ට්‍රම්ප්ගේ යථාවාදී තථාකාරි ගුණය පළමු මාසයේදී මතු වූ හැටි මෙසේයැ!

ජාතිවාදයෙන් සහ 2020 ජනපති සිහිනයෙන් ආතුර වූ ලංකාවේ දක්ෂිණාංශික ආවඩන්නන් ට්‍රම්ප් නමැති උන්මත්තකයා, ඇමරිකානු සිහසුනේ වැරදීමකින් සිංහාහනාරූඪ වීමෙන් පසු සිදුකළ ලොකුම කයිවාරුව ඔබට මතක ඇතැයි සිතමු. ඒ කයිවාරුව වූයේ ''මේ පහළ වූ මහා ජන නායක තෙමේ කල්ප කෙළ කෝටියකින්වත් පහළ නොවෙන තරම් විපුල මහා පුරිසයෙක්යැ..! හේ තෙමේ අසහාය යැ...!. හේ තෙමේ කියන දේ කරන-කරන දේ කියන හෙවත් යථාවාදී-තථාකාරී ගුණයෙන් පිරිපුන් යැ....!! යන්නයි. අනේ ඉතින් ඔන්න මාසයක් ඉක්ම ගොසින් ඇති මේ වේලාවේ ඒ කතාව කී අය දැන් පසුවන්නේ සලු ඇඳගෙනදැයි අපට සැක යැ....!!!

එහිදී ඇස් මානයටම පෙනෙන්නේ කුමක්ද? ඉතිහාසයේ අසහාය විහිලුවක් විසින් ලෝකයේ ලොකුම පුටුව වෙත නැංවූ උන්මත්තකයෙක් බලයෙන් ආතුරව පිස්සු කෙළිනා හැටි මිස අන් දෙයක් නොවේ. සැබවින්ම මේ පළමු මාසයේදී ට්‍රම්ප් ඔප්පු කර පෙන්වූ එකම දේ වූයේ තමන් පිස්සෙකු බව පමණි. තමන් මායාවක ජීවත් වන පිස්සෙක් බව පමණි. ඔහුට සැබෑව නොපෙනෙයි. මායාවක්ම පෙනෙයි. ''ස්වීඩනයට අයිසිස්කාරයො වද්දගන්න එපා යැයි මම කීවා නොවේදැයි'' අසමින් 2020 වෙනුවෙන් ෆ්ලොරිඩා රැළියේදී ලොවෙත් නැති ත්‍රස්ත ප්‍රහාරයක් ස්වීඩනයට එල්ල වූ බවට පත බොරුවක් අතඅරිමින් අම්බානකට නෝන්ඩි වූ හැටියෙන්ම ඒ බව පෙනෙයි. මේ බලකෑදර උන්මත්තකයා තම පදවි ප්‍රාප්තියේ පළමු මාසය සලකුණු කළේ අන්න එහෙම යැ!

මේ වන විට මේ පිස්සු කෙළීම නිසා ට්‍රම්පා කොතරම් නම් ජාත්‍යන්තරයට ගොස් ඇත්දැයි කියන්නේ නම් මේ මොහොත වන විට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පුවත්සේවා සියල්ලම පාහේ සලකා බලමින් සිටින්නේ මෙවැනි පිස්සු යකෙක් දෝෂාභියෝගයකින් පහ කර දැමීමට කොංග්‍රසයට තිබෙන බරපතළ හැකියාව ගැන යැ!

මේ මාසය තුළ ට්‍රම්ප් සිදුකළ පත්වීම්  හරහා මේ වන විට ධවල මන්දිරයේ ලොකු පුටුවල වැජඹෙන අති බහුතරය බිස්නස් ඩීල් කාරයන්ය. ඩීල් කාරයන් හැර අන් කිසිවෙක් පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික පුටුවලට පත්කරන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැත. යටත් පිරිසෙයින් එසේ කරන්නට ඔහුට උවමනාවක් තිබුණේ නැත. ඔහුගේ ප්‍රියතම දියණියගේ සැමියා ඇතුලු සකලවිධ බිස්නස් පවුල දැන් ඔහුගේ ඇතුලු කවයයි. වැල්ලේ හිස සඟවාගත් අවලස්සන පැස්බරෙක් මෙන් ඔහු එයින් ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇතිකර ගනිමින් 2ගොන්2 ආත්මතෘප්තියක් ලබයි. මේවා තනිකරම ''පර්සනල් ඩ්‍රාමා'' ය. මේ කරුමක්කාර අවලස්සන කමේ කූටප්‍රාප්තිය මෙයට දින කිහිපයකට පෙර වාර්තා වුණේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ව සිටි මයිකල් ෆ්ලින්ගේ ඉල්ලා අස්වීමෙනි. ඇත්තම කතාව නම් මේ විශ්‍රාමලත් හමුදා ලුතිනන් ජනරාල්වරයාටවත් දින 24කට වඩා කාලයක් රාජකාරි කරන්නට ට්‍රම්ප්ලා ඉඩ දුන්නේ නැත. වරෙක රිපබ්ලිකන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ද වූ ජෝන් මැකේන් මේවන විට එක හෙළාම චෝදනා කර තිබෙන්නේ ට්‍රම්ප් විසින් රටේ පරිපාලන තන්ත්‍රය අකර්මණ්‍ය කර තිබෙන බවට යැ.!

