1150 x 80 px

 

දකුණු අප්‍රිකානු නායක ජේකොබ් සූමා ඉල්ලා අස්වන ලකුණු

නෙල්සන් මැන්ඩෙලා සමග දශකයක් රොබින් දූපත් සිරකඳවුරේ ජීවත් වූ ජේකබ් සූමා, තවදුරටත් දකුණු අප්‍රිකාවට වීරයෙක් නොවේ.

දකුණු අප්‍රිකානු නායක ජේකබ් සූමා හට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට පක්ෂය තුළින්ම බලපෑම් එල්ල වෙමින් පවතියි. ඊයේ සවස ද ඔහු මේ සම්බන්ධයෙන් සිය පක්ෂය වන ANC හෙවත් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජ්‍යේෂ්ඨ නායකයන් සමග සාකච්ඡා පවත්වා ඇති අතර අද දිනයේ ද ඔවුන් හදිසි සාකච්ඡාවක් කැඳවීමට නියමිත ව තිබේ.

විචාරකයන් පවසන්නේ පක්ෂය තුළ මේ වන විට බලඅරගලයක් ඇති වී තිබෙන බවයි. එය නිරාකරණය කර නොගත හොත් ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර පක්ෂය දෙකඩ විය හැකි බවට සැකයක් ද තිබේ.

පසුගිය දෙසැම්බරයේ සිරිල් රැම්ෆෝසා වෙනුවට පක්ෂ නායකත්වයට පත් වූයේ ජේකබ් සූමා ය. පසුව රැම්ෆෝසා ප්‍රසිද්ධියේ ඔහුට චෝදනා කර සිටියේ ජේකබ් සූමා විසින් පක්ෂය තුළ කල්ලිවාදය ඇති කර තිබෙන බවයි. එසේම සූමා මේ වන විට දූෂණ චෝදනාවලට ද මුහුණ පා සිටියි.

මේ අනුව ඔහු විධිමත් ලෙස ඉල්ලා අස්නොවන්නේ නම්, ඉදිරියේදී පාර්ලිමේන්තුවට මෝසමක් ඉදිරිපත් කර ඔහු ව ඉවත් කිරීමට ද සැලසුමක් පවතින බව වාර්තා වේ.

අප්‍රිකානු නිදහස් සටනේදී නෙල්සන් මැන්ඩෙලා සමග රොබින් දූපතේ සිර කඳවුරේදී දශකයක කාලයක් සිර දඬුවම් විඳි ජේකබ් සූමා, රට තුළ සැලකුණේ වීරයෙක් ලෙස ය. නමුත් 2009 වසරේ පටන් දකුණු අප්‍රිකාවේ ජනාධිපති පදවිය හොබවන ඔහු මේ වන විට විශාල වශයෙන් දූෂණ චෝදනාවලට ලක් වී තිබේ. ප්‍රිටෝරියා හි ජනාධිපති මන්දිරයේ සුවපහසු ජීවිතයක් ගෙවමින් සිටින 76 හැවිරිදි සූමා, වසර 2019 වන තෙක්ම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ධුර කාලය අනුව සමත් වෙයි. නමුත් ආර්ථිකය දුර්වල වීම, දූෂණ චෝදනා යනාදිය නිසා මේ වන විට ඔහුගේ ජනප්‍රියත්වය ද රට තුළ පවතින්නේ පහළ අඩියක ය.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top