1150 x 80 px

වික්ටෝරියානු මාවතක අවසන් ගමන් ගිය නොමළ ගැහැණියකගේ හෘද සාක්ෂිය - 28 (ශ්‍රී)

ඇගේ නම සුද්දීය. එදා මෙදාතුර සෑම ගමකම සුද්දීලා සිටින්නීය. තරමක සංස්කෘතික විවෘත භාවයකින් යුතුව සමාජය තුළ හැසිරෙන සහ නිත්‍ය සම්ප්‍රදායකට අනුකූල නොවූ රූපසම්පත්තියෙන් යුක්ත වූ කාන්තාවන් ‘සුද්දියන් සේ හැසිරෙන්නී’ වැනි අරුතක් ආරෝපණය කරමින් සුද්දී නමින් හඳුන්වන ලද්දේ ඇය නියෝජනය කළ ගම තුළම විසූ අන්‍ය කාන්තාවන් හෝ ගැමියන් විසිනි. එවන් ගැහැනියක සෑම විටම පුරුෂයන්ගේ ලිංගික සූරා කෑමට මෙන්ම අන්‍ය ගැහැණුන්ගේ ද්වේශයටද ලක්විය. සයිමන් නවගත්තේගම ලිවුවේද එවන් සුද්දීලා පිළිබඳවය. නමුත් ප්‍රසන්න ජයකොඩිගේ 28 සිනමා පටය තුළින් නිරූපණය වන සුද්දී ගේ කතාව ඊට වෙනස් එකකි. එය අනන්‍යතාවක් සහිතව වෙනම කියවිය හැකි ගැහැණු චරිතයකට වඩා පොදුවේ කාන්තාවන්ට සමාජ පැවැත්ම තුළ මුහුණ දීමට සිදුවන අර්බුධ අරභයා ගොඩනැගුණු සමාජීය සංලාපයකි.


කාන්තාවන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක දිනය ලෙස සෑම වර්ෂයකම මැයි 28 වන දින නම් කර ඇතත් සෑම මසකම දින 28 ක ජීවවිද්‍යාත්මක චක්‍රයකට යටත් වූ ශරීරයක හිමිකාරත්වය ඇති ඇයට සමාජ වටිනාකමක් සහිතව පැවතිය හැකි සංස්කෘතික පසුබිමක් ලංකාවේ සමාජය තුළ තවමත් නිර්මාණය වී තිබේද යන්න ගැටළුවකි. අනෙක් අතට ස්ත්‍රියගේ ලිංගිකත්වය සමාජීය ගැටළුවක් බවට පරිවර්තනය වන්නේ පුරුෂයාට තම ලිංගිකත්වය පිළිබඳව පවතින අපැහැදිලිතාවය ද නිසාය. ස්ත්‍රියක විසින් පුරුෂයකු වසඟයට ගන්නා උපාය මාර්ග හෝ ලිංගික චර්යාවන් පිළිබඳ ලියවී ඇති ලේඛණ හොර රහසේ කියවා උගෙන ගන්නා පිරිමි භාවික ජීවිතය තුළ ප්‍රායෝගිකව මුණගැහෙන ස්ත්‍රියකගේ ශරීර බස මෙන්ම ආත්මීය බසද අවබෝධ කර නොගනිති. සුද්දී ගමේ සිට නගරයට එන්නේ ද නගරයේ සිට අවසානයේ ගමට යන්නේද තමන්ගේ ශරීර භාෂාව වරදවා වටහාගත් පිරිමින්ගේ හූ හඬ මධ්‍යයේය. ඇගේ ජීවිතයට ආරම්භයක් නැත. සිනමාපටය ආරම්භ වන්නේ ඇගේ අවසානයත් සමගය. එනම් කවරකු විසින් හෝ දුෂණය කර ඇයව මරා දැමූ තැන් සිටය.


