක්ද විය යුතුය, නැතහොත් එය සමතලා භූමියක තබා කෙළින් වනතෙක් බරට ගල් තබමින් ඇද ඇරීමට අමතර වෙහෙසක් ගත යුතුය. බලු වලිගයන්හි  ඇද අරින්නට පවා යොදා ගන්නට නිර්දේශිත උණ පුරුක්ද වලද  ඇද ඇරීමට සිදුවීම උත්ප්‍රාසය (ironic) දනවන්නකි  ?

Bamboo Treesඇතැම්හු මේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සඳහා බර තැබූ උණ ගසට උඩින් වියලුණු පොල් කොළ දමා උණ ගස නොදැවෙන පමණට ගිනි තැබීම හෙවත් උණ ගස තැවීම සිදු කරන්නේය. මෙමගින් අමු උණ ගසේ ඇති වැඩිපුර ජලය ඉවත් වනවා සේම බරින් සැහැල්ලු වී නම්‍යශීලී ගතියද අඩු වන්නේය.

මෙසේ හොඳින් වියලී යකඩ තරම් සවි ශක්තියක් ලැබෙන උණගස් උසෙහි අවශ්‍යතාවය අනුව දෙකක් හෝ එයට වැඩි ගණනක් එකිනෙක ලණුවලින් බැඳ පුරුද්දා ගැනීමටද හැකිය. ගින්නෙන් තවා මෙසේ උණගස් පදම් කරන්නට අත් ගුණය ඇති උදවිය එකල ගම් වල වාසල කළෝය.

ඒ කතාන්දරය එසේ උවත් ඉඳහිට එදිනෙදා ගෙවත්තේ වැඩට ගන්නා කෙක්කකට එතරම් මහන්සි වෙන්නට අපට උවමනා නොවූ නිසා දින කිහිපයක් තිස්සේ ගෙය පිටුපස ගල් තබා වේලෙන්නට දැමීමෙන් සෑහීමකට පත් වූ නිසාවෙන් අම්මාට තනිව එසවිය නොහැකි තරම් බර ඒ කෙක්ක අම්බාන් කරන්නට පෙර ග්ලුකෝස් හෝ බිත්තර කොපි එකක් බොන්නට අවශ්‍ය බව අම්මාගේ අදහස විය.

එනිසා එය කලින් තිබුණු කෙක්ක අහලකින්වත් තියන්නටවත් බැරි යයි අම්මා විසින් නිගමනය කරන්නට යෙදුණු අතර අලුත් කෙක්ක පාවිච්චිය තාත්තාට සහ සීයාට පමණක් වෙන් වූ රාජකාරියක් බවට පත් විය.

වෙසක් කූඩු ගැන ලියන්නට පටන් ගත්තත් අන්තිමේදී කතාව වැරදි පාරක ගොස් නතර වී ඇත්තේ අම්මගේ දෙහි කැපිල්ල සහ අපේ උණ කැපිල්ල ළඟ බැවින් ආපසු මාතෘකාවට එන්නට උවමනාය, එනිසා ආපසු ඔට්ටපාළු දිහාවට හැරෙමි ?

වෙසක් සමයට අමතරව අවුරුද්දේ අනෙක් කාල වලදී නම් කණ්ඩා බොහෝවිට රබර් වත්තට පැන හොරෙන් ඔට්ටපාළු ගලවන්නේ සෙල්ලම් කිරීම සඳහා බෝලයක් සාදා ගැනීමටය. මෙය අම්මාට හසු උවහොත් කන් ඈත් වෙන්නට දෙස් දෙවොල් තැබීමක් හෝ පෙර වැරදි එකතු වී ඇරියස් වී ඇති නම් බත් කූරු ගාන පොල්කටු හැඳි මිටේ රස බලන්නටද කණ්ඩාට වාසනාව පෑදෙන්නේය.

කුඩා කල අමු පෝරිසාදයෙකු වූ කණ්ඩාව මට්ටු කරන්නට තාත්තා නම් හැමවිටම තෝරා ගත්තේ මිදුලෙන් කඩා ගත් ක්‍රෝටන් දණ්ඩකි, නමුත් මිදුල අලංකාර කිරීමට මහන්සියෙන් වවා තිබුණු ක්‍රෝටන් පැල වලට තිබුණු ආදරය නිසාදෝ අම්මගේ ප්‍රියතම මෙවලම වූයේ පොල්කටු හැඳි මිටයි. ?

