1150 x 80 px

 

එල් සැල්වදෝර සංක්‍රමණිකයන් 250,000 ක් ඇමරිකාවෙන් එළවා දමන තීරණයක්

එල් සැල්වදෝරයේ සිට ඇමරිකා එක්සත්ජනපදයට සංක්‍රමණය වූ 250000 දෙනෙකුගේ ඉරණම විසඳෙන්නට ඇත්තේ තව සති දෙකක කාලයකි.

ඔවුන්ගේ ජීවිතවල සාහසික තීරකයා බවට පත්ව සිටින්නේ සංක්‍රමණික අයිතීන් පිළිබඳ කිසිදු තැකීමක් නැති, අනුකම්පා විරහිත ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඇමරිකාව සිය වාස භූමිය කර ගත් මෙම එල් සැල්වදෝරයේ වැසියන් ඇමරිකාව තුළ රැදී සිටියේ නීතිවිරෝධී සංක්‍රමණියන් ලෙස නොවේ. මේ අර්බුදයේ තිබෙන වැදගත්ම ලක්ෂණය මෙයයි. ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ට තාවකාලික නිවහනක් පමණක් විය යුතු බව ට්‍රම්ප් පරිපාලනයේ මතය වී තිබේ.

ට්‍රම්ප් පවසන්නේ ඔවුන් සති දෙකක් ඇතුළත සිය රට බලා යා යුතු බවයි. එසේ නොයන්නේ නම් ඔවුන් පිටුවහල් කිරීමට තමන් කටයුතු කරන බවයි.

මේ වන විටද ඇමරිකාවට සංක්‍රමණය වී සිටි නිකරගුවා ජාතිකයන්ට, හයිටි සහ සුඩාන ජාතිකයන් ද රටින් පිට විය යුතු බව දැන්ම තියා තීරණය වී හමාරය .

2001 වසරේදි එල්වසැල්වදෝර වැසියන්ට මුහු‍ණ පාන්නට වූ විනාශකාරී භූමිකම්පාව ඔවුන්ගේ ජීවිත දස දහස් ගණනක් අහිමි කළේය. ඔවුන්ගේ අසල්වැසියන් පස් කඳුවලට යට වී ලෝකයට සමුදුන්හ. මිලියන 2කට ආසන්න වැසියන්ට සිය වාසස්‍‍ථාන අහිමි විය. ඒ සියල්ලෙන් ඉක්බිති ඔවුන්ගෙන් සමහරෙක් පි‍ළිසරණක් පතා ඇමරිකාවට සංක්‍රම‍ණය වීමයි. ඒ දශක දෙකකට පෙරය. මේ අනුව ඇමරිකාවෙන් ‍ඔවුන්ට විසඳුමක් ලැබෙන්නට තිබුණේ දශක දෙකකට පෙරදීය. මේ වන විට ඔවුන් ඇමරිකාවේ තරමක් දුරට හෝ ස්ථාවර ජීවිත ගත කරනවුන් ය. තවද ඇමරිකාවේ ජාතික ආර්ථිකය නගා සිටුවීම පිළිබඳ සිය ශ්‍රම ශක්තිය කැප කරනවුන් ය. නමුත් ට්‍රම්ප් පාලනයට ඒ කිසිවක් නොපෙනේ. ඔවුන් විදේශිකයන් දෙස බලන්නේ වෛරී ඇසිනි.

ට්‍රම්ප්ගේ මෙම තීරණය ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ සමයේදී ඔහු පළ කළ විදේශිකයන් කෙරෙහි දක්වන භීතිකාවේ ප්‍රකාශනයක් බව මේ අතර විචාරකයෝ පෙන්වා දෙති.

2016 වන විට ඇමරිකාවේ ජීවත් වන එල් සැල්වදෝර සංක්‍රමණිකයන් ගණන 263283 ක් ලෙස ග‍ණන් බලා තිබුණි. තමන්ව පුරවැසියන් බව පිළිගන්නවාදැයි ඇමරිකාවට තවම අදහසක් නැතත් ඔවුහු අදටද ඇමරිකානු රජයට බදු ගෙවති. ඇමරිකානු ආර්ථිකය වෙත සිය දායකත්වය දක්වන අතරවාරයේම නව පරම්පරාවක් බිහිකරමින් සිටිති.

නමුත් නොබෝදා හිටි හැටියේම ඔවුන්ට ආපසු හැරෙන්නැයි ට්‍රම්ප් රජය විසින් අනතුරු ඇඟවීය. ඔවුන් නැවත ගම් බිම් බලායැවිය යුතුයි කියන ට්‍රම්ප් පාක්ෂිකයන් එල්සැල්වදොරය දැන් ඔවුන්ට සුරක්ෂිත වාසස්තානයක් යැයි කියූවද වසර ගණනාවක් තිස්සේ ඇමරිකාවේ සිය ජීවිත ගොඩ නගා ගත් ඔවුන් ට එල්සැල්වදෝරය දැනෙුන ඇත්තේ මව් රට ලෙස නොවේ. මන්ද ඔවුන් සියලු දෙනාම පාහේ මව්රට වශයෙන් දැන් සලකන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. දශක දෙකක් යනු පරම්පරාවක් බිහි කරන්නට සෑහෙන කාල පරිච්ඡේදයකි. ඔවුන්ගේ දරුවන්, එනම් අලුත් පරම්පරාවේ මව්රට ඇමරිකාව මිස එල් සැල්වදෝරය නොවේ.

තවද එල් සැල්වදොරය යනු දුප්පත්කම මෙන්ම ප්‍රචණ්ඩත්වය වැඩිවෙමින් පවතින බිමකි. ලොව වැඩිම මිනිමැරුම් අනුපාතිකය සහිත රට වන්නේද එල් සැල්වදෝරයයි. එවන් දේශයකට යළි පියවර තැබූ විට ඔවුන් ව පිළිගනු ඇත්තේ ඇමරිකාවෙන් එන ධනපතීන් ලෙස ය. එල් සැල්වදෝරයේ ආර්ථික පරිසරය පවා ඔවුන් ව පිළිගනු ඇත්තේ ගොදුරු ලෙස ය.

මේ ගැන ඇමරිකානු රජය ට විසඳුමක් දිය යුතුව තිබුණා නම් එසේ කළ යුතුව තිබුණේ, ඔවුන් ගේ අනාගතය ගැන විසදුම් දෙන්නට තිබුනේ අද ඊයේක නොව එකලමය. නමුත් ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරයා, නින්දෙන් නැගිටිටාක් මෙන් මේ ලබා දෙන්නට යන විසදුම එල් සැල්වදෝර් සංක්‍රමනිකයන් කබලෙන් ලිපට ඇද දැමීමක් වනු ඇත.

-        හංසනී සම්පත්

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top