1150 x 80 px

දේශපාලනයේ‘ජනකාන්ත හොල්මන්’

ප්‍රංශයට ඉදිරි ජනපතිවරණය ඉතාම තීරණාත්මක ය. එක අතකින් අන්ත දක්ෂිණාංශික ගැහැනිය වන මරී ලු පෙන් ය. අනෙක් අතින් අන්ත වාමාංශික නායක ජෝන් ලූක් මෙලන්ෂෝන් ය. මේ නිසා ප්‍රංශුවන් දැන් සිටින්නේ ගෙදර ගියොත් අඹු නසි, මග හිටියොත් තෝ නසී වැනි දුක්බර තත්වයක ය.

මේ සිද්ධිය වන විට මෙලන්ෂෝන් සැබවින්ම සිටියේ ප්‍රංශයට කිලෝමීටර 450 ක් දුරින් පිහිටා තිබෙන ලියොන් නගරයේ ය. ලියොන් නගරයේ රැළිය පටන් ගන්නා වේලාවටම ප්‍රංශයේ පැරිස් නගරයේ ද ඔහු විසින් රැළියක් සංවිධානය කර තිබුණේය. ලියොන් නගරයේ සිටි මෙලන්ෂෝන් එකම අවස්ථාවේ ප්‍රංශ රැළියේ වේදිකාවෙන් ද දෙයියෙක් මෙන් මතුවුණේය.

එයින් ජනතාවට මාර ගැම්මක් ඇතිවුණේය. කිතියක් ද කැවුණේය. විනාඩි කිහිපයක් පමණ ගත වන තෙක් ප්‍රීති ඝෝෂා හැර වෙන කිසි දෙයක් ඇසුණේ පවා නැත. මෙලන්ෂෝන් ජයග්‍රාහී ලෙසින් එක සැරේ වැඩ දෙකම ගොඩ දමාගත්තේය. මුලින් ඔහු පෝඩියම හරහා පවා ඇවිද ගියේ, ලියොන් වේදිකාවේ පෝඩියම තිබුණේ පැරිස් වේදිකාවේ පෝඩියම තිබූ තැන නොවුණු නිසා ය!! තවත් අවස්ථාවක ඔහු වේදිකාව මත වාඩි වී සිටිනා අයෙකුගේ බෙල්ලක් මිරිකාගෙන සිටින බවක් ද පෙනුණේය.!!! කොහොම වුණත් මද වේලාවක් යන විට මෙලන්ෂෝන් කියන්නේ ඡායාවක් නොවන බවත් හොල්මනක් නොවන බවත් ජනතාවට සිතෙන්නට පටන් ගත්තේය. පැරිස් රැස්වීමේ සිටි හුදී ජනයාට ඒ බව සහමුලින්ම අමතක වෙලා ගියාය! එහෙම නොවුණා නම් ඔවුන් මෙසේ අටේ පන්තියේ කොල්ලන් මෙන් ඔල්වරසන් නගන්නේ නැත ය.!!

මේ තාක්ෂණයට කියන්නේ හොලෝග්‍රෑම් කියලා ය. ‘හොල්මන් සෙල්ලම්’ කියාත් කටකහනවාට කියයි. ග්‍රීකයන්ගේ කාලයේ පටන්ම හොලෝග්‍රෑම් තාක්ෂණය ලෝකයට හඳුන්වා දුන්නේ දේශපාලකයන්ට පිස්සු කෙළින්නට නම් නොවේ. 2012 වසරේදී නම් ටූපැක් නම් අසහාය රැප් ගායකයා හොලෝග්‍රෑම් තාක්ෂණය ඔස්සේ මරණයෙන් මතුත් මතු වී අනගි වැඩක් කළේය. එනම් සම්පූර්ණ සංගීත සන්දර්ශනයක්ම පැවැත්වුයේය. 2008 අවුරුද්දේ අකාලයේ මිය ගිය සුපිරි පොප් රජු මයිකල් ජැක්සන් ද 2014 අවුරුද්දේ බිල්බෝඞ් සංගීත සම්මාන උළෙලට ප්‍රාදූර්භූත වුණේ මේ තාක්ෂණයෙනි.

නමුත් කලාකරුවන් හොලොග්‍රෑම් තාක්ෂණය යොදාගන්නා අරමුණ සහ දේශපාලකයන් එය යොදාගන්නා අරමුණ අතර විසල් වෙනසක් තිබේ. රසික සිත් නැහැවූ පිනවූ කලාකරුවන් හොලෝග්‍රෑම් ක්‍රමයෙන් ජනතාව අතරට එන විට එය එකම මඟුලකි. එනම් එය නෙත්සුවකාරීය. උත්සවකාරී ය. සිත්සුවකාරී ය. නමුත් දේශපාලකයන් එසේ එනවිට එය ‘මඟුලක්’ නොව ‘මළ මඟුලක්’ බවට පත්වේ. එය කිසිම විදිහකින් සුවකාරී නොවේ.

