1150 x 80 px

වෙනිසියුලාවේ ආණ්ඩු පෙරළීම අසාර්ථකයි

 

වෙනිසියුලාවේ ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ සන්නද්ධ කුමන්ත්‍රණය මේ වන විට සම්පූර්ණයෙන්ම මර්දනය කර තිබේ. උතුරුදිග වැලෙන්සියා නගරයේ හමුදා කඳවුරක් තුළින් ආරම්භ වූ මෙම අරගලයේදී හමුදා නිල ඇඳුමින් සැරසී සිටි 20 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් වීඩියෝ පටයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ද්‍රෝහීන්ට එරෙහි අරගලය ආරම්භ කළ බවයි. මේ සමගම වැලෙන්සියා නගරයේ සාමාන්‍ය සිවිල් වැසියන් ද කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත් අතර ජනපති නිකොලස් මඩුරෝගේ නියමයෙන් නගරයේ ආරක්ෂාව සහ කැරළිකරුවන් මර්දනය කිරීම හමුදාවට භාර විය.

 

කැරළිකාර තත්වයට මුල් වූ 20 දෙනා අතරින් දෙදෙනෙක් මරා දැමුණු අතර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. දස දෙනෙක් පමණ පළාගොස් ඇති අතර ඔවුන් සොයා නගරය පුරා ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මකය.

ගතවූ මාස හතර පුරාම වෙනිසියුලාව තුළ පවතින්නේ නොසන්සුන්කාරී තත්වයකි. රටේ ආර්ථිය බලා සිටියදී කඩා වැටෙන සහ ජනතාව කුසගින්නේ පසුවන වාතාවරණයක් තුළ ජනාධිපතිවරයා සිය බලය රැක ගැනීම සඳහා හමුදාවෙන් කොන්දේසි විරහිත සහයෝගයක් ලබමින් සිටිනා බවට ප්‍රබල විවේචනයක් තිබේ. රටේ සාමාන්‍ය ජන ජීවිතයට මෙම හමුදාකරණයේ බලපෑම කෙතෙක් ද යත්, ක්‍රමයෙන් බලවත් වෙමින් සිටින වෙනිසියුලා විපක්ෂය පසුගිය මාසයේ නිල නොවන ජනමත විචාරණයක් පැවැත්වූයේය. එහිදී අසනු ලැබූ එක් ප්‍රශ්නයක් වූයේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට හමුදා සහාය අවශ්‍ය යැයි ජනතාව සිතනවාද යන්නයි.

මේ අතර ජනපති මඩුරෝ පවසන්නේ අලුත්ම සිද්ධි දාමය පසුපස සිටින්නේ විපක්ෂය සහ විපක්ෂයට සහාය ලබාදෙන ඇමරිකානු හා කොලොම්බියානු රාජ්‍ය දේ‍රා්හීන් බවයි.

-අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top