1150 x 80 px

 

මීළඟ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයෙන්ද?

2018 අප්‍රේල් මාසය වන විට ඊශ්‍රායලයේ රැඳී සිටින දස දහස් ගණනක් වූ අප්‍රිකානු සරණාගතයන් බලහත්කාරයෙන් ආපසු යැවීමට ඊශ්‍රායලය සැලසුමක් සකස් කරමින් සිටියි.

‘‘අපි කතා කරන්නෙ 60,000 ක් වූ අප්‍රිකානු සරණාගතයන් ගැන. අපි මේ වන විට 20,000 ක් ආපසු යවා තිබෙනවා. දැන් අපේ මෙහෙයුම ඉතිරි පිරිසත් ඉවත් කිරීමයි..“ යනුවෙන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු ප්‍රකාශ කළේය. එය වහාම ක්‍රියාත්මක කිරීමට ද ඔහු තීරණය කර ඇත.

ඊශ්‍රායලය මෙයට අදාළ යෝජනාව මුලින්ම සෙනෙට් මණ්ඩලයෙන් සම්මත කර ගත්තේ පසුගිය නොවැම්බරයේ දී ය.

අප්‍රිකානුවන් 38,000 ක් දෙනා මේ වන විට බලපත්‍ර රහිතව රට ට ඇතුල් වී සිටින බව ඊශ්‍රායලය පවසයි. ඔවුන් වැඩි වශයෙන්ම එරිත්‍රියානුවන් සහ සුඩාන ජාතිකයන් ය. නැවත සිය රට බලා යාමට ඔවුන්ට අප්‍රේල් මාසය දක්වා කල් ලැබෙයි.

එසේ ආපසු යාම දිරිමත් කිරීම සඳහා මේ සෑම සරණාගතයෙක් වෙතම නොමිලේ ගුවන් ටිකට් පතක් ද සැපයේ. තවද ඩොලර් 3500 ක දිරි දීමනාවක් ද සැපයෙන්නේ ඔවුන් සිය රට බලා යාම දිරිමත් කිරීම පිණිස ය.

අනතුරුව අප්‍රේල් මාසය වන විටත් යම්කිසි සරණාගතයෙක් දිගින් දිගටම ඊශ්‍රායලය තුළ රැඳී සිටින්නේ නම් ඔවුන් ව අත්අඩංගුවට ගැනෙනු ඇත. ළමුන්, වියපත් වූවන් සහ මිනිස් ජාවාරමේ වින්දිතයන් බවට පත්වූ අය පමණක් මෙම ඉරණමෙන් තාවකාලිකව ගැළවෙනු ඇත.

ලෝකයේ රටවල් කිහිපයක් මේ වන විට බලපත්‍ර හෝ නීතිමය ලියකියවිලි රහිතව රට තුළට ඇතුල් වන නීතිවිරෝධී සංක්‍රමණිකයන් රටෙන් ඉවත් කිරීම සදහා ඇතැම් අවස්ථාවලදී මුදල් ගෙවා තිබේ. එම රටවල් අතරට නෝර්වේ, ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්වීඩනය, ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය ඇතුළත් ය. මෙහිදී සරණාගතයන් තමන්ගේ මව් රටවලට ආපසු යැවීම සිදුවිය.

මෙම සංක්‍රමණිකයන්ගෙන් වැඩි පිරිස යුරෝපා රටකට පළා යාමේ සිහිනය වැරදුණු අය ය. එනම් එම ගමනේදී මුහුදේ අනතුරට පත්වී බේරාගත් අය හෝ ලිබියාවේදී අත්අඩංගුවට ගත් අය ය. ලිබියාවේදී හෝ සුඩානයේදී දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක්වීමෙන් අනතුරුව දිවි බේරාගැනීමට පළා ආ අය ද මේ අතර වෙති. ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරණාගතයන් වුවත්, ඊශ්‍රායලය ඔවුන්ට කිසිම අවස්ථාවක නීතිමය අර්ථයෙන් සරණාගත තත්වය ප්‍රදානය කර නැත.

නමුත් මෙම සරණාගතයන් පිළිගැනීම සඳහා තමන් රුවන්ඩාව සහ උගන්ඩාව සමග ගිවිසුම් අත්සන් කර ඇති බව ද මේ අතර ඊශ්‍රායලය ප්‍රකාශ කරයි. නමුත් උගන්ඩාව පවසන්නේ එවැනි ගිවිසුමකට තමන් අත්සන් නොකළ බව ය.
මේ අනුව මෙහිදී මතුවන බරපතළම ගැටළුව වන්නේ ඊශ්‍රායලයේ සිටින සියලුම සරණාගතයන් මෙම රටවල් දෙකට පැටවීමට ඊශ්‍රායල් අගමැතිවරයාට තිබෙන අයිතිය කුමක්ද යන්නයි. ටෙල් අවීව් අගනුවර රැඳී සිටින එක් අප්‍රිකානු සරණාගතයෙක් අල් ජසීරා පුවත්සේවය සමග මෙසේ පවසයි.

‘‘මම ආවෙ රුවන්ඩාවෙනුත් නෙවෙයි, උගන්ඩාවෙනුත් නෙවෙයි. අගමැති කොහොමද එයා තෝරගත් රටවල් දෙකකට අපිව යවන්නෙ? කිසිම ලියකිවිල්ලක් නැතිව අවුරුදු 10 ක් දුක් වින්දට පස්සෙ...? මේක හරියට වහලුන්ව විකුණා දමනවා වගෙයි..‘

අතීතයේ ඇමරිකාව, අප්‍රිකාවෙන් ගෙන ආ වහලුන් විකුණා දැමුවේ තමන් කැමති ස්වාමියෙකුට ය. අද ඇමරිකාවේ කළු ඇමරිකානුවන් වශයෙන් ජීවත් වන්නේ එම ජනතාවයි. ඊශ්‍රායලය කවදත් ඇමරිකාවේ මිතුරා ය. විශේෂයෙන්ම වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පලස්තීන අර්බුදය තුට්ටුවකට මායිම් නොකර ඊශ්‍රායලය වෙනුවෙන් සාහසික ලෙස පෙනී සිටින අතර, ඊශ්‍රායලයේ අගනුවර ටෙල් අවීව් හි සිට ජෙරුසලම වෙත ගෙන යා යුතු යැයි කියමින් ඓතිහාසික අර්බුදයක් නිර්මාණය කළේ ද ඔහු ය.

මේ සරණාගත ගැටළුව සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්ථාවරය ලොවට පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයෙන් තවත් ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනෙක් බිහිවෙමින් සිටිනා බවද?

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top