Untitled 1

තමිල්නාඩුවේ ගොන් පොර: ජල්ලිකට්ටු නැවතත්. 36කට තුවාළයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිනී සසිකලා විසින් ජල්ලිකට්ටු තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ඊයේ නැවතත් තමිල්නාඩුව පුරා ජල්ලිකට්ටු හෙවත් ගොනුන් හීලෑකිරීමේ තරග පැවැත්විණි. ඉතාම උද්වේගකර සහ අවදානම්කාරී ස්වභාවයක් ගත් මේ තරග අතරවාරයේදී පුද්ගලයන් 36 දෙනෙක් තුවාළ ලැබූහ.

2014 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජල්ලිකට්ටු ක්‍රීඩාව තහනම් කළේ එහි ඇති අමානුෂික බව සැලකිල්ලට ගනිමිනි. විශේෂයෙන්ම කුලප්පු කරන ලද ගවයා මිනිසුන් සමූහයක් මැදට එවා, අනතුරුව ඌට විවිධ ආයුධ ආදියෙන් ද අනිමින් හීලෑ කිරීමට උත්සාහ ගන්නා බවට පෙටා වැනි සත්ව අවිහිංසාවාදී සංවිධාන නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරයි. නමුත් තමිල්නාඩු ප්‍රාන්තය තුළ ජනප්‍රියම ක්‍රීඩාව වශයෙන් පවතින්නේ ජල්ලිකට්ටු ක්‍රීඩාව වන අතර එහි ජීවත් වන බොහෝ දමිල ජාතිකයන් පවසන්නේ මෙය සිය සංස්කෘතික උරුමයක් බවයි. ඔවුන් සැතපුම් ගණන් දිගට පාරවල් වසා, ඒවා තාවකාලික ‘ගොන් පිටි’ බවට පත් කරගැනීමට පසුබට වන්නේ නැත.

ජල්ලි කට්ටු ක්‍රීඩාවට ඉන්දියාව තුළ වසර 2500 ක පමණ ඉතිහාසයක් ඇත. අතීතයේ මෙය හැඳින්වුණේ ‘සල්ලි කට්ටු’ යනුවෙනි. එයට හේතුව ගොනුන්ගේ අඟ කෙළවරට රිදී කාසි හෙවත් ‘සල්ලි’ ගැටගසා තිබූ අතර, ඒවා හිමි කර ගැනීම සඳහා ගවයා හීලෑ කරගැනීම මේ ක්‍රීඩාවේ ඉලක්කය වූ නිසා ය. සාමාන්‍යයෙන් කෝවිල් වැනි පූජාභූමිවල සැපට හැදුණු ගවයන් මේ ක්‍රීඩාව සඳහා යොදවන අතර ඔට්ටු ඇල්ලීම ද ජයටම සිදු කෙරේ. ‘මංජුවිරත්තු’ යනුවෙන් ද හඳුන්වන්නේ ජල්ලිකට්ටු ක්‍රීඩාවම වේ.

අලුත්ම වීඩියෝව මෙතැනින්

.........

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top