1150 x 80 px

 

තායිවානයේ රික්ටර් ඒකක 6.4 ක භූමි කම්පාවක් - ගොඩනැගිල්ලක් අංශක 45 ක් ඇළවෙලා!

තායිවානයේ හුවාලින් නගරයට ඊයේ සවස ඇති වූ රික්ටර් ඒකක 6.4 ක භූ චලනයක් හේතුවෙන් හෝටලයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී තිබේ. එක් ගොඩනැගිල්ලක් අංශක 45 ක් ඇළවී තිබෙන ආකාරය ද මෙහිදී දැකගත හැකි විය.

මෙසේ ඇළ වී තිබුණේ යුන් සුයි නමැති මහල් ගොඩනැගිලි සංකීර්ණයකි. එය තට්ටු 12 කින් සමන්විත ය. ‘‘මම දැක්කා, පළවෙනි තට්ටුව ගිලා බහිනවා. ඒ එක්කම ගොඩනැගිල්ල ඇළ වුණා. ඊට පස්සෙ 4 වැනි තට්ටුව 1 වැනි තට්ටුව බවට පත්වුණා.‘‘ යැයි සිද්ධිය ඇසින් දුටු අයෙක් පැවසීය.

මාෂල් නමැති හෝටලයක්, සාප්පු සංකීර්ණ කිහිපයක් මෙන්ම නේවාසිකාගාරයක් ද මෙම ගොඩනැගිල්ලේ පිහිටා තිබිණි.

පුද්ගලයන් 143 දෙනෙක් පමණ එයින් බේරාගැනීමට සහන කණ්ඩායම්වලට හැකි විය.

මේ වන විට ජීවිත හානි 4 ක් සමග තුවාළ ලැබූවන් 200 ක් පමණ වාර්තා වේ.

නමුත් අතුරුදහන් වූ ප්‍රමාණය තවම ගණන් බලා නැත.

ජනතාව ලක්ෂයක් පමණ ජීවත් වන හුවාලින් නගරයේ පිහිටා ඇති හමුදා රෝහලක් ද භූ චලනය හේතුවෙන් දෙදරීමට ලක්වුව ද විශාල විපතක් එයින් සිදුවී නොමැත.

මෙතරම් විශාල දේපළ හානියක් සිදුවීමට හේතුව ලෙස ඇමරිකානු භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා තිබෙන්නේ පොළොව මතුපිටට කිලෝමීටරයක් පමණ ගැඹුරින්, එනම් ඉතාම නුදුරින් වීමයි.

- අමාලි ජයවීර

අද දිනයේ ඔබ දැනගතම යුතු තවත් ලෝක ප්‍රවණතා කෙටියෙන්. පිවිසෙන්න, 
BREAKING NEWS - DAILY BRIEF- 07/02/2018 අවුට් බවුන්ඩ් ටුඩේ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top