1150 x 80 px

ට්‍රම්ප් පදවිප්‍රාප්තියෙන්ම හිට්ලර්ට අඳියි. දැන් ඇමරිකාවේ නම USA නොව ISA ය!!

ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසින් ඩොනල්ඞ් ජේ. ට්‍රම්ප් පදවිප්‍රාප්ත වුණේය. ඔහු දිවුරුම් දෙන තෙක් ඔහුගේ විලාසිතාකාර බිරින්දෑ පෙර පුහුණු වූ මද සිනාවක් මවාගෙන බයිබලය දෝතින් අල්ලාගෙන සිටියේය. ඔහුගේ කතාව විනාඩි දහසයකට සීමා වූ අතර, ඔහු කතා කරන්නට ගත් වහාම මුස්පේන්තු වැස්සක් ඇද හැළෙන්නට පටන් ගත්තේය. ඒ සෙල්සියස් අංශක හතළිහකට ආසන්න, අසීරු උණුසුමක් ද සමගිනි. ජනප්‍රියතාවය සෑහෙන පමණකින් අඩු වී තිබූ හිටපු ජනපති ඔබාමාගේ දෙවන වර දිවුරුම් දීම (2009) නරඹන්නට ලක්ෂ 18 ක් දෙනා රැස්කමින් සිටි අතර එයට සාපේක්ෂව ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තියට පැමිණ සිටියේ එයින් අර්ධයකටත් අඩු සංඛ්‍යාවකි. ඒ සිටි ලක්ෂ 9 අතර ද ලක්ෂයක් පමණ සිටියේ ඔහු ව පෙන්නන්නට බැරි, ඔහු විසින් විවිධ අවස්ථාවලදී හෑල්ලුවකට ලක්කළ සහේතුක ලෙස ඔහු සමග කෝපයට පත්වූ මිනිසුන් ය.


සිය පදවිප්‍රාප්ත කතාවේදී ට්‍රම්ප් කීවේ මොනවාද? මේ දවස ඇමරිකානුවන් විසින් රට ජාතිය පාලනය කිරීම තමන් අතට ගන්නා දිනය ලෙසට මතක තබාගන්න යනාදී සම්ප්‍රදායික කතා කීවේය. දාසය වැනි විනාඩිය ළංවත්ම ඓතිහාසික කතා ටික කියන්නට පටන් ගත්තේය. ඔහු කීවේ ඇමරිකන් කානේජ් එකක් හෙවත් ඇමරිකානු සංහාරයක් ගැන ය.!
''අපරාධ.. අපරාධ කල්ලි.... බොහෝ ජීවිත සොරකම් කර ගත් මත්ද්‍රව්‍ය, මේ ඇමරිකානු සංහාරය මේ දැන්, මෙතැනදීම නතර වෙනවා... මේ දවසේ ඉඳන් ඇමරිකාව තමයි එක... ඇමරිකාව විතරයි එක.. ඇමරිකාව විතරමයි එක...'' යැයි ඔහු කීවේය. ඒ වදන් තුළ තැවරී තිබුණේ හිට්ලරියානු සාරය බව නැණවත් දේශපාලන විචාරකයන්ට වටහාගන්නට අටුවා ටීකා අවශ්‍ය වූයේ නැත. ඔහු මේ කියන්නේ එදා නාසි ජර්මනියේ හිට්ලර්, ජර්මනිය තමයි එක, මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ ආර්ය ජාතිය වන අපි විතරයි, අනෙක් හැම එකාම සංහාරය කරනවා යනුවෙන් ජර්මානු චාන්සලර් වශයෙන් පාරම් බෑ වදන්ම වෙනත් ආවේශයකින් බවට සැකයක් ඇත්තේ නැත. MSNBC හි රේෂල් මැඩෝ දේශපාලන විශ්ලේෂිකාව එකහෙළාම කියා සිටියේ ඒ කතා කරන්නේ හිට්ලර්ගේම වේශයක් බව ය. එය දුෂ්ට, යුධකාමී සහ හිට්ලරියානු වර්ගයේ එකක් බව ක්‍රිස් මැතිව්ස් ද එක හෙළාම කියා සිටියේය. මේ ප්‍රවීන දේශපාලන විචාරකයා සහ ගත්කතුවරයා ට්‍රම්ප්ගේ කතාව ඇසූ සැණින්ම අසා තිබුණේ ''අනේ දෙවියනි, මේකා මේ මොනවද කියන්නෙ?'' යන ප්‍රශ්නයයි. ට්‍රම්ප්ගේ මේ සාහසික සහ ඇඟ කිළිපොළායන ප්‍රකාශය ඔහුගේ පදවිප්‍රාප්තියෙන් ස්වයං වින්දනයකට ලක්ව සිටින සුදු සුප්‍රිමසියට නම් දැනුණේ වත් නැති තරම් ය. කිසිදු සැකයක් නැතිවම, ඔවුන්ට දැනුණා නම් දැනෙන්නට ඇත්තේ''අපේ එකා නියම කතාවක් කිව්වා. ඔන්න වැඩ පටන් ගත්තා'' වැනි 'ආතල්සහගත අමන හැඟීමක්' මිස අන් දෙයක් නොවේ.
ට්‍රම්ප් භයානක ඔල්මොරොන්දම්කාරයෙකු බව මීට ඉහතදී අප විසින් කිහිප වතාවක්ම පවසා ඇත. ඉතින් මහතුනි, අදින් මෙසේ මේ රඟදැක්වෙන්නට පටන් ගත්තේ ඒ භයානක උමතු නාටකය මිස අන් දෙයක් නොවේ. දිවුරුම් දුන් සැණින් ට්‍රම්පා ඒ නරිනාටයක රඟන්නට පටන් ගත්තේය. මෙහි පහත තිබෙන ලින්ක් එක ඔස්සේ ඔබ මේ අවස්ථාව හෙවත් ට්‍රම්පා, සෙනෙට් සභාව වෙත අනුමැතිය සඳහා යැවිය යුතුව තිබෙන කැබිනට් මණ්ඩල නාමයෝජනා අත්සන් කරමින් සිදුකළ 'පෑන් හරඹය නමැති ලෝක විහිලුව' ඔබ නැරඹිය යුතුම ය.
මුලින්ම ඔහු සිය පුංචි මිනිබිරිය ට යමක් පවසමින් තමන් මොන්ටිසෝරි වැඩකට අර අදින බවට අපට පුංචි ඉඟියක් ලබාදෙයි. ඉන්පසු මෙසේ කියයි. ''මං හිතන්නෙ මම පෑන් ටිකක් බෙදල දුන්නොත් හොඳයි..'' ඉන්පසු ඔහු තමන් වටකරගෙන සිටිනා ඇමැත්තයන් දෙසබලා ''මට පේන්නෙ මේ ආණ්ඩුව ටිකක් ලෝබ වෙයි වගේ'' වැනි කිසි තේරුමක් නැති කතාවක් කියයි. පෙර රජ සමයේ ලංකාවේ මහින්ද මාමා මොන අමන කතාව කිව්වත් ඔහු වටා සිටි මෝඩ ඇමැත්තයෝ, මාර විහිලු කතාවක් කිව්වා සේ කිති කවාගෙන හෝ හිනාවුණු අන්දම අපගේ සිහියට නංවමින් ට්‍රම්පා වටා සිටින ඔහුගේ කල්ලිය මෙහිදී ආයාසයෙන් හිනාවෙනු ඇසේ. ඉන්පසු ඔහු නාමයෝජනා අත්සන් කළ පෑන් එකිනෙකාට බෙදා දෙයි. ''මේ පෑනෙ නමට කමැති නැතිනම් ඉතින් ප්‍රශ්නයක්'' වැනි මෙලෝ කමකට නැති විහිලුවල ඔහු එහිදී තවදුරටත් යෙදෙයි. ''තව පෑන් ටිකක් ගේනවද? මේක ෆන් වැඩක්' යනුවෙන් ද එක් අවස්ථාවදී ට්‍රම්ප්, පෝල් රයන්ගෙන් අසයි...! ''ඔයා ආස මේ පෑනටද..? හරි එහෙනම් ඔයා මේක ගන්න. අකමැතියි නම් පෑන මාරුකරගන්න..'' වැනි නිසරු කතා සමග ඇමරිකාවේ කැබිනට් නාමයෝජනා අත්සන් කිරීමේ සෝබන සන්නිය විනාඩි දොළහක් තිස්සේ මෙසේ දික්ගැස්සෙයි. මහතුනි, මදක් සිතා බලන්න. මෙසේ පෑන් බෙදමින් මේ 'ෆන් ගන්නේ' ඇමරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ හතලිස් පස්වැනි ජනාධිපතිවරයා ය..!! එහිදී ඔහු විදහා දක්වන්නේ තමන් කරන බරපතළ කාර්යය ගැන මෙලෝ සංසාරයක වගවිභාගයක් නැති, මෙලෝ සංසාරයක වගකීමක් නැති, අප මීට පෙර ද කියා තිබෙන අපරිණත සහ, අනෙකාගේ අවධානය දිනාගැනීම සඳහා විසුලු වැඩ කරන ගැටවරයෙකුගේ ස්වභාවයයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා වශයෙන් ලබාදුන් ප්‍රථම විධායක නියෝගය, මිලියන 20ක ඇමරිකානුවන්ට අතිශයින් ම අගනා සෞඛ්‍ය රක්ෂණයක් උරුමකරදුන් ඔබාමා කෙයා සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන කප්පාදු කිරීම සඳහා නිසි පියවර ගන්නා ලෙසට ය...!!එනම් ෆෙඩරල් ඒජන්සි විසින් බරාක් ඔබාමා විසින් පැනවූ සෞඛ්‍ය නීතිරීති නියාමනය කිරීමට මං සොයාගැනීමට නියමිත අතර, ඒ අනුව ඇමරිකානු කොංග්‍රසය විසින් ඉදිරියේදී ඔබාමාකෙයා මළගම් යැවීමට සැලසුම් සකස් කරනු ඇත. ඉතින් 'භයානක ජෝකර්' සිතූ පරිදිම වැඩ අල්ලා තිබෙන බවට තවත් අටුවා ටීකා ඉතින් කුමටද..?
ප්‍රජාතන්ත්‍රවාදයට සංවේදී මිනිසුන් ට්‍රම්ප්ගේ සිංහාසනාරූඩ වීමෙන් නොසන්සුන්තාවයට පත්වීම අරුමයක් නොවේ. ඔවුන් මෙය දරාගත නොහැකිව කොතරම් කලබගෑනියක් කළාදැයි කියන්නේ නම් පුද්ගලයන් දෙසිය දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් කලහකාරී හැසිරීම් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබිණි. ඉතිහාසයේ එදාමෙදාතුර ඇමරිකානු ජනාධිපතිවරයෙක් පදවිප්‍රාප්තවන විට මෙතරම් පුරවැසියන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැනුණු ප්‍රථම වතාව මෙයයි.
අද පටන් ඇමරිකා එක්සත් ජනපදය හෙවත් USA ලොවෙන් භයානක ලෙස හුදෙකලා වීම නිල වශයෙන් ආරම්භ වුණේය. නුදුරේදීම ඇමරිකානු වෙළඳපොළේ අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩවල මිල ඉහළ යනු ඇත. ඒ පීඩනය මත ෆෙඩරල් සංචිතයට සිය පොලී අනුපාතික ඉහළ දැමීමට සිදුවනු ඇත. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ඩොලරයේ මිල අහස උසට නැගීමයි. මෙවිට ඩොලර්වලින් ගෙවිය යුතු ණය කන්දරාවක් ගොඩගසාගෙන සිටින රටවල් එනම් බ්‍රසීලය, ඉන්දියාව වැනි නිර්ගමනය වෙමින් පවතින වෙළඳපොළ සහිත රටවල ආර්ථිකය බකල් වනු ඇත. එයින් අවසානයේ නැවතත් ආර්ථික බූමරංගය කැරකැවෙන්නේ ඇමරිකාව වෙතටම ය. එවිට ට්‍රම්ප් පරිපාලනය අමතර බදු අය කරමින් සහ බදු රහිත ක්‍රියාමාර්ගවලට වැටබඳිමින් වෙළඳ හිඟය වැඩි කර ගන්නට උත්සාහ කළොත් එවිට මෙකී ආර්ථික අස්ථාවරත්වය කුපිතවන තරමින්ම ඉහළ යනු ඇත.
පාරම්බා ඇති පරිද්දෙන්ම ට්‍රම්ප් මුලපටන්ම චීනය, මෙක්සිකෝව සහ ජර්මනිය වැනි රටවල් සමග ආර්ථික හතුරුකම පටන් ගත්තොත් ඔහු එයින් ගෝලීය ඇමරිකානු ආර්ථිකයට කරන්නේ ගොඩ ඒමක් ගැන සිතන්නට පවා අසීරු අති දැවැන්ත හානියකි. භූදේශපාලනය ගැන කිසිදු හැඟීමක් නොමැති වීම හේතුවෙන් ට්‍රම්ප් පදවියට පත්වීමට පෙරපටන්ම ගොන්කතා කියමින් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියට මහා හානියක් කළ අයෙකි. ඇමරිකාවේ දකුණුදිග ජනපදවලට කවදත් හිත හොඳ මිතුරෙක් වූ මෙක්සිකෝව ඔහු සමාන කරන්නේ වනචාරියෙකුට ය. සෙමෙන් හිරු නැගෙනවා සේ නියත ලෙස පෙරදිගින් හිස ඔසවන චීනය නමැති සුපිරි බලවේගය සමග ඇමරිකාව කාලාන්තරයක් තිස්සේ ප්‍රවේශමෙන් ගොඩනගා ගත් සියලු සබඳතා ඔහු එක රැයින් - වාචාලකතා මගින් දැනටමත් බිඳදමා අවසාන ය. ඔහු පරණ සතුරා වූ රුසියාවේ පුටින් ව කුමක් හෝ හේතුවක් නිසා මුල පටන්ම උත්කර්ෂයට නංවයි. පෙරස්ත්‍රොයිකා සමයේ ඇමරිකාව නිසා සෝවියට් සංගමය රෑ වැටුණු වළේ, ඇමරිකාව දැන් රුසියාව නිසා දවල් වැටෙන්නට යයි. ට්‍රම්පා කොතරම් දේශපාලනික වශයෙන් අසංවේදී අයෙක් ද යත් ඔහුට, තමන් නිසා ඇමරිකාවට අත්වෙන්නට යන දරුණු හුදෙකලාව දැනෙන්නේවත් නැත. මහත්වරුනි, දිගු නපුරු හීනය මේ පෙනෙන්නට පටන් ගත්තා පමණයි. ඇත්තෙන්ම ට්‍රම්ප් බාරගත් රටට දැන් ඇමරිකා එක්සත් ජනපදය හෙවත් USA කියා කියන්නට බැරි ය. එයට ගැළපෙන හොඳම නම ''ඇමරිකා එක්සත් ජනපදය (United States of America-USA) '' නොව ''හුදෙකලා එක්සත් ජනපදය (Isolated States of America-ISA)" යන්නයි!!!

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ත කතාවේ වැදගත් අවස්ථා මෙතැනින් බලන්න.

කැබිනට් මණ්ඩල නාමයෝජනා අත්සන් කරමින් ට්‍රම්ප් ජෝකර් කෙනෙක් මෙන් හැසිරෙන ආකාරය මෙතැනින් බලන්න.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top