මේ බැව් සහ සුද්දෙන් දන්නා නිසා වැට මායිමේ තිබුණද බොහෝවිට රබර් වත්තට පැනීම සිදු වන්නේ අම්මා කෑම උයන හෝ රෙදි හෝදන්නට යන එන වෙලාවක රාහු කාලය මග හැර පූස් ආදී තබමින් හොර රහසේය !

ගහෙන් ගහට ඇවිදිමින් ඇති පදම ඔට්ටපාළු නෙලා ගත හැකි බැවින් නොපිපිරුණු රබර් ඇටයක් වටේ ඔට්ටපාළු එතීමෙන් බෝලයක් සාදා ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදු වන්න නැත. නමුත් ගෝලාකාරව බෝලයක් එතීමත් හැම දෙනාටම කළ නොහැකි කලාවකි. මෙය නොදන්නවුන් එතුවොත් බෝලයක් වෙනුවට ලැබෙන්නේ රුවිතයට ගිය ඔට්ටපාළු ගුලියක් පමණි, එවන් දෑ බෝල ගැසීමට වඩා සුදුසු වන්නේ කිලෝ ගණනට විකුණන්නටය.

ක්‍රිකට් ගැසීමට අමතරව රබර් බෝලයක් නැති දවසට සම්බෝල කඩන්නට යොදා ගන්නේද මෙවන් ඔට්ටපාළු බෝලයන්ය. (සම්බෝල කැඩිල්ල ගැන වැඩි විස්තර ) එවන් දිනට ගෙදර එද්දී තැලුම් තෙල් ගා පත්තු බැඳීමට තරම් වන තැලුම් තුවාල ඇඟ පුරා තැනින් තැන ඇත්තේය.

මේ මොනවා කළත් අම්මාගේ කනෙන් රිංගා යනවාට වඩා පහසුවෙන් ඉඳිකටු ඔලුවෙන් ඔටුවෙකු රිංගවිය හැකිය, හේතුව හැංඟී හැංඟී වෙස් බැන්ඳත් නටන්න වෙන්නේ එළියේය, කොයි වෙලාවක හෝ සෙල්ලම් කරද්දී ඔට්ටපාළු බෝලය අම්මාගේ අතටම හසු වීම වළක්වන්නට සක්කරයාටවත් බැරිය ?

Wesak Lantern - Lotusඔට්ටපාළු සහ බට පතුරු සපයා ගත් පසු කූඩු වල සැකිලි සෑදීම ආරම්භ කරන්නේ තාත්තා මුත් අම්මාද සහය දක්වන්නීය, එක වැඩය දෙක කරන කණ්ඩාගෙන් සිදු වන්නේ උදව්වකට වඩා උදැල්ල දැමීමක් නමුත් අම්මා සහ තාත්තා වෙනත් අවස්ථා වලදී මෙන් මේ පෝරිසාදයාව එළවන්නේ නැත.

එනිසා කණ්ඩාගේ ඔලමොට්ටල වැඩ මැද කොහොමින් කොහොම හෝ ගුරුහරුකම් ලබා දෙමින් වෙසක් කූඩු දෙකක හෝ තුනක සැකිලි අමාරුවෙන් නිම වෙද්දී කූඩු අලවන්නට සව් කොළ ගෙන එන්නේ වැලිපිල්ලෑව හන්දියේ ඇති කවදත් පුරුදු මැද කඩයෙන්ය.

ඉඳහිට වෛවර්ණ සව් කොළ භාවිතා කලත් අප නිවසේ වැඩිපුරම යොදා ගන්නේ සුදු පැහැති සව් කඩදාසිය. එයට හේතුව පාට පාට කූඩු වෙනුවට සුදු පැහැති වෙසක් කූඩු වලට කවදත් අම්මාගේ ඇති කැමත්තයි. එනිසා සුදු පැහැයෙන් කූඩුව අලවා වෙනත් පැහැයකින් රැළි දැමීම සහ අලංකාර කිරීම අපගේ සිරිතයි. රැළි කැපීම තනිකරම අම්මාගේ අතින්  සිදු උවත් රැළි ඇලවීමට කණ්ඩාගේ සහයද ලැබෙන්නේය.

