1150 x 80 px

 

දූෂණ චෝදනාවලට වරදකාරිය වූ බංග්ලාදේශයේ හිටපු නායිකා බෙගම් ඛලීඩා සියා ට වසර 5 ක සිර දඬුවම්! බෙගම්ගේ පුතාට අවුරුදු 10 ක්!!

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී මෙන්ම වත්මන් විපක්ෂ නායිකාව ද වන බෙගම් ඛලීඩා සියා අද පස් අවුරුදු සිර දඬුවමකට ලක්වූවාය. ඒ දූෂණ චෝදනාවකට වරදකරු වීම සම්බන්ධයෙනි.

ධකා අගනුවර අධිකරණයේදී මෙම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට සමගාමීව රට පුරා අද උදෑසන වන විට ඇතිව තිබුණේ කලබලකාරී තත්වයකි.

නඩු තීන්දුවත් සමග අධිකරණය අවට භූමිය එකම ගාලගෝට්ටියක් බවට හැරුණු අතර, ඛලීඩාගේ ආධාරකරුවන් දහස් ගණනක් දෙනා කලහකාරී ලෙස හැසිරෙන්නට උත්සාහ කළහ.

පිරිස විසුරුවා හැරිය හැකි වූයේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම මගිනි.

 

ඛලීඩා සියා හිටපු අගමැතිනිය මෙසේ වරදකරු බවට පත්වුණේ ළමා පුණ්‍ය අරමුදලක් වෙත ප්‍රදානය කර තිබූ අන්තර්ජාතික අරමුදල් අවභාවිතය කිරීම සම්බන්ධයෙනි. අගමැතිනිය වශයෙන් සිටි කාලයේ ඇමරිකානු ඩොලර් 252,000 ක් හෙවත් පවුම් 182,000 ක් අයථා අන්දමින් පරිහරණය කළ බවට ඇයට චෝදනා එල්ල කර තිබිණි. 2014 වසරේ මුලින්ම මෙම චෝදනා එල්ල වූ විට ඇයට 2014 වසරේදී ද මහමැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි විය. මේ තත්වය නිසා රට තුළ එම වසරේ ද දේශපාලනික නොසන්සුන්තාවය ඇති විය.

මෙම නඩුතීන්දුවත් සමග මේ වසරේ එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් වීමට ද ඇය වරම් නොලබයි. කෙසේ නමුත් සියා පවසන්නේ මෙම තීන්දුව සම්පූර්ණයෙන්ම දේශපාලනික හේතුවලින් උසිගැන්වූවක් බවයි. නමුත් නඩු තීන්දුව ලබාදෙමින් අධිකරණය ප්‍රකාශ කළේ සියාගේ චෝදනා මෙන්ම ඇගේ සමාජයීය සහ දේශපාලන තත්වය ද සලකා බලමින් දඬුවම් නියම කළ බව ය.

72 හැවිරිදි බෙගම් ඛලීඩා සියා, බංග්ලාදේශයේ වත්මන් අගමැතිනිය වන ෂේක් හසීනාගේ ප්‍රබලතම විරුද්ධවාදිනිය ලෙස සැලකෙයි.

සුදු සාරියකින් සැරසී උසාවියට පැමිණ සිටි සියා, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් සුළු වේලාවකට පසු බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබීය. එසේ පිටත්ව යාමට පෙර ඇය සිය ආධාරකරුවන් අමතා ප්‍රකාශ කළේ කලබල ඇතිකර නොගන්නා ලෙස ය. තමන් නැවත ආපසු එන බව ද ඇය කියා තිබේ.

සියාට පමණක් නොව ඇගේ පුත්‍රයා වන තාරික් රහ්මන් ද අධිකරණය මෙහිදී දඬුවම් නියම කළේය. ලන්ඩනයේ සිටින ඔහු, අධිකරණය මගහැර සිටීම යන කාරණය සැලකිල්ලට ගනිමින් ඔහුට වසර 5 ක සිර දඬුවමක් නියම කරනු ලැබීය. ඇගේ ආධාරකරුවන් සිව් දෙනෙකුට ද මේ අන්දමින්ම වසර 10 ක සිර දඬුවම් කාල හිමි වී තිබේ.

අද උදෑසන සියා ගේ මෝටර් රථය අධිකරණය වෙත පැමිණෙන අවස්ථාවේදී ද විශාල කලබලයක් ඇති විය. ආරක්ෂක අංශ සහ විපක්ෂ ආධාරකරුවන් අතර ඇති වූ මෙම ගැටුම්වලින් පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් ද තුවාල ලැබූහ.

බංග්ලාදේශය පුරා හිටපු නායිකාව ට තවමත් විශාල ජන බලයක් තිබේ. මේ නිසා අද දිනයේ බංග්ලාදේශයේ ප්‍රධාන නගර කිහිපයකම ආරක්ෂාව තර කර තිබූ අතර, ඇතැම් පාසල් ද වසා දමා තිබිණි. ඇගේ බංග්ලාදේශ ජාතික පක්ෂය හෙවත් BNP ආධාරකරුවන්, නඩු තීන්දුව ලබාදෙන අවස්ථාවේ අධිකරණ ශාලාවට කඩා වැදීමට ද උත්සාහ කර තිබිණි.

- අමාලි ජයවීර

බෙගම් ඛලීඩා සියා අද...

බෙගම් ඛලීඩා සියා එදා....

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top