Untitled 1

මොහොමඩ් අලිගේ පුතා ගුවන්තොටුපොළේ බොරුවට රඳවාගෙන

ලෝකයේ එදා මෙදාතුර බිහිවූ අතිදක්ෂතම බොක්සිං ශූරයෙකු වන මොහොමඞ් අලි ගේ පුත්‍රයා, ෆ්ලොරිඩා ගුවන්තොටුපොළකදී ආගමන විගමන බලධාරීන් විසින් පැය දෙකකට අධික කාලයක් නිකරුණේ රඳවාතබාගෙන ඇත. එහිදී එකී නිලධාරීන් ඔහුගෙන් නරුමවාදී ලෙස ප්‍රශ්න කර තිබෙන්නේ ඔහුගේ පවුල් ඉතිහාසය, අදහන ආගම, පෙළපත යනාදිය ගැන ය. ඇමරිකාවේ පුද්ගලිකත්වය සුරැකීමේ පනත (ප්‍රිවසි ඇක්ට්) නීතිය අනුව මෙම කරුණු ගැන මෙසේ ප්‍රශ්නකිරීම නීති විරෝධී ය.

මොහොමඞ් අලිගේ මෙම පුත්‍රයාගේ නම ද මොහොමඞ් අලි වන අතර, මේ නිසා ඔහු ව හැඳින්වෙන්නේ කණිෂ්ඨ මොහොමඞ් අලි හෙවත් මොහොමඞ් අලි ජූනියර් යනුවෙනි. ඔහු සිය මව වන ඛාලියා කමාකෝ අලි සමග ජැමෙයිකාවේ සිට පැමිණ ඇති අතර ඉන්පසු ෆ්ලොරිඩාවේ ෆෝට් ලොඩර්ඬේල් හොලිවුඞ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එකිනෙකාගෙන් බලයෙන් වෙන් කර මෙසේ ප්‍රශ්නකිරීමට ලක්කර තිබේ.

මොහොමඞ් අලිගේ බිරිඳ වන ඛාලියා, ඈ සන්තකයේ තිබූ මොහොමඞ් අලි සහ තමන් සිටින ඡායාරූපයක් බලධාරීන්ට පෙන්වීමෙන් අනතුරුව නිදහස් කර තිබේ. නමුත් 44 හැවිරිදි පුත්‍රයා එසේ නිදහස් කර නැත්තේ, ඔහු තමන් මොහොමඞ් අලිගේ පුතා බවත්, ඉපදුණේ ඇමරිකාවේ බවත් නැවත නැවතත් කියා සිටින අතරවාරයේදී ය. ඒ අවස්ථාවේ ඔහු සතුව සිය පියා වන මොහොමඞ් අලි සමග සිටින ඡායාරූපයක් තිබුණේ නැත. එසේ තිබුණා නම් ඔහුව ද නිදහස් කරන්නට ඉඩ තිබිණි. එවිට මතුවන ප්‍රශ්නය, ට්‍රම්ප් පාලනය විසින් ඇමරිකාවේ ඇතිකරමින් යන මේ අශික්ෂිත පරිපාලන වෙනස්කම් නිසා, ඉදිරියේදී මොහොමඞ් අලිගේ පුත්‍රයා වැන්නවුන්ට යන යන තැන ඡායාරූප රැගෙන යාමට සිදුවේද යන්නයි. තවද එසේ ගෙන යාම අවශ්‍යද යන්නයි. අරාබි නමක් සහ සම්භවයක් තිබූ පමණින් කෙනෙක් මෙසේ වෙනස්කොට සැලකීම්වලට ලක්කිරීමට ට්‍රම්ප් පාලනයට ඇති අයිතිය කුමක්ද යන්නයි.

තුන්වතාවක් ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාවය දිනා ඇති මොහොමඞ් අලි, මානුෂීය කටයුතු සඳහා සිය නොමසුරු සහයෝගය ලබාදුන් අයෙක් ද වේ. වයස අවුරුදු 74දී, එනම් පසුගිය වසරේ ජූනි මාසයේදී ඔහු මිය ගියේ පාකින්සන් රෝගය සමග දීර්ඝ කාලයක් මුලුල්ලේ සටන් වැදීමෙන් අනතුරුව ය.

වාර්තාවල දැක්වෙන ආකාරයට මොහොමඞ් අලිගේ බිරිඳ සහ පුත්‍රයා මේ අවමන් සහගත සහ නීතිවිරෝධී සැලකිල්ලට ලක්වී තිබෙන්නේ පෙබරවාරි 07වැනිදා ය. ඇමරිකාවේ දැන් පවතින දේශපාලන වාතාවරණය මත ඔවුන් මුලින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ නිහඬ පිළිවෙතකි. නමුත් පසුව ඔවුන් මේ පිළිබඳ නීති උපදෙස් පතා ඇති අතර, මේ අනුව ඉදිරියේදී ඇමරිකානු ෆෙඩරල් අධිකරණයේ නඩුවක් පැවරීමට සූදානමින් සිටියි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top