1150 x 80 px

කවියක් ලිව්ව නිසා ගුරුවරයකුට දඬුවම් මාරුවක් දෙන ලැජ්ජා නැති අධ්‍යාපනය

කුෂාන් ශාලික හේරත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණවේදය විෂය උගන්වන තරුණ ගුරුවරයෙක්.

ෆේස්බුක් සමාජ ජාලයෙහි කවියක් ලියූ වරදට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔහු කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට දඬුවම් මාරුවකට ලක් කර තිබේ.එහෙත්, එම ගුරුවරයාට එරෙහිව කරන ලද විමර්ශනයෙන් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කර ගත නො හැකි වූ නිසා දඬුවම් මාරුව කරන්නේ සේවා අවශ්‍යතාවට ආවරණය වෙමිනි.

ඒ විකාර සහගත ස්ථාන මාරු ලිපිය පහත දැක්වේ.

ඊට පෙර කුෂාන් ශාලිකගේ මෙම කවිය කියවන්න.

කවියක් ලිවීම නිසා ගුරුවරයකුට ස්ථාන මාරුවක් දෙන මෙම අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වීම කෙතරම් විහිළුවක් ද? යල් පැන ගිය ආයතන සංග්‍රහ, රෙගුලාසි ආදිය නො වෙනස්ව දෘඪ ලෙස පවතිද්දී සමාජය, මාධ්‍යකරණය හා අදහස් ප්‍රකාශනයේ නිදහස නව මාන තුළට පිවිස ඇත.

මෙම යථාර්ථයන් තේරුම් ගන්නට බැරි නිලධාරීන් පිරිසක් විසින් හසුරුවනු ලබන ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන ඔබේත්, මගේත් දරුවාගේ අනාගතය කුමක් වනු ඇද්ද?

සොයුර, ඔබට දිරි පතමු.

අධ්‍යාපන බලධාරීනි, මේ ලැජ්ජා සහගත මුග්ධ ස්ථාන මාරුව අවලංගු කරන්න.

#දුයිෂෙන්_දැන්_ටියුෂන්_එකක
__________________________________
අයිලයේ තැන් තැන් වල
පෝස්ටර් වල මූණ දාගෙන
ඔයා හිනැහෙනව ඒ වාගෙම
විස්වාස කරන්නත් අමාරුයි
දුයිෂෙන්න් මේ ඔයාමද....?

කළු රබර් පාවහන්
දූවිලි මිරිවැඩි අරන්
ආ පැටවු මත්තේ නැහුණු
මහා හදවත මරං
ඇයි ඔයා මෙහෙ ආවෙ
ඇමති පස්සෙන් ගිහින්
සිදාදියකට මාරුවක් හදං

මමත් දැන් මෙහෙ
කතිර මැස්මටම හුරු වෙනව
ජුකී මැශිමටම ජීවිතේ දිය වෙනව
ෆැක්ටරිය ඇතුලෙම
දවල් රෑ එලි වෙනව
ඔයින් මෙයින් කල වයස ගෙවිලා
ජීවිතේ ශිෆ්ට් එක පහුවෙනව

වසන්තය එනවා සත්තයි
දුයිශෙන් ඔයා කීවම
මමත් හිතුවේ එහෙමයි
ඒත් අයිලයට තවම ගිම්හානෙ
අප්පච්ව්ලාගේ ජීවිතේ කටුකයි
සල්ලි බාගේ හිඟ තැන
අම්මත් ගියා මුහුද පහු කරහෙන
එයාගෙනුත් තොරතුරක් නෑ
ගේ උනත් දැන් හුඟක් පාලුයි

පිදුරු අතුලා අටවපු
ඉස්කෝල මඩුවේ
මතකද එල්ලාපු ලෙනින්ගෙ පින්තූරේ
මම දැක්ක ඔයාගේ ටියුට් වල
පිටිපස්සෙ පිටුවේ
විප්ලවේ දැන් දරුණුයි නේද
නගරෙ ටියුෂන් ක්ලාස් අතරේ

කඩදාසි පිටු වලට
නම වැටෙනකොට ලොකුවට
සාරයිද මගෙ ගුරුතුමනි ජීවිතය

කටුක ගිම්හානයට,
ශීත හිම සුලියකට හසුනොවී
ගුරුතුමනි,
වසන්තය නුඹ ගන්න

අයිලයට වුනත් මොකටද
අපි හැර කවුරුවත් නාඳුනන
කැහැටු පොප්ලර් අතු ටික
කඩදාසි කලහැකිනම්
ඒ ගස් දෙකත් නුඹ ගන්න

| කුෂාන් ශාලික

http://www.w3lanka.com/2017/06/blog-post_37.html

letter

Top