ට්‍රම්පා මීට අමතරව මෙක්සිකානු-ඇමරිකානු දේශසීමාව වටා තඩි තාප්පයක් ඉදිකරන්නට ඉක්මන් වෙමින් මෙක්සිකෝ ජනපති සමග සූදානම් කර තිබූ හමුව ද අවලංගු කර දැමුවේය. ඉන්පසු බ්‍රෙක්සිට් නිසා බෙදී ගිය රටක පන්දු කෙළින අගමැතිනිය වන බ්‍රිතාන්‍යයේ තෙරේසා මේ ගේ අතින් අල්ලාගෙන ඇල්ෆා මේල් වර්ගයේ ගෝරිල්ලෙක් විසින් ඇදගෙන යන හැටි දක්නට ලැබුණේය. හොඳින් බලනවිට ඒ යමින් හිටියේ ඇල්ෆා මේල් ගෝරිල්ලෙක් නොව දන්නා කියන කෙනෙක්යැ!

සිය පදවි ප්‍රාප්තියේ පළමු සතිය ඇතුළත ට්‍රම්පා කිසිදු ජනාධිපතිවරයෙක් නොකළ තරමේ විධායක ආඥාවන් ප්‍රමාණයක් නිකුත් කළේය. පළමු දිනයේම අත්සන් කළ විධායක යෝජනාවකින් කෙරුණේ ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂණය වන ඔබාමා කෙයා අහෝසි කර කප්පාදු කර දැමීමයි. දහතුන්වන දිනය වන විට, අධිකරණයට ඇඟිලි ගසන්නට ඔහුට තිබූ උවමනාව කෙතරම් ද යත්, තමන්ගේ මිනිහෙක්ව ශ්‍රේෂ්ඨාධිකරණයට නාමයෝජනා කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල යැයි කලෙක නම් දැරූ ඇමරිකා එක්සත් ජනදයටම නිගා දෙමිනි. ඉන්පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීමට යැයි කියා මුස්ලිම් බහුතරයක් ජීවත් වන රටවල් හතක ජනයාට ඇමරිකාවට සංක්‍රමණය වීම තහනම් කළේය. සංක්‍රමණය වෙමින් සිටි ජනතාව දස දහස් ගණනක් ගුවන්තොටුපොළ තුළම ප්‍රාණඇපකරුවන් බවට පත්කළේය. සංක්‍රමණිකයන්ගේ සේෆ් හෙවන්ස් හෙවත් සුරැකි දෙව්ලොව සේ සැලකුණු ඩිමොක්‍රටික් නගරවලට ලැබෙන සියලු සහන සහ මුදල් කපා දැමුවේය. ඉන්පසු ඩැකෝටාවේ මහා විල් හරහා පොළොව යටින් අති දැවැන්ත උමගක් හාරන ව්‍යාපෘතියකට වහාම ක්‍රියාත්මක වන පරිදි පණ පෙව්වේය. ලංකාවේ උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවන්නට යන පාරිසරික විපත මෙන් දහස් ගුණයක පාරිසරික සහ නිජබිම් විනාශයක් මේ මහා තෙල් නළය නිසා ඉදිරියේදී සිදුවන්නට නියමිතයැ.!

ට්‍රාන්ස් පැසිෆික් වෙළඳගිවිසුම විනාශ කර ගැනීම හරහා ඔහු කෙළින්නට යන පිස්සුව ඔහුට පවා තේරුම් යන තරමට සාහසික ය. ට්‍රම්ප්ගේ පරිකල්පන හැකියාව විස්මිත ලෙස ළදරුය. පාන්දර දෙකට හීනෙන් ඇහැරී මරු විකාරයෙන් ට්වීට් කිරීමට වඩා එහා යමක් එයට අල්ලාගන්නට අපහසු ය. ඔහු කවුදැයි ඔහුම නොදනී. ජනාධිපතිවරණයේදී ඔහු කෙළකෝටියක් දෙනා ඇන්දවීය. ඒ ඇන්දවිල්ලට රැවටී ඔහු ද ඇඳගත්තේය. ඔහු දැන් දිගටම සිතන්නේ තමන් හොඳහැටි ඇඳගෙන සිටිනා බව ය. ග්‍රීම් සොයුරන්ගේ සුරඟන කතාවක එන, අර මැති ඇමැත්තන් සමග නිරුවතින් පාරේ ඇවිද්ද මහරජා වගේමය. හොඳටම ඇඳගෙන සිටින නිසා තමන් සිටින්නේ හෙලුවෙන් බව ඔහුට නොපෙන්නේ යැ!  

ලොකුම ඛේදවාචකය වන්නේ මේ කෙළින පිස්සු කිසිවක් ඔහුගේ අවිදග්ධ-අර්ථහීන සහ නිහීන බසින්ම කියනවා නම් ඔහුට 'නොට් සෝ බිග්ලි' වීමයැ!!

-  ක්‍රිෂාන්ති රාජපක්ෂ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top