අතීතයෙහි ගම ඉතා නිදහස් සංස්කෘතික ඒකකයක් විය. ලිංගික ජීවිතය පවා දොර ජනෙල් ආවරණ වලින් තොර අතිශය නිදහස් වූවක් විය . එකල ගමෙහි ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ තොටුපලයි. දියකෙළි, ඕපදූප , කෙළි කවටකම්, සංලාප ආදී සියල්ලට ම ගැමියා අවසරය ලද්දේ ස්නානය කිරීම සඳහා ලද කාලයයි. අතිශය වෙහෙසකාරී ජීවනෝපායන් නිමකර දාහය නිවාගන්නා ගැමියෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව දියකෙළියෙහි නියුක්ත වූහ.රජවරු පවා සිය ජීවිතයේ සුවිශේෂ අවස්ථාවන් සැමරුවේ වැව සමඟ ඒකාත්මික වෙමිනි. වැව, දාගැබ සහ කෙත යන අවස්ථා ත්‍රිත්වය හරහා ග්‍රාමීය ජීවනෝපාය, සංස්කෘතිය සහ අධ්‍යාත්මීය ව්‍යුහය ඉපැරණි ගැමි සමාජය තුළ මනාව කළමනාකරණය විය. සාහිත්‍ය භාවිතාවේදී කිසියම් කාව්‍යයක් මහා කාව්‍ය්‍යක් වීමට නම් දියකෙළි වැණුම අත්‍යවශ්‍යය අංගයක් වශයෙන් සැලකූයේද ගැමි ජන ජීවිතයෙහි ප්‍රධාන සංස්කෘතික හැඩතල ඒ ඔස්සේ නිර්මාණය වී තිබූ හෙයිනි. එනිසා සෑම සංදේශ කාව්‍ය්‍යක් තුළම දියකෙළි වැණුමක් ඇතුළත් වූ අතර ඒ අතරින් හංස සංදේශයෙහි එන දියකෙළි වර්ණනාව තුළ ස්ත්‍රී සහ පුරුෂ යන දෙකොට්ඨාශයෙහි කෙලිලෝලත්වය සඳහා ලිංගිකත්වය බාධාවක් නොව බවට නිදර්ශන පවතී. අඩක් නිරුවත් සිරුරෙහි රත් පැහැ ලාක්ෂා තවරාගත් ස්ත්‍රීන් ද පුරුෂයන් ද වතුරේ ගිලෙමින්, පිහිනමින් හා උනුන් හා කවටකම් කරමින් රිසිසේ ප්‍රීති වූ අතර අන්‍ය ස්ත්‍රියක් කෙරෙහි හිත ගිය තරුණයකු දිය ක්‍රීඩාවෙහිදී එය පළකරන සියුම්තාවත් එය දකින ඉවුරෙහි වූ සැමියාගේ මානසිකත්වයත් යනාදිය එමොහොතට පමණක් වලංගු ක්ෂණිකව හසුරුවාගත හැකි සුන්දර සිතිවිලි ලෙස හංස සඳෙසෙහි නිරූපණය කෙරේ. පුරාණ ලංකාවෙහි ලිංගිකත්වය පිළිබඳව පැවති නිදහස් භාවය වික්ටෝරියානු සංස්කෘතිය වැළඳගැනීමත් සමග විනාශ වූ අතර ඉන් පසු ගම නමැති ඒකකය සුහදත්වය සහ සංස්කෘතික විවෘතභාවයකින් තොර වූ ගුප්ත සහ අසහනකාරී ඒකකයක් බවට පරිවර්තනය විය. ස්වකීය සැමියා සමග ගංගාවේ ස්නානය කරන සුද්දීට ගමෙහි වුන් සෙසු පිරිමින්ගෙන් තොටුපලේදී විවිධ බලපෑම් එල්ලවන්නේ එවන් පසුබිමක් තුළදීය . ඉන් පසු ස්වකීය විවාහ ජීවිතය තුළ උද්ගත විය හැකි අභාග්‍ය සම්පන්න තත්වය වලක්වා ගැනීම සඳහා සුද්දීගේ ඉල්ලීම පරිදි ගමට ඇති එකම නානකාමරය ඔවුන්ගේ නිවසේ ඉදිවෙයි. නමුත් එහි ඇති කවුලුව තුළින් මාමණ්ඩියගේ බැල්ම සුද්දීගේ නිරාවරණ සිරුරට වැටෙන්නේ නොසිතූ ලෙසය. නමුත් අවසානයේ නානකාමරය තුළ නිරුවතින් නෑම වරදක් ලෙස නිහඩව බාර ගෙන කවුළුවෙන් එබුණු මාමණ්ඩියට සමාව පිරිනමා නිවසින් පිටව ගිය සුද්දීව නැවත සැමියාට මුණ ගැහෙන්නේ වසර පහළවකට පසුවය. ඒ ද මල මිනියක් ලෙසය. ඔහු සිය බිරිඳ පූර්ණ නිරුවතින් දකින්නේ මිනී පෙට්ටි සාප්පුව තුළ එම්බාම් කටයුතු සඳහා සූදානම් කර තිබෙන විටය. ජීවමාන මනුෂ්‍යයා සෑම විටම පරිපූර්ණ සත්‍යයෙන් බහිර්ජන්‍යය. සෑම කෙනාගේම සත්‍යය අවධිවන්නේ මරණයෙන් පසුවය.


