Untitled 1

මොහොමඞ් අලිගේ පුතා නැවතත් නීතිවිරෝධී ලෙස ගුවන්තොටුපොළේ රඳවාගෙන

පසුගිය පෙබරවාරි මස අගභාගයේ වාර්තා වූයේ ''බොක්සිං ශ්‍රේෂ්ඨයා'' යැයි විරුදාවලි ලත්, ලෝකයේ එදාමෙදාතුර බිහිවූ විශිෂ්ටතම බොක්සිං ශූරයා වන මොහොමඞ් අලිගේ පවුලේ ඥාතීන් ලක්වූ අපහසුතාවක් පිළිබඳව ය.

එනම් ඔහුගේ ලොකු පුතා වන කණිෂ්ඨ මොහොමඞ් අලි ව ෆ්ලොරිඩා ගුවන්තොටුපොළකදී පැය ගණනාවක් නීතිවිරෝධී ලෙස රඳවාගෙන ප්‍රශ්න කළ බව ය. අද වන විට වාර්තා වී තිබෙන්නේ ෆ්ලොරිඩාවේ පිහිටි සිය නිවෙස බලා යමින් සිටියදී ඔහු ව නැවත වතාවක් වොෂින්ටන් ගුවන්තොටුපොළේ දී ද මේ අන්දමින්ම රඳවාතබාගෙන ප්‍රශ්න කර ඇති බවයි.

අප මුලින් කී සිද්ධිය සම්බන්ධයෙන් සිය අදහස් සහ විරෝධතාවය පළකිරීම සඳහා කණිෂ්ඨ මොහොමඞ් අලි සිය මව වන ඛලීයා කමාකෝ අලි ද සමග පසුගියදා ඇමරිකානු කොංග්‍රසයේ උප කමිටුව ඉදිරියට ආවේ ඔහුට ලැබුණු ආරාධනයකට අනුව ය. ඒ, දේශසීමා ආරක්ෂාව පිළිබඳ සිය අත්දැකීම් බෙදාහදා ගන්නට ය.

එහිදී ඔහුගේ නීතීඥයා හෙළිකර සිටියේ මෙවර දෙවන වතාවටද, කණිෂ්ඨ මොහොමඞ් අලි ජෙට්බ්ලූ එයාවේස් ගුවන්යානාවකට ගොඩ වූ විට විනාඩි20 ක පමