Untitled 1

ට්‍රම්ප් 'රට කරන' හැටි-2  ''මැඩෝනා ව අප්පිරියයි'' ට්‍රම්ප් කියයි.

ඇමරිකානු ඉතිහාසයේ බිහිවූ භයානකම, උන්මත්තකම සහ ෆැසිස්ට්වාදීම නායකයා දැන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයට ප්‍රාදූර්භූත වී සිටියි. ඔහු විසින් ඇමරිකානු රාජ්‍ය තන්ත්‍රය සහ එතැනින් ඔබ්බට සකල ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයම ඉඳුල් කරන්නේ කෙසේද යන්න ගැන ලංකානිව්ස් වෙබ් අපි, විමසිල්ලෙන් සිටිමු. ඒ පිළිබඳ ලිපි පෙළක් ගෙන එන්නට අදහස් කළෙමු. මේ එහි දෙවැන්නයි.

මැඩෝනා යනු ඇමරිකාවේ සිටින ගීතා කුමාරසිංහ වේ සහ නොවේ!! ඇත්තම කියනවා නම් මැඩෝනා එමෙන් කිහිප ගුණයක් ශ්‍රේෂ්ඨ චරිතයකි. ඇය නිර්භීත ය. වයස 58 ක් වන නමුත් වියපත් වන්නේ සෙමෙනි. විටෙක කට හොඳනැත. විටෙක කට හොඳම නැත. විරුද්ධවාදීන්ට පෙන්නන්නට බැරිය. නමුත් අසමාන ප්‍රතිභාවකින් යුක්ත ය. නිතරම ඇය වටා විසල් ජන ආකර්ෂණයකි.

ඇගේම වචනවලින් කියනවා නම් මිචිගන් ප්‍රාන්තයේ 'ගඳගසන' පුරයක ඉපිද, ඈ වාසනාව සොයා සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර වෙත ආවා ය. ඒ අසූව දශකය යනු සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර පුරා ඒඞ්ස් සහ අපරාධ වසංගතයක් ලෙසින් පැතිර යමින් සිටි යුගයයි. අති සුන්දර සරාගී රූ සපුවකින් යුතු ඈ වෙඩි හුවමාරුවකට මැදිව සිටියදී සමූහ දූෂණයට ලක්වූවාය. සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර කෙළවරක් නැතිව මංකොල්ලකෑම් සිදුවිය. ඇය සිය නවාතැන් දොරට අගුලු දැමීම නතර කර දැමුවාය. තවත් පරිස්සම් කිරීමට දෙයක් ඈ වෙත තිබුණේ නැත.

පසුකලෙක එදාමෙදාතුර ලෝකයේ බිහිවූ විශිෂ්ටතම කාන්තා පොප් තරුව බවට පත්වූ විට, ගිනස් වාර්තා පොතට අනුව ලෝකයේ එදා මෙදාතුර ගී තැටි මිලියන 300ක් විකුණා, වැඩිම අලෙවියක් සහිත ගායිකාව ලෙසට ඉතිහාසගත වූ වි, ඇය පිළිබඳ හැඳින්වීමට යෙදිය හැකි කෙටිය යෙදුම 'පොප් රැජින' මිස එයට වඩා අඩු යමක් නොවූ විට ඇය මේ අතීතය ගැන නොබියව කතා කරන්නට පටන්ගත්තාය. ලැජ්ජාව පසෙකින් තබා කාන්තාවක් වශයෙන් ඈ විඳි හිරිහැර දුක් දෝමනස්ස, රංගනයේදී සහ ගායනයේදී අවස්ථා ලබාදෙන බව පවසමින් තමන්ට යහන්ගතවීමට සැලැස්වූ නිෂ්පාදකයන් ගැන නොබියව කතා කරන්නට පටන්ගත්තාය. අද වන විට මැඩෝනා ඇමරිකානු ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ අයිකනයකි.

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියෙන් පසු රට පුරා උද්ඝෝෂණ හටගන්නා විට මැඩෝනා වොෂින්ටනයේ පැවති එම රැළියකට සහභාගි වූවාය. ඇය මුල පටන්ම සහාය පළ කළේ හිලරි ක්ලින්ටන් ට බව කිසිවෙකුට රහසක් වූයේ නැත. ඇය සැබවින්ම සසල වී සිටියයා. ට්‍රම්ප් කාන්තාවන් කෙරෙහි දක්වන තෙවැනි පන්තියේ සැලකිල්ල සහ ළඳුන් භාණ්ඩ වශයෙන් දැකීමේ උමතුව ගැන මැඩෝනා මනා ලෙස අධ්‍යයනය කර සිටියා ය. ට්‍රම්ප් වැනි උමතුවෙක් රටේ මුල්පුටුවට පත්වීම තුළින් කාන්තාවක් වශයෙන් තමන්ට දැනෙන කෝපය සහ අනාරක්ෂිත බව ඒ රැළියේදී ඇය නොවළහා පැවසුවාය. මේ ඇගේ වදන් ය. “අවසානයේ යහපත ජය ගනීවි කියා හිතුවත් මේ මැතිවරණයේදි යහපත ජය ගත්තෙ නෑ.. ඔව්... මම ඉන්නෙ කෝපයට පත්වෙලා. ඔව්... මම හොඳටම කෝපයට පත්වෙලා. ඔව්.. මම හිතුවා ගිහිල්ලා ධවල මන්දිරය පුපුරුවලා හරිනවා කියලත්.. ඒත් ඒකෙන් කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ..”

ඉන්පසු ඇය මෙසේ ද කීවාය.

“අපට බලාපොරොත්තු නෂ්ට කරගෙන ජීවත් වෙන්න බෑ... කවියෙක් වන ඩබ්.ඒ. ඕඩන් දෙවන ලෝක යුද්ධය පවතින එක් සන්ධ්‍යාවක මෙහෙම කවියක් ලිව්වා.. එක්කෝ අපි එකිනෙකාට ආදරය කරමු. නැතිනම් මියයමු.. ඉතින් මම තෝරගන්නේ ආදරය කිරීමයි. ඔබ මා සමගද..?”

පසුව මැඩෝනා ඉන්ස්ටග්‍රෑම් හරහා ද සිය කතාව පිළිබඳ අදහස් පළ කර තිබුණා ය. ඒ මෙසේ ය. “මම ප්‍රචණ්ඩකාරී කෙනෙක් නෙවෙයි. මම ප්‍රචණ්ඩත්වය ප්‍රමෝට් කළා නෙවෙයි. මිනිසුන් මගේ කතාවේ කෑල්ලක් නෙවෙයි, සමස්තය අසාගෙන අවබෝධ කරගනීවි කියා මම හිතනවා”

ට්‍රම්ප්ට වැඩියෙන්ම ‘ඩෝං’ ගිහින් තිබුණේ ධවල මන්දිරය පුපුරුවන කතාවට ය. එහෙම නැතිව කතාවේ සමස්තයට හෝ කතාව අවසානයේ ඇය අදහස් කළ දෙයට නොවේ. නරකාදියෙන් ආ මිනිසාට පවා තවදුරටත් ප්‍රේම කරමින් ජාතිය වෙනුවෙන් ඔහු ව ඉවසා සිටිය යුතු බවට, බලපෑම්සහගත ගැහැනියක් වශයෙන් රටට දුන් පණිවුඩයට නොවේ. සාමාන්‍යයෙන් අවස්ථාවාදීහු සමස්තය අමතක කරති. විසල් පින්තූරයකින් පවා තමන්ට වැඩියෙන්ම 2පන්ච් වන2 පොඩි කෑල්ලක් අල්ලාගෙන එය තලු මරති. ට්‍රම්පා ද කළේ එයම ය. එන්බීසී රූපවාහිනියේ සැටඬේ නයිට් ලයිව් වැඩසටහන සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගේ අපහාසාත්මක මුවින් පිටවූ වදන් මේවා ය.

“මැඩෝනා හරි පිළිකුල්.. මට නං අප්පිරියයි.'' එය රටේ ජන නායකයෙක්, මුලු ලෝකයක් වසඟ කළ තමන්ගේ රටේ ජීවත් වන පුරවැසි ගැහැනියක් ගැන කතා කළ යුතු ක්‍රමය ද..? තමන් දෙස මුලු ලෝකයම බලා සිටින බව ට්‍රම්පා නොදනීද..? සාමාන්‍යයෙන් මුග්ධයන්ට කවුරුන් තමන් දෙස බලා සිටියත් එහි වගක් නැත. ඔවුන් මුග්ධ හැසිරීම් දක්වන්නේ 'මාර' ආත්ම විශ්වාසයකිනි.

ඉතින් ට්‍රම්ප්ගේ පසුගිය කාලය තුළ හෙළිදරව් වූ කල්ක්‍රියාව දෙස බලන විට එක් දෙයක් පැහැදිලි ය. මැඩෝනාත් අර අසුවල් කාන්තාවන් සේ අසුවල් තැනින් අල්ලා ඩැහැ ගන්නට ට්‍රම්ප්ට අවස්ථාවක් දුන්නා නම් ඇයව මෙසේ පිළිකුළින් යුතුව හෙළා දකින එකක් නැත. අවසාන විග්‍රහයේදී ට්‍රම්ප් මුග්ධ ලෙසින් හෙළා දකින්නේ තමන්ගේම ජනප්‍රිය ඇමරිකානු සංස්කෘතියේ සංකේතයයි. ඔහු තමන් කරමින් සිටිනා දේ නොදන්නා නායකයෙක් බවට මෙය එක් සරල උදාහරණයක් පමණි.

-ක්‍රිෂාන්ති රාජපක්ෂ

මැඩෝනා පැවැත්වූ කතාව මෙතැනින් බලන්න.

ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය මෙතැනින් බලන්න. 

ට්‍රම්ප් ''රට කොරන හැටි'' 1

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top