1150 x 80 px

සරසවි සිසුවියකගේ හැඬුමකින් ප්‍රතිචාර ලද සංවේදී නාට්‍ය අත්දැකීම
නාට්‍යයේ අවසාන ජවනිකාව ද අවසාන වී වේදිකාවේ විදුලි ආලෝකය නිවී ගියේය. ඒ සමඟම මුළු නාට්‍යාගාරයම අඳුරේ ගිලුණි. මා සිටි අසුනට පිටුපසින් සරසවි සිසුවියකගේ හැඬුමක් ඇසුණේය. මාගේ දෙනෙත් ද ඒ මොහොතේ දී තරමක් කඳුළින් බොඳවී තිබුණු බැවින් සිසුවියගේ එම හැඬීම මට අමුත්තක් නොවුණි.  නාට්‍යය අවසානයේ ප්‍රේක්ෂිකාවකගෙන් මෙසේ ලද ප්‍රතිචාරය නාට්‍ය අධ්‍යක්ෂකවරයා මෙන්ම නළු නිළියන් ද  ලද ඉහළම ප්‍රතිචාරය බවට සැකයක් නොමැත. මේ එසේ ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රතිචාර ලැබූ එම සංවේදී නාට්‍ය අත්දැකීම පිළිබඳ තබන සටහනකි.
ප්‍රේක්ෂක හැඟීම් අති සංවේදී මානයකට ඔසවා තබන එම නාට්‍යය වන්නේ Love and Life නාට්‍යයයි. එහි අධ්‍යක්ෂකවරයා එස්. අයි. සමරක්කොඩිය. මෙම සංවේදී අත්දැකීම මා හට විඳීමට අවස්ථාව උදා වන්නේ ඊයේ දිනයේ දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දී එම නාට්‍යයේ විශේෂ දර්ශනයක් වේදිකා ගත කළ අවස්ථාවේ දී ය. පුද්ගල භාව ආමන්ත්‍රණයෙහිලා මෙම නාට්‍යයේ පවත්නා ඉතා සුවිශේෂී ගුණාංගය හේතුවෙන් ඒ පිළිබඳව මෙවැනි සටහනක් නොතබා සිටිය නොහැකිය. එබැවින් විනාඩි ගණනකට මුළු ප්‍රේක්ෂකාගාරයම භාවමය කම්පනයකට ලක්කළ එම නාට්‍යමය අත්දැකීම පිළිබඳව මෙසේ සටහන් කරමි.
 
නාට්‍යය ඇරඹෙන්නේ විනෝදකාමීව ජීවිතය ගත කරන මහළු යුවලකගේ දර්ශනයකනි. කෙතරම් වයසින් මහළු වුවද තරුණ අවධියේ දඟකාර බව සිහි ගන්වමින් ඔවුන් ජීවිතය විඳීමට උත්සාහ දරණ අයුරු අපූරුය. එම ආදරණීය යුවලගේ හැසිරීම විටෙක මුළු ප්‍රේක්ෂකාගාරයම සිනහා සයුරේ ගිල්වීමට සමත් වෙයි. එම මහළු යුවල ගතින් පමණක් මහළු වී සිටින බව ඉස්මතු වන්නේ ඔවුන්ගේ එම කෙලිලොල් හැසිරීම් හේතුවෙනි. ජීවිතයේ සැඳෑ සමය උදා වුවත් ඔවුන් ජීවත් වන්නේ අද ඊයේ පෙම්වතුන් බවට පත්වූ යුවලක් ලෙසිනි. කෙතරම් කාලය ගතවුවත් ප්‍රේමය වයසට නොයන හැටි කෙතරම් නම් සුන්දරද?
 
එස් අයි මෙසේ සනිටුහන් කරන්නේ එක් දීර්ඝ භාවමය ඉසව්වකට ප්‍රේක්ෂකයින් කැඳවාගෙන යාමේ ඇරඹුමයි. එම භාවමය කම්පනය ඔබ මා ඇතුළු සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලෙකුට පොදු ඉතා සංවේදී අත්දැකීමකි. එනම් මෙලොව පවත්නා අති උත්තරීතරම සම්බන්ධය වන දරු දෙමව්පිය සම්බන්ධය පිළිබඳ භාවමය ආමන්ත්‍රණයක් මෙසේ නාට්‍යමය අත්දැකීමක් වශයෙන් ඉදිරිපත් වේ. එහෙත් එය සිදු වන්නේ අප නිතර වේදීකාවේ දී දකින නාට්‍ය ආකෘතියක් තුළ නොවේ. එය මෙම නාට්‍යය පිළිබඳ විමසීමේ දී පැවසිය හැකි සුවිශේෂතම කරුණයි. එනිසාය මට දැනෙන ආකාරයට මෙම නාට්‍යය ප්‍රේක්ෂකයින්ට මෙතරම් සංවේදී අත්දැකීමක් බවට පත්වන්නේ.
 
අප එක් එක් පුද්ගලයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී භාවිතා කරන ප්‍රධානතම මාධ්‍යය බවට පත් වන්නේ වචනයි. එබැවින් බොහෝ කලා නිර්මාණ තුළ ද ප්‍රේක්ෂකයින් ආමන්ත්‍රණය කිරීමෙහිලා භාවිතා වන්නේ වාචික මාධ්‍යයයි. එහෙත් ඔබ මොහොතකට හෝ සිතුවා ද එම වචන වලින් ඔබ ප්‍රකාශ කරන අර්ථයට වඩා වැඩි අර්ථයක් නිර්වාචිකමය ස්වරූපයෙන් එනම් අංග චලන වලින් ප්‍රකාශ කළ හැකි බව. ඔබ එවැන්නක් සිතුවත් නොසිතුවත් ඔබ වඩාත් සංවේදී වන්නේ වචන වලින් ඉදිරිපත් කරන අර්ථයට වඩා නිර්වාග්මය ආකාරයට ඉදිරිපත් කරන හැඟීමට බව මෙම නාට්‍යමය අත්දැකීම සාක්ෂි දරයි. ඒ අනුව වේදිකාව මත එසේ නිර්වාග්මය ආකාරයට ඉදිරිපත් කරනු ලබන මෙම නාට්‍යය අති සංවේදී භාවමය ඉසව්වකට ප්‍රේක්ෂක මනස රැගෙන යයි.
 
අප භාවිතා කරන වචන වලට අර්ථය ජනනය කළ හැකි සීමාවක් පවතී. එසේම වචන භාවිතා කරන ස්වරූපය හා භාවිතා කරන පුද්ගලයා අනුව ද එම අර්ථය රඳා පවතියි. මෙහි දී විශේෂයෙන්ම වැදගත් වන්නේ එහි අර්ථය තේරුම් ගැනීමට නම් එම වචන සහිත භාෂාව දැනගෙන සිටීමේ පූර්ව අවශ්‍යතාවයි. එහෙත් එස් අයි ගේ මෙම නාට්‍යමය ඉදිරිපත් කිරීම මෙම සියලු සීමා බන්ධන කඩා ඉහිරවා මානව සන්නිවේදනයේ උච්ඡතම ස්වරූපයට ප්‍රේක්ෂකයා රැගෙන යයි. එම ස්වරූපයේ දී ඔහුගේ නාට්‍යය ලාංකිකයින් වන අපට පමණක් සීමා වන නාට්‍යයක් බවට පත් නොවේ. එනම් ලෝකයේ ඕනෑම ප්‍රේක්ෂකයෙකුට නරඹා විඳිය හැකි විශ්වීය ගුණයක් සහිත නාට්‍යයක් බවට මෙම නාට්‍යය පත්වේ.
 
වචන වලින් යම් සීමාවකට කොටුවී අප සිතනවාට වඩා ශාරීරික චලන තුළින් අපේ සිතුවිලි අසීමාන්තික භාවමය තලයකට එසවේ. එනම් නාට්‍යයේ ඉදිරිපත් වන සිදුවීමක් වචන වලින් අපි අපේ කර ගන්නවාට වඩා නිර්වාග්මය ඉදිරිපත් කිරීමක් අපි අපේ අත්දැකීම් ඇසුරෙන් හදවත් තුළට ඇතුළු කර ගැනීම ඉතා දැඩිව සිදු කරයි. එවැනි නිර්වාග්මය නාට්‍යයක නළු නිළියන් අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය වන පරිදි රංගනයේ යෙදුණත් එය නරඹන ප්‍රේක්ෂකයින් එම රංගනය තුළට හැඟීම් තුළින් කිඳා බසින්නේ වචන තුළින් එම හැඟීම් වලට සීමාවන් පනවා නොමැති බැවිනි. ඒ හේතුවෙන් එක් එක් ප්‍රේක්ෂකයා තුළ භාවමය වශයෙන් ඇති කරන්නා වූ කම්පනය නාට්‍යයක දෙබසකින් ඇති කළ නොහැකි දෙයකි. එස් අයි ගේ මෙම නාට්‍යය අපගේ හදවත් පසාරු කරගෙන ගොස් අපගේ අති සංවේදී හැඟීම් අවුලුවාලන්නේ එබැවිනි.
 
මෙය ඔබත් ඔබේ ජීවිතයේ දී වරක් හෝ නැරඹිය යුතුම නාට්‍යයක් බව පවසමි. දරු දෙමාපිය සම්බන්ධතා වියැකී යමින් පවතින මෙවැනි සමාජ වාතාවරණයකට එස් අයි ගේ උත්සාහය දිව ඔසුවකි. එය ඕනෑම අයෙකුගේ හදවත මොහොතක් නිහඬ කොට ජීවිතය ගැන නැවත සිතා බැලීමට යොමු කරවයි. ඉතින් කලා නිර්මාණයකින් අපට මීට වඩා බලාපොරොත්තු විය හැකි යමක් තිබේද?
 
එස් අයි ගේ මෙම ව්‍යායාමයට ඔහුට හදවතින්ම සුබ පැතුම් එක් කරමි. මා මෙන්ම ඔබ ද මෙය නැරඹිය යුතු බව නැවතත් මතක් කරමි. වචන එක්ක ජීවිතය විඳිනවාට වඩා වචන නැතුව ජීවිතය කියවීමේ අපූර්වත්වය එවිට ඔබටත් පසක් වේවි.
 
Top