අභයපාල, මනී සහ ලෙනින් නම් වාමාංශික නමක් හිමි, දකුණට බරයයි තමා විසින්ම කියාගන්නා අයිස්ක්‍රීම් වෙළෙන්දා විසින් 28 ශ්‍රී අංක දරන වෑන් රථයෙන් අවසාන ගමන සදහා සුද්දීව ගමට රැගෙන යයි. 28 චිත්‍රපටයට පාදක වන්නේ ඒ අවමංගල චාරිකාවයි. නම ලෙනින් වුවත් රියදුරා මිනී වලට මෙන්ම සමාජයේ අර්බුධකාරී අවස්ථාවන්ට දායක වීමටද ප්‍රිය නොකරයි. හිස් මිනී පෙට්ටියකැයි පළමුකොට මුසාවක් පවසා මිනිය වාහනයේ වහලය මත රඳවාගෙන ගියද අතරමගදී එය බිම වැටීමෙන් මිනී පෙට්ටිය බිඳී යයි. එසේ අඩක් බිඳුනු මිනී පෙට්ටිය තුළින් සුද්දීගේ මුහුණ මදක් නිරාවරණය වෙයි. විටෙන් විට තමා වෙනුවෙන් හඬ නැගීමට ඇය ශක්තිය ලබන්නේ එතැන් සිටය. තවමත් සක්‍රීයව මනී අතේ පවතින තම දුරකථනයට පැමිණෙන ඇමතුම් වල පූර්වාපර සන්ධීගැලපීම සුද්දී විසින්ම සිදු කරනු ලබන අතර කුසුම්ගේ කතාව නිරාවරණය වන්නේ එලෙසය. ගැහැණියට සිය විවාහය තුළ අර්බුධයකට ලක්වීමට සිදුව ඇත්තේ එකිනෙකට වෙනස් ජවනිකා දෙකක් එකවර නිරූපණය කිරීමට ඇයට විවාහය විසින් පවරන හෙයිනි. වඩාත් හොඳ ගැහැනිය වීමත්, වෙසඟනක සේ නිදියහන තුළ විවෘත වීමත් යන පරස්පර ජවනිකා දෙකෙහි එකවර පෙනී සිටීමට වඩා ගණිකාවක බවට පත්වීම හැම අතින්ම ලිබරල්ය. එතැනදී ඇයට හොඳ ගැහැණියක ලෙස රඟපෑම සඳහා වෙර දරන්නට අවශ්‍ය නැත. ඇය මේ මොහොතේ සිටින්නේ ස්වභාවික ජීවවිද්‍යාත්මක පැවරුම තුළ පූර්ණ ලෙස නිදහස්වය. අර්ථකතන වලින් තොර ජීවිතය සැබැවින්ම ඉතා සාමකාමී එකකි. එය මරණයටත් වඩා නිදහස්ය. ගණිකාවකගේ ප්‍රීතිය බිරිඳකගේ භුමිකාවේදී ගැහැණියකගෙන් විනිර්මුක්ත වන්නේ ස්ත්‍රිය මෙන්ම පුරුෂයාද උනුන් ඉදිරියෙහි රංගනයක නියුක්තවන හෙයිනි. එබැවින් ස්ත්‍රී පුරුෂ ලිංගික එක්වීම් යනු ව්‍යාජ හැසිරීම් සහිත නාටකයකි. සෑම විටම ඒ නාටක අවසන් වන්නේ ඛේදන්තයක් ලෙසිනි.


