Untitled 1

පිරිමි ජීවිත විනිවිදින සන්නස්ගලගේ පිරිමින්ට එරෙහි පාපොච්චාරණය

උපුල් ශාන්ත සන්නස්ගල විසින් 2012 දී ලියා ප්‍රකාශයට පත් කළ “පිරිමි ගොඩයි මං විතරයි” නවකථාව මෑතක දී කියවීමෙන් අනතුරුව එය පිළිබඳව අදහස් දැක්වීමට සිතුවෙමි. මා “පිරිමි ගොඩයි මං විතරයි” ගැන ලියන්නේ සන්නස්ගල නම් පුද්ගල චරිතය බැහැර කොට කථාවේ හරය පිළිබඳව පමණක් අවධානය යොමු කරමිනි. 2014 වර්ෂයේ දී “අම්මා” ප්‍රකාශයට පත්කොට තමාට මඟහැරුණු අම්මා ගැන පාපොච්චාරණයක් කරන සන්නස්ගල ඊට පෙර ලියා ප්‍රකාශයට පත් කළ මෙකී නවකථාව පිරිමි සමාජය පිළිබඳව මෑතක දී ලියවුණු යථාර්ථවාදීම කෘතිය යැයි සිතේ. මන්ද යත් පිරිමි සමාජය නිරුවත් කොට එහි සැබෑ හෙළුව ගිහි, ආගමික භේදයකින් තොරව මෙම කෘතිය තුළදී හෙළිකරන බැවින් සෑම ගැහැනියෙකුම හා සෑම පිරිමියෙකුම මෙය කියවිය යුතු බව මුලින්ම කිව යුතුය.


පිරිමි ගොඩ අතරේ මං විතරක් වන්නේ චුට්ටී හෙවත් රිද්මාය. ඇයට මුල්ම පිරිමි ඇසුර ලැබෙන්නේ සිය ඥාති සොහොයුරෙකුගෙනි. ඒ ඇයට හයක් හතරක්වත් නොතේරෙන, ඇඟ වැහෙන්නට ජංගියක්වත් නොඇන්ද කාලයේය. සිය අංගජාතයට පණ පොවා ගැනීමේ අරමුණින් රිද්මාගේ සිරුර අතපත ගාන, ඒ දෙස කෑදර බැලුම් හෙලන ඔහු, පිරිමි ගැන දන්න නොදන්න රිද්මා ගොදුරක් බවට පත්කර ගන්නා මුල්ම පිරිමියා වේ. ඉන්පසු බාප්පා අතින් දූෂණයට ලක් වී පියා සමඟ ගමෙන් පිටව ගිය පසු පියාට ද අඹුකම් කිරීමට සිදුවන රිද්මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ සුද්දීගේ හමුවීමය. එතැන් පටන් චුට්ටී ගමන් කරන්නේ සුද්දී විසින් කපා දෙන පාරකය. නමුත් එම පාරේ කිසි තැනක චුට්ටීට සුද්දීව මුණගැසීමට ඉඩක්වත් නොතබන සුද්දී නිතරම චුට්ටීගේ ජීවිතයට ශක්තියක් හා ආශිර්වාදයක් බවට පත්වේ. අවසානයේ එම ආශිර්වාදය ශාපයක් වී රිද්මාව තල්ලු කර දමන්නේ ෆාදර් ෆෙරෝස්ගේ ලෝගුවෙන් වැසුණු ලෝකයෙන් මුවාකර ගෙන ඔහු තබා ගත් අපාය වෙතටය. ඒ අපායේ දී තිරිසනෙක් වැනි මිනිසෙක් සමඟ අකමැත්තෙන් ජීවත් වන්නටත් ඉන් අනතුරුව ඒ ජීවිතයට සමු දී රිද්මා තමාගේම දෙවන ජීවිතයටත් පණ පොවන්නීය.


