1150 x 80 px

 

උතුරු කොරියානු මිසයිලයක් උතුරු කොරියාවටම කඩා වැටෙයි

උතුරු කොරියාව විසින් අත්හදා බැලූ අන්තර්මාධ්‍ය (IRBM) වර්ගයේ බැසල්ටික් මිසයිලයක් වැරදීමකින් උතුරු කොරියානු නගරයකටම කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

මිසයිලය පතිත වී ඇත්තේ ජනයා ලක්ෂ 2 ක් පමණ ජීවත් වන තොක්චොන් නම් වූ නගරයට ය.

මෙම අනතුර හේතුවෙන් කෘෂිකාර්මික සහ කාර්මික කම්හල් පිහිටා තිබූ ගොඩනැගිලි සංකීර්ණයක් මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බව ගූගල් අර්ත් සිතියම් සහ සැටලයිට් වාර්තා පෙන්වා දෙයි. ඇමරිකානු බුද්ධි අංශ වාර්තා ද මේ බව සනාථ කරයි. තොක්චොන් නගරය පිහිටා තිබෙන්නේ පයොන්ගියැන්ග් අගනුවරට සැතපුම් 90 ක් පමණ ඈතිනි.

හ්වැන්ග් සොන්ග් වර්ගයේ මෙම අන්තර්මාධ්‍ය බැලස්ටික් මිසයිලය සැතපුම් 43 ක් පමණ ඉහළ අහසේදී අනපේක්ෂිතව කඩා වැටී ඇති අතර එය දියත් කිරීමෙන් විනාඩි ගණනක් ඇතුළත මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වෙයි.

සාමාන්‍යෙයන් මෙවැනි පුපුරණ දියර පිරවූ මිසයිලක් කඩා වැටීම හේතුවෙන් විශාල විනාශයක් සිදුවීම වැළැක්විය නොහැක.

නමුත් අනතුරරෙන් සිදුවූ ජීවිත හානි ගණනය කිරීමට හැකියාවක් නැත්තේ, හර්මිට් කිංඩම් හෙවත් ‘තාපස රාජධානිය“ යනුවෙන් අතීතයේ හැඳින්වූ උතුරු කොරියාවේ පවතින රහස්‍ය සහ සංවෘත ස්වරූපය නිසා ය. අන්තර්ජාතික ජන මාධ්‍ය සඳහා උතුරු කොරියාව වෙත ප්‍රවේශයක් නැත.

උතුරු කොරියාව විසින් අත්හදා බැලූ තවත් බැලස්ටික් මිසයිලයක් ද ජපානයට නුදුරෙන් කඩා වැටී ඇති බව මෙයට පෙර වාර්තා විය. උතුරු කොරියාව මේ වන විට නව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියි. ඔවුන් අසල්වැසි ජපානයට ඉහළින් ද මිසයිලය විහිදනෙ සේ මෙවැනි අත්හදා බැලීම් සිදුකරන්නේ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ය. මේ නිසා කලාපය මෙන්ම ඇමරිකාව ද නිතර පසුවන්නේ නොසන්සුන් සිතිනි.

ජපන් අග්‍රාමාත්‍ය ෂින්සො ඒබේ පවසා ඇත්තේ උතුරු කොරියාවේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් සිය රට, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මුහුණ දෙන වැඩිම අනාරක්ෂිත තත්වයට මේ වන විට මුහුණ පා ඇති බවයි. උතුරු කොරියාවේ ‘පිළිගත නොහැකි කුපිත කිරීම්“ හේතුවෙන් තම රට තීරණාත්මක අර්බුදයකට මුහුණ දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනී නිකී හාලේ පවසන්නේ උතුරු කොරියාව නුදුරේදීම තවත් අන්තර් මහද්වීපික මිසයිල අත්හදා බැලීමක් සඳහා සූදානම් වන බවයි. එය මේ සතියේ හෝ ලබන සතියේ සිදුවිය හැකි බව ද පවසයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නව වසරේ සිදුකළ කතාවේදී කියා තිබුණේ ‘‘මගෙ කාමරේ මගෙ මේසෙ උඩ හැම තිස්සෙම න්‍යෂ්ටික බොත්තම තියෙනවා..“ යනුවෙනි.

මෙයට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුණේ ‘‘මා ළඟත් න්‍යෂ්ටික බොත්තමක් තියෙනවා. ඒක ඊට වඩා ලොකුයි. ඒ වගේම ඒක වැඩ!“ යනුවෙනි.


- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top