1150 x 80 px

 

මාලදිවයිනේ හදිසි තත්වයක් - අගවිනිසුරු අත්අඩංගුවේ

මාලදිවයිනේ අගවිනිසුරුවරයා ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අගවිනිසුරු අබ්දුල්ලා සයීඩ් සහ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වන අලි හමීඩ් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පැයකිහිපයක් ඇතුළත ය.

මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විමර්ශන තත්වය හෝ ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනා පිළිබඳ තවම කිසිදු ප්‍රකාශයක් සිදු කෙරී නැත.

මෙම නවතම අර්බුදය හටගැනුණේ මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ඇතුළු දේශපාලන විසම්මුතිවාදීන් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙයට දින කිහිපයකට පෙර ලබාදුන් අධිකරණ තීන්දුවට අවනත වීමට වත්මන් ජනපති අබ්දුල්ලා යමීන් ප්‍රතික්ෂේප කිරීමත් සමග ය. හිටපු ජනපති ... මෙයට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා සිය රට බලා යන බවයි. බ්‍රිතාන්‍යෙය් දේශපාලන රැකවරණය ලබා සිටින ඔහු, මේ අනුව එසේ කරනු ඇත්ද යන්න සැක සහිත වන්නේ මාලදිවයින බලා ගියහොත් නිසැක වශයෙන්ම ඔහු ද අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන හෙයිනි.

ජනපති අබ්දුල්ලා යමීන්, හිටපු ජනපතිවරයෙක් සහ ශ්‍රී ලංකාව සමග ද ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ මව්මුද් අබ්දුල් ගයුම්ගේ අර්ධ සහෝදරයෙක් වේ. ඊයේ රාත්‍රියේ ඔහු ද සිය නිවස තුළම නිවාස අඩස්සියට පත් කිරීමට පොලිසිය කටයුතු කළේය. පසුගිය වකවානුවේ අබ්දුල් ගයුම් මාලදිවයින විපක්ෂයට සහාය දක්වමින් සිටි බව ප්‍රචලිත ය.

හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් මේ වන විටත් මාලදිවයින තුළ දේශපාලන විරුද්ධවාදීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනෙන අතර, මහජන රැස්වීම් සියල්ල ද අවලංගු කර තිබේ.

මාලදිවයිනේ හටගෙන ඇති මෙම දේශපාලන අස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කණස්සල්ල පළ කර ඇත. මාලදිවයින හමුදාවට මේ වන විට නියෝග ලැබී ඇත්තේ ජනපති යමීන් ව ඉවත්කිරීමට හෝ දෝෂාභියෝගයක් ඔහුට එරෙහිව ගෙන ඒමට යම් අයෙක් උත්සාහ දරන්නේ නම් එයට එරෙහි වන ලෙසට ය.


- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top