Untitled 1

ඇමරිකාවට මරණය: ඉරානයේ ඉස්ලාම් විප්ලව සැමරුමේදී ජනයා මොර දෙති

ඉරානයේ ෂා රජු බලයෙන් පහ කළ 1979 ඉස්ලාම් විප්ලවයේ 38 වැනි සංවත්සරය දා ඉරාන ජාතිකයන්ගේ ප්‍රියතම සටන් පාඨය බවට පත් වී තිබුණේ “ඇමරිකාවට මරණය” යන්නයි. ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කුපිතකරවන සුලු හැසිරීම් ඔවුන්ගේ මෙම විරෝධය සඳහා මෙවර තේමා වී තිබේ.  

ටෙහෙරාන් නගරයට මෙකී විරෝධතා සඳහා දහස් සංඛ්‍යාත පිරිස් එක්රොක් වී සිටියහ. ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය දිනෙක ඉස්ලාම් බහුතරයක් වෙසෙන රටවල් හතක ජනතාවට ඇමරිකාව තහනම් කලාපයක් බවට පත්කිරිම නිසා ඔවුහු කෝපයෙන් පසුවූහ. කෙසේ නමුත් මේ විරෝධතා ඇතිවන විට එම තහනම, ඇමරිකානු අභියාචනාධිකරණය විසින් බල රහිත කර තිබේ. පෙන්ටගනය පසුගියදා පවසා තිබුණේ ලෝකයේ ත්‍රස්තවාදීන්ට සෙවණ සදන ප්‍රධානතම රාජ්‍යය ඉරානය බවයි. ඒ අනුව ඉරානයට විරුද්ධව හැකිතාක් සම්බාධක පනවන බව ද ඇමරිකාව කියා තිබේ. මෙවැනි කරුණු රාශියක් හේතුවෙන් ඉරානය තුළ ඇමරිකාවට විරුද්ධව දැඩි ජන විරෝධයක් නොවැළැක්විය හැකි පරිදි ඇති වී තිබේ. මේ තත්වය ඇමරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මෙයට 38 වසරකට පෙර ඉරානයේ ඉස්ලාමීය විප්ලවය ඇතිවූයේ 1978 ජනවාරි 7 වැනිදා ය. පුරා මාස 11කට ආසන්න කාලයක් එනම් 1979 පෙබරවාරි 11 වැනිදා දක්වාම මේ විප්ලවය සිදුවීම විශේෂ ලක්ෂණයකි. ඇමරිකාවේ රූකඩයක් සේ සැලකුණු, අධිරාජ්‍යවාදයේ සංකේතයක් සේ සැලකුණු ෂා හෙවත් මොහොමඞ් රේෂා පල්ලවි රජුගේ රාජාණ්ඩු පාලනය පෙරළා දමා එවකට පිටුවහලේ සිටි අයතුල්ලා කුමේනි යටතේ ඉරාන සමූහාණ්ඩුව නිර්මාණය වූයේ මෙම විප්ලවය හරහා ය. වැඩවර්ජන, විරෝධතා සහ සිවිල් කැරළි මේ කාලය තුළ ඉරානයේ සුලබ ලක්ෂණ බවට පත්ව තිබිණි. විප්ලවයෙන් පසු අයතුල්ලා කමේනි ඉරානයේ නව සුප්‍රීම් නායකයා බවට පත්වූ අතර ඉරාන-ඉරාක යුද්ධය ආරම්භ වූයේ ද එම වර්ෂයේදී ම ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top