ඒ ජීවිතය තුළ ඇය පිරිමි පිළිබඳ ලද පරිචය සිය ජීවිතයට ඉනිමඟක් කර ගැනීමට නිතරම උත්සාහ දරයි. කතුවරයා සමාජයේ තවත් දූෂිතම පිරිමි කොට්ඨාශයකට එරෙහිව සිය පෑන මෙහෙයවන්නේ රිද්මාගේ මෙම දෙවන ජීවිතය තුළදීය. ඔවුන් නම් සමාජයේ පාලක පිරිස වන මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන්ය. පියා දේශපාලනයේ හුන් නිසාම දේශපාලනයට එන තැනැත්තෙක් සමඟ රිද්මාට විවාහ වන්නට සිදු වුවත් ඒ විවාහය ද අසාර්ථක එකකි. එම පිරිමියා පිටරටක දී තවත් පිරිමියෙක් සමඟ අශෝභන ලෙස හැසිරුණු බව කසාදයටත් පෙර රිද්මා දැනගෙන සිටියත් ඇය ඔහු සමඟ විවාහ වේ. ඔහු පිරිමින්ගේ මෙන්ම ගැහැණුන්ගේ ශරීර වලට ද කෑදරයෙකි. එම කෑදරකම ඔහු මුදාහරින්නේ ඔවුන් මධුසමයට පිටරටක හෝටලයකට ගිය පසු රිද්මා තම මංගල ඇඳුම් ගලවා පිරිසිදු වී එන්නටත් පෙරම රිද්මාව සිය රමණයට ගැනීමෙනි. ඔවුන් එකතු වුණත් රිද්මා උණුසුම් වූයේ නැත. එලෙස හැමදාම රිද්මා උණුසුම් නොවීමම අවසානයේ ඔවුන්ගේ විවාහය තුළට තුන්වන පාර්ශවයකගේ කැඳවීමකට ආරාධනාවක් සිදු කරයි. එහි ප්‍රතිඵලය වන්නේ රිද්මා විශ්වාස කරන පරිදි ඇය නියම පිරිමියෙකුගෙන් ගැබ් ගැනීමයි. රිද්මා අවසානයේ තනි වන්නේ එම නියම පිරිමියාගෙන් ලද දරුවා සමඟ මිස පිරිමි ලිංගයක් සහිතව උපන්නාටම පිරිමියෙකු නොවූ තම විවාහක සැමියාගෙන් නොවේ. එනිසාය මෙම කථාව ලිංග වලින් ලේබල් ගහගෙන ඉන්නා පිරිසට මෙන්ම ලේබල් වලින් තොරව, ලිංග ගැන නොසිතා වැඩ කරන පිරිසට ද ආදර්ශයක් වන්නේ.


මෙම කථාව කියවන ඇතමෙක් සමාජයේ හමුවන සෑම පිරිමි චරිතයක්ම මෙම කථාවේ එන පිරිමි චරිත හා සමාන යැයි කියා සිතීමට ද පුළුවන. එනිසා පන්සලේ හාමුදුරුවෝ, ෆාදර් ෆෙරෝස් වැන්නන් යනු සමාජයේ අතළොස්සක් වන දූෂිත පිරිමි චරිත වලට නිදසුන් මිස පිරිමි සමාජය එහෙම පිටින්ම නියෝජනය කරන්නන් නොවේ. නමුත් එවැනි චරිත සිය තත්ත්වය කඩතුරාවක් බවට පත් කරගෙන කාන්තාවන්, කන්‍යාරාම වල ගැහැණු දරුවන් සිය කාම සුවය උදෙසා බලහත්කාරයෙන් යොදාගන්නා බව නම් සත්‍යයකි. එනිසා අප කළ යුත්තේ සෑම පිරිමියෙකුටම එම ලේබලය ඇලවීම නොව හොඳ බහුතරය අතර එවැනි සුළුතරයක් සිටිනවා ද යන්න හෝ හොඳ සුළුතරය මැද එවැනි බහුතරයක් සිටිනවා ද කියාත් සොයා බැලීමය. එසේම එවැන්නන්ට ආගම තත්වය නොසලකා දඬුවම් දීම ද වැදගත්ය.


සන්නස්ගලගේ මෙම “පිරිමි ගොඩයි මං විතරයි” කෘතිය ස්ත්‍රීවාදී හෙවත් ස්ත්‍රී විමුක්තිය උත්කර්ෂයට නැංවීමේ උත්සාහයක් ලෙස ද හැඳින්වීම වැරදි නැත. සුදුම නැති සුද්දී වැනි ස්ත්‍රී චරිත අතර කළුත් නැති සුදුත් නැති රිද්මා නම් ස්ත්‍රී චරිතත් අතර අන්තර් සම්බන්ධතාවයකින් කතා වස්තුවේ අරටුව ශක්තිමත් කොට එම කාන්තා චරිත දෙක හරහා පිරිමි චරිත වල හෙළුව නිරාවරණය කොට නිවැරදි කවුරුන් ද වැරදි කවුරුන් ද කියා නම් නොකොට එම ප්‍රශ්නය කියවන්නාට භාර කරන රචකයා මෙහි දී විවරණය කරන සමාජ පැතිකඩ අතිශයින්ම පුළුල්ය. සංකීර්ණය. මානුෂීයය. සමාජය තුළ අතරමං වී හැඳුනුම්පත් සොයා යන තරුණියන්ට මේ කථාව මල් මිටක් වන්නේ එහෙයිනි.

http://iranga.net/?p=904

Top