සිනමාපටය ස්ත්‍රී පුරුෂ සමාජබාවය සම්බන්ධ අති සියුම් ප්‍රකාශනයක් වීම වළක්වාලන බාධාකාරී අවස්තා කිහිපයක්ද වේ. එනම් සිනමාපටය ආරම්භ වන්නේ මරා දැමූ සුද්දීගේ මිනිය සහ නඩු භාණ්ඩ වශයෙන් ගැනෙන අත් භෑගය , ජංගම දුරකථනය කිසිදු බාධාවකින් තොරව ලබාගත් ඇගේ සැමියා සහ ගෝලයා විසින් මිනී පෙට්ටියක දමාගෙන වාහනයක රැගෙන එන දර්ශනයකිනි.ඒ එන අතරමග මිනී පෙට්ටිය මග වැටී යළිත් ඒ ස්ථානයට ඔවුන් යන අවස්ථාවේ සෙනග රැස් වී හිඳිති. ඒ සෙනග පලවා හැරීමට අබපාල ව්‍යාජ ගැටුමක් මණී සමග ඇති කර ගනී. එ සුනිල් සෝම පීරිස් ගේ චිත්‍රපටයක දැකිය හැකි අන්දමේ සීනිබෝල ප්‍රයෝගයකි. එමෙන්ම සෙනග පලවාහැරීමෙන් අනතුරුව ඒ අසලම පාලමක් යට මිනිය තබාගෙන එහි ඇඳුම් සෝදමින් බොහෝ විවේකයෙන් විනෝදයෙන් පසුවන දර්ශනයද අතිශය අභව්‍යය. එසේ නම් එය යථාර්තවාදී පසුතල, සාමාන්‍ය වැසියන්ගෙන් තොර මායාකාරී ක්‍රමවේදයක් තුළ ඉදිරිපත් කරන්නට තිබුණු අතර මෙම රූපරාමු නැරඹූ ඕනෑම අයකුට සිතෙන්නේ මලමිනියක් පාරේ නවත්තා විහිලු කරමින් සිටින්නට තරම් නිදහස් රටක මේවා ප්‍රශ්නද යන්නයි. සුද්දී වරකෙ තම වයස අවුරුදු 37ක් බව පවසයි. නමුත් ලෙනින් නම් රියදුරු අත පත් වන ඇගේ ගුවන් ගමන් බලපත්‍රයේ සමීප රූපය අනුව ඇගේ උපන්දිනය 1974 ලෙස සටහන් වේ. සිනමාපටය නිෂ්පාදනය කළ වර්ෂය සහ එය තිරගත වන වර්ෂ අතර පරස්පරතාව මීට හේතු විය හැකි වුවත් ප්‍රෙක්ෂකයා එය ගණන් බලන්නේ තමා සිනමාපටය නරඹන වර්තමානය සමග සසඳමිනි. එබැවින් නිත්‍ය ලෙස සුද්දී තහවුරු කරන දෙය සර්වකාලීනව පවත්වාගැනීම සඳහා ඇගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධ සමීප රාමුව සංස්කරණයේදී ඉවතිවිය යුතුව තිබිණි. සංස්කරණ ශිල්පියාට සහ කලා අධ්‍යක්ෂවරයාට මගහැරුණු අවස්ථා කිහිපයක් නිසා සිනමාපටයෙහි රිද්මයට මද වශයෙන් හානියක් සිදු වුවද තම මෙහෙය නියමාකාරයෙන් වටහා ගන්නා සංගීත අධ්‍යක්ෂවරයා නිසා සුද්දීගේ ආත්මයේ හඩ තීව්‍රවෙයි. ස්ත්‍රිය හදුකලා එක්කයක් ලෙස කියවීමත්, ඇය පිරිමියකු හා බද්ධ කොට සමාජීය ඒකකයක් ලෙස කියවීමත්, ඇය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුළ පොදු විග්‍රහයක් ලෙස අර්ථකතනය කිරීමත් යන අතිශය සංකීර්ණ ක්‍රියාවලිය තුළ දේශක බමුණුමුල්ල ගේ සංගීතය අති සියුම් සහ ප්‍රබල උපක්‍රමික උපකරණයක් බවට පත්වෙයි. අවසානයෙහි එය සේ සුද්දීගේ මෙන්ම සිනමාපටයෙහි ද ආත්මය බවට පත්වේ.


