1150 x 80 px

ලියනාඩෝ ඩිකැප්රියෝගෙන් දේශගුණික වෙනස්කම් පිටුදැකීමේ සටනට ඩොලර් මිලියන 20 ක්

-කලේන්ද්‍ර විතාන විසිනි.

ඔස්කා සම්මානලාභී නළු ලියනාඩෝ ඩිකැප්රියෝ නිවේදනය කර තිබෙන්නේ දේශගුණික වෙනස්කම් හේතුවෙන් ඇතිවන අනර්ථකාරී බලපෑම් සමග සටන් කිරීම සඳහා තමන් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් පරිත්‍යාග කරන බව ය.

මෙම සද්කාර්යය ඔහු විසින් සිදුකරන්නේ 1998 දී පිහිටුවාගත් ලියනාඩෝ ඩිකැප්රියෝ පදනම මගිනි. එම ආයතනය මගින් මේ වන විට පාරිසරික ගැටලු සම්බන්ධයෙන් වැඩ කිරීම සඳහා පිරිනමා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 80කට අධික ය.

ඒ අනුව ඩිකැප්රියෝ විසින් මේ සිදුකරන්නට යන්නේ එම පදනම විසින් වරකදී සිදුකරන විශාලතම මූල්‍ය සත්කාරයයි. මෙම මුදල් සම්භාරය, පරිසරය සුරැකීම සඳහා කැප වී ක්‍රියා කරන සංවිධාන 100කට අධික සංඛ්‍යාවක් වෙත ලබාදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය ඩිකැප්රියෝ විසින් හෙළිදරව් කළේ යේල් සරසවියේ පැවති පාරිසරික වෙනස්කම් පිළිබඳ දේශනයක් පවත්වමිනි.

 “ඇමරිකාවේ සහ විදෙස් රටවල සංවිධාන 100කට අධික සංඛ්‍යාවකට ආධාර කිරීමට අපි සාඩම්බර ලෙස සූදානම්.” යැයි සුපිරි ටයිටැනික් නළුවා එහිදී කියා සිටියේය. ඇමරිකාව, සෝමාලියාව, කෙන්යාව සහ ඇමසන් යන ප්‍රදේශවල පරිසර සංරක්ෂණ ක්‍රියාකාරකම් සඳහා එම මුදල් ලබාදීමට නියමිත ය.

 “මෙම මුදල්, අනාගත පරම්පරාව සඳහා අපේ සාගර, වනාන්තර සහ වඳ වී යන විශේෂ සුරැකීමටත්, පාරිසරික වෙනස්කම් හේතුවෙන් ඇතිවන බලපෑම් සමග සටන් කිරීමටත් යෙදවීමට නියමිතයි..” යනුවෙන් ද එහිදී ඔහු කියා සිටියේය.

 “අපේ අභියෝගය වන්නේ අපේ ජීවිත බලගැන්වීමට අලුත් ක්‍රම සෙවීම, මිලියන ගණන් මිනිසුන්ට රැකියා සැපයීම සහ සෑම අයෙක්ම සුපිරිසිදු වාතය සහ පානීය ජලය පිළිබඳ හැඟීමක් ඇතිව වැඩ කරන අය බවට පත්කිරීමයි.” යනුවෙන් ද එහිදී ඔහු කියා සිටියේය.

ඉන්පසු දේශපාලන න්‍යායපත්‍රයක් සිය කතාව තුළට ඇතුළත් කරමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරියේදී එළඹෙන මධ්‍යවාර මැතිවරණයේදී දේශගුණික වෙනස්කම් සැබෑ ගැටලුවක් බව විශ්වාස කරන අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන ලෙසයි.

 “දේශපාලකයන් කාලගුණ විද්‍යාව පිළිගන්නා අය විය යුතු බව අප අවධාරණය කළ යුතුයි. ඒ වගේම ප්‍රමාද වී වැඩිවන්නට ප්‍රථම ඔවුන් ඒ වෙනුවෙන් දැඩි ලෙස කැප වී වැඩ කරන අය විය යුතුයි..” යනුවෙන් ද ඔහු පැවසුවේය.

 “මිහිමත හැම රටකම සිටින සියලු දේශපාලකයන් මේ බව දැන ගත යුතුයි. එනම්, අපේ ශක්ති අවශ්‍යතාවයෙන් 100%ක්ම පිරිසිදු, පුනර්ජනනීය, සහ දැනට භාවිතයේ තිබෙන අඩු වියදම් මූලාශ්‍රයන්ගෙන් ලබාගන්නට තරම් අපට තාක්ෂණය තිබෙන බව..” යැයි ද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සිදුකළ සාකච්ඡාවක් පිළිබඳව ද ඩි කැප්රියෝ මෙහිදී සිය අදහස් පළ කළේය. එම හමුවේදී ඩිකැප්රියෝ විසින් ට්‍රම්ප් හට දේශගුණික වෙනස්කම් සමග සටන් කිරීම සඳහා අවශ්‍ය සැලසුමක් හඳුන්වා දුන් බවට විශ්වාස කෙරේ. නමුත් පැරිස් දේශගුණික සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වීමත් සමග ට්‍රම්ප් විසින් කැප්රියෝගේ අරමුණු නොසලකා හරින්නට ඇත.

“මම තවමත් විශ්වාස කරනවා, ලෝකයට මේ සම්බන්ධයෙන් ආදර්ශයක් ලබාදෙන්නට ඇමරිකාවට පුළුවන් කියා... ප්‍රමාද වැඩිවන්නට පෙර..” යැයි එහිදී ඔහු කියා සිටියේය.
පොසිල ඉන්ධන පුනර්ජනනීය ප්‍රභවයක් බවට පත්කිරීමේ වැදගත්කම ඩිකැප්රියෝ සිය කථාවේදී අවධාරණය කළේය. “දේශපාලන නායකත්වයේ ඌනතාවය සමග පෙර නොවූ විරූ පරිදි තාප තරංග සහ කුණාටු සමගින් අප දැන් විශ්වාස කළ යුතුව තිබෙන්නේ අපට හැකි පමණ ක්‍රියා කළ යුතුව තිබෙන බවයි. නැතිනම් අප ප්‍රමාද වැඩි වේවි...” යැයි පරිසරයට සැබෑ ලෙසම ආදරය කරන මේ සැබෑ මිනිසා එහිදී අවධාරණයෙන් කියා සිටියේය.

පරිවර්තනය: අමාලි ජයවීර  

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය edito[email protected] වෙත යොමු කරන්න

Top