1150 x 80 px

උත්තර් ප්‍රදේශයේ රජයේ රෝහලක ළදරු මරණ 60 ක්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ගෝරක්පූර් හි පිහිටා තිබෙන බාබා රාගව් රජයේ රෝහලේ දින පහක් ඇතුළත ළදරුවන් 60 දෙනෙක් මරණයට පත් වී තිබේ. විශ්වාස කෙරෙන්නේ ළදරු ඒකකයේ පවතින ආසාදන තත්වයන් සහ විශේෂයෙන්ම ඔක්සිජන් සැපයුමේ පවතින ගැටලු හේතුවෙන් මෙසේ සිදුවන්නට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද ආරම්භ කිරීමට නියමිත ය.

මෙම ළදරු ඒකකය ඇඳන් දහයකින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකයකින් ද බරපතළ තත්වයෙන් පසුවන ළදරුවන් සඳහා වෙන් කර ඇති ඇඳන් හයකින් යුත් ඒකකයකින් ද සමන්විත ය. මිය ගිය දරුවන් අතර මොළේ උණ යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන ජැපනීස් එන්කෙපලයිටිස් රෝගයෙන් ආසාදිත දරුවෝ ද සිටිති. 

උත්තර් ප්‍රදේශ් හි කැපී පෙනෙන දේශපාලන නායකයෙකු වන රාහුල් ගාන්ධි සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කර ඇත. පසුගියදා ඔහුගේ ආසනයේ ජනතාව විසින් ‘රාහුල් ගාන්ධි අතුරුදන් වී ඇත. සොයාදෙන්න” යනාදී වශයෙන් පෝස්ටර් ව්‍යාපාරයක් ද දියත් කර තිබුණේ දේශපාලකයන් තම ජනතාවගේ සුබ සිද්ධිය පිළිබඳ දක්වන නොසැලකිලිමත්කම හුවා දක්වමිනි. මේ අනුව මෙම සිද්ධිය රාහුල්ගේ දේශපාලන ජීවිතයට තවත් කැළලක් එක් කරනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

 
-අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top