1150 x 80 px

 

ඉරාන තෙල් නැවක් හැප්පී ගිනි ගනියි. 32 ක් අතුරුදහන්.

සියල්ලන්ම මියගොස්දැයි සැකයක්

ඈත චීන මුහුදේදී තෙල් ප්‍රවාහනය කරමින් තිබූ ඉරාන තෙල් නැවක් අනතුරට පත්වීමෙන් එහි සිටි කාර්ය මණ්ඩලයේ 32 දෙනාම අතුරුදන් ව ඇත. මේ වන විට චීනය සහ දකුණු කොරියාව ඔවුන් ව සොයා සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.

අතුරුදහන් ව සිටිනවුන්ගෙන් අතරින් 30 දෙනෙක් ඉරාන ජාතිකයන් වන අතර ඉතිරි දෙදෙනා බංග්ලාදේශ ජාතිකයන් ය. ඉරාන තෙල් නැව සමග ගැටුණු කාගෝ නැව හොංකොං රජයට අයත් එකකි.

අනතුර සිදුවන අවස්ථාවේ ඉරාන නැව විසින් සංඝනීභූත වූ තෙල් ටොන් 136,000 ක් ප්‍රවාහනය කරමින් සිටියේය.

අනතුරත් සමග ජල තලය මත තෙල් ටොන් ගණනක් පතිත වූ අතර මේ නිසා සාගර ජලය මතුපිටද ගිනි ගෙන දැල්වෙමින් තිබෙන අයුරු දක්නට ලැබේ. මුළු නෞකාවම ගින්නෙන් වෙළාගෙන තිබෙන අතර, දැඩි කළු දුමාරයක් ද හාත්පස පැතිර පවතියි.

මේ තත්වය අනුව ඉරාන නෞකාවේ සිටිවුන්ගෙන් එක් අයෙක් හෝ දිවි බේරාගත්තේදැයි පවතින්නේ සැකයකි.

මේ අතර හොංකොං නෞකාවට ද ගැටුමෙන් යම් හානියක් සිදු වී ඇතත් එහි සිටි චීන ජාතික නැවියන්ගෙන් කිසිවෙකුට හෝ හානියක් සිදුව නැත. ඔවුන් සියලුම දෙනා ආරක්ෂිතව පසුවන බව චීන රජය සනාථ කරයි.

පැනමා ධජයක් සහිත, මීටර 274 ක් දිග ‘සාන්චි“ නමැති මෙම ඉරාන ‍නෞකාව, ග්ලෝරි ෂිපින් නමැති නෞකා සමාගමට අයත් එකකි. එය සිය තෙල් තොගය ද සමග දකුණු කොරියාව බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්වුණේ ෂැංහයි නුවරට නාවික සැතපුම් 160 ක් දුරිනි.

චීනය නැව් අටක් ද දකුණු කොරියාව ගුවන් යානාවක් ද යොදවා අති දැවැන්ත සෝදිසි මෙහෙයුමක් මේ වන විට දියත් කර ඇත.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top