කෙසේ හෝ අවසානයේ එකවර දෙතැනක සිටීමේ දේශපාලන සිහිනය සැබෑ වී ඇත. දැන් ඉතින් ලොව පුරා සිටින දේශපාලකයන් එකවර රට පුරා පෙනී සිටිමින් ජනතාව ඇන්දවීමේ ව්‍යාපාරයේ ජයටම නිරත වනු ඇත. කොහොම වුණත් මේ අතින් ප්‍රංශය සිටින්නේ සිරි ලංකාවට වඩා බොහෝ පිටිපස්සෙන් බවද නොකියාම බැරිය. ඒ මන්ද යත් මේ හොලොග්‍රෑම් නොහොත් හොල්මන් තාක්ෂණය මගින් මහින්ද අප්පුච්චා ජනයා මවිත කරන්නට බලාපොරොත්තුවෙන් සිටියේ මෙයට අවුරුදු ගණනාවකට කලින් ය. උන්දෑ දෙවන වතාවේ පරදින්නට පෙර ඡන්ද වැඩවලට ලක ලැහැස්ති වන කාලයේ ය. ඒ කාලයේ, දැන් මයිඩීල්ස් ඩොට් එල් කේ පිහිටා තිබෙන බම්බලපිටියේ තද සුදුපාට ලොකු බිල්ඩිම එතුමා වෙනුවෙන් වහාම වේකන්ට් කරන ලද අතර අති දැවැන්ත කටවුට් එකක් පවා දමා තිබුණේය. හාහූවලින් කියැවුණේ එතුමා හොලොග්‍රෑම් තාක්ෂණයෙන් එම ස්ථානය ඇතුලු තවත් ස්ථාන කිහිපයක එකවර ප්‍රදූර්භූත වන්නට සැලසුම් කර ගෙන සිටින බවයි. ඒ සඳහා ඩොලර් මිලියන ගණනක වියදමක් යන බවත් එදා මහ උජාරුවෙන් කියැවුණේය. ඒත් අනේ හොඳවෙලාවට එහෙම කිසි දෙයක් සිද්ධ වුණේ නැත. එහෙම වුණා නම් ‘අපෙ ජනයා’ එතුමාට අර විදියට ගෙදර යන්නට වැඩ සලස්සන්නේ නැත. ඒ සා වීරකමක් කරන ලද මහකළු සිංහලයා එතුමාම වම්හ යනාදී වශයෙන් ඔහුට වශී වී මෙය නම් හොලොග්‍රෑමයක් හෙවත් ‘හොල්මන් කායක්’ නොව මහෝත්තමයාගේ දේවකාය”යි යනාදී වශයෙන් හුදී ජනයා සිතන්නට ඉඩ තිබුණාය. සුමනදාසයා හොලෝග්‍රෑමය මැද්දට පැන ප්‍රශස්ති ගී සිලෝ ද මතුරන්නට ඉඩ තිබුණාය.සකල රජ පවුලම මේ ක්‍රමයෙන් රට පුරා හිතෙන හිතෙන විදිහට මහ රෑ ජාමයේ ප්‍රාදූර්භූත වෙමින් ජනයා බියවද්දවන්නටත් ඉඩ තිබුණාය. විරුද්ධවාදීන්ට නූල් බඳින්නට සිද්ධ වන තැනට වැඩකරන්නට ඉඩ තිබුණාය. කෙටියෙන් කියනවා නම් මේ කියන වර්චුවල් තාක්ෂණය වර්චස් පිඬක් බවට පත්කරගෙන රට පුරා තවදුරටත් භීතිය වපුරන්නට ඉඩ තිබුණාය. එහෙම වුණා නම් ඔහු එදත් ජනපති-අදත් ජනපති පමණක් නොව හෙටත් ජනපති ය. සදා ජනපති ය. ඒ නිසා එදා ඒ ජනකාන්ත හොල්මන මේ ක්‍රමයට ජනතාව ඉදිරියට නාවේ රටේ වාසනාවට ය.

ප්‍රංශ ජනපතිවරණයේ ජනකාන්ත ‘හොල්මන’ ජාතිය ඇමතූ හැටි මෙතැනින් බලන්න. 

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top