කූඩු වල සව් කොළ ඇලවීමද කලාවකි, කණ්ඩා අලවන කූඩුවක් වෙතොත් එය වෙසක් කූඩුවකට වඩා ගුල්ලන්ට වාසය කරන්නට සාදන පාප්ප කූඩුවක සිරි ගන්නේය.

කොළ අලවා අවසන් වූ පසු සව් කොලය බෙර සමක් සේ හොඳින් ඇදෙන්නට වතුර ඉසීම සිරිතකි, නමුත් එවැනි සියම් වැඩ කණ්ඩාට සපුරා තහනම්ය, එවන් දෙයකට කණ්ඩා අත ගැසුවොත් වෙසක් කූඩුවේ වැස්සෙන් බේරා ගන්නට අවශ්‍ය වන යමක් ඉතිරි උවහොත් පුදුමයකි.

කූඩු හැඩ දැමීමේ වැඩ වලට තාත්තා වැඩිපුර හවුල් නොවුණත් නිවස ඉදිරිපිටින් දිවෙන පාරට පෙනෙන්නට ඉස්තෝප්පුවේ  වෙසක් කුඩු එල්ලීම සහ වයර් ඇද බල්බ් දැමීම තනිකරම තාත්තාගේ රාජකාරියකි.

ගෙදර කාමරයක වූ තාත්තා එකතු කළ දෑ තබා ඇති ලෑලි වලින් සෑදූ ලොකු ළමයින්ගේ සෙල්ලම් බඩු පෙට්ටියට (Big Boys Toys ) එබෙන්නට කණ්ඩාට ඉඩකඩ ලැබෙන්නේ මේ දිනවලදී පමණි.

හැමවිටම තඩි ඉබ්බෙක් දමා ප්‍රවේශම් කරන මෙම ලෑලි පෙට්ටියේ ඉස්සරහ පැත්තේ උඩින්ම සලාලා, ඕමාන් (Salalah, Oman) සහ අපේ ගෙදර ලිපිනය ඉංගිරිසියෙන් ලියා තිබුණා මතකය, එය තාත්තා ඕමානයේ රැකියාව සමයේ ගෙදරට බඩු එවූ පෙට්ටික් විය යුතුය.

තාත්තාට නිතර අවශ්‍ය වන අඩුම කුඩුම වන ආයුධ ආම්පන්න, බල්බ් වැල්, වයර් රෝල් විවිධ ආකාරයේ ස්විච් වර්ග මෙන්ම අටෝරාශියක් වූ විවිධ ප්‍රසිද්ධ වෙළඳ නාම වල බැජ් එකතුවක්ද විය.

පසු කාලයකදී ගෙදර හිටිය පෝරිසාදයෙක් විසින් තාත්තාගේ සෙල්ලම් බඩු පෙට්ටියේ යතුරු සැඟවූ තැන සොයාගත් හෙයින්  එහි වූ විවිධ නිධානයන් හට නරක කල දසාවක් ලැබුණු නිසා අද වන විට මෙහි වූ කිසිම දෙයක් ඉතිරි වී නැති බව කියන්නේ කණගාටුවෙනි.

වෙසක් කූඩු එල්ලුවාට ඒවා ආලෝකමත් කරනා තෙක් එහි සැබෑ අලංකාරය මතු වන්නේ නැති නිසා වෙසක් දින හැන්දෑවේ අඳුරු වැටෙන තෙක් කණ්ඩාට කසන ලෙඩේ වැළඳුනා හා සමානය. නමුත් රාත්‍රිය උදා වී ගෙමිදුලට බැස වෙසක් කූඩු වල හැඩ බලනා විට ඒ ප්‍රමාදයන් සහ කම්කටොළු සියල්ල අමතකව යන්නේය.

සිරි ලංකාවෙන් ඈත් වී ඔටුවන්ගේ රටේ ගෙවන දිවියත් සමග මේ සොඳුරු අතීතය කණ්ඩා හට තවත් එක දුරස්තර සිහිනයක්ම පමණි, එවන් කාලයක් නැවත උදා නොවනු ඇතැයි සිතනා විට සතුටින් පිරුණු හිත දුකින් බර වීම වළකන්නට නොහැක්කේමය !

https://kandascolumnblog.wordpress.com

Top