සේමිණී ඉද්දමල්ගොඩ පළමු වරට තමා රංගන ශිල්පිණියක බව තහවුරු කරන්නේ 28 සිනමාපටය තුළිනි. ඇය විසින් ස්වකීය රංග පෞර්ෂ්‍යය ප්‍රතිභාන්විත රංගවේදියකු වූ මහේන්ද්‍රපෙ රේරා සමග සමස්ථානයක පවත්වාගැනීමට සමත් වන්නීය. එමෙන්ම සහය නළුවන් ලෙස සරත් කොතලාවල සහ රුක්මල් නිරෝෂ් ගේ දායකත්වයද සුවිහේෂය. ඔවුහු තම චරිත නිරූපණය උදෙසා සඳහා ලද අවසරය නිරායාසික ජීවන අවබෝධයක් තුළ සිනමාකෘතියට මුදාහරිති. එය අතිශය නිදහස් සහ සැහැල්ලු ඉදිරිපත් කිරීමකි. මේ සියළු දෙනාගේ අභිනයන් සියුම් ලෙස උකහාගන්නා චන්දන ජයසිංහගේ කැමරාව ද සුවිශිෂ්ටය. එය මනස සහ මසැස අතර රික්ත සොයමින් නව මානයන් සොයා ගිය කැමරාවකි.


විවාහය සඳහා දෙපැරැන්දේ ඇති අවයවය පමණක් ප්‍රමාණවත්ය සිතන, කුප්පිලාම්පුව නිමාගෙන රති සුව විඳින, පුරුෂයා නිදහස අත්විඳින්නේ මුත්‍රා කිරීම තුළ පමණි. බහිස්‍රාවය මුදා හිරීමේදී ලබන සුවයවත් ඔවුහු රමණයෙන් නොලබති. ආදරය සහ ලිංගිකත්වයේ ඇති ආත්මීය බැඳීමත් ජීව විද්‍යාත්මක ප්‍රහර්ෂයත් මග හැරගන්නා පුරුෂයාට අනෙකාගේ හැඟීම් සහ ප්‍රතිචාර යනු අතිශය අර්බුධකාරී අවස්ථාවන් බවට පත්වේ. එබැවින් ඔවුහු සුවය ලබන්නේ ප්‍රතිචාරයක් නොමැති නිසල භෞතික වස්තුවක් සමග රමණය කිරීමෙනි. එබැවින් ඔවුහු රිසි ලෙස ස්ත්‍රියක විඳින්නේ ඇයගේ මරණයෙන් පසුවය. මල්ශාලාවේදී සුද්දීගේ නිරුවත දැක භාවාර්ද්‍ර වන අභයසිරිත්, සුද්දීව දූෂණය කොට මරා දැමූවන්ගේ සිතිවිලිත් යන දෙකම සමාන වේ. සැබැවින්ම දූෂකයෝද අනුකම්පාවට පත්විය යුත්තෝය. ජීවිතය තුළ පවතින්නට බැරි මිනිසුන් මලවුන් සමග ගණුදෙණු කරති. විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම, මිත්‍යා විශ්වාස, සංස්කෘතික කුහකභාවය , අතීතයෙහි ගිහි ජන ජීවිතයෙහි සැකැස්ම කෙරෙහි පන්සල තුළින් ලැබුණු අධ්‍යාත්මික පිටුබලය ද ගම තුළින් ගිලිහී ගියේය. ගෝත්‍රිකත්වයේදී ස්වබාවධර්මය සමග වූ ඒකාබද්ධතාව මුළුමණින්ම බිඳ දමා අවබෝධයක් තුළ වින්දනය කළ යුතු ජීව විද්‍යාත්මක සන්ධිස්ථාන සහ ක්‍රියාවලීන් හුදු සංස්කෘතික උත්සවයක් තුළ නිෂ්ප්‍රයෝජන චාරිත්‍රයක් බවට පත්කොට විකෘති කිරීම තුළ මළවුන්ගෙන් ජීවිතය සොයා යෑමට පුරුෂයන්ට සිදු වූ අතර ඒ උදෙසා ස්වකීය ජීවිතය පිරිනැමීමේ අවධානම අවසානයේ ස්ත්‍රීන්ගේ නිත්‍ය ඉරණම බවට පත් විය.

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

http://sarpayasdaughter.blogspot.com/2017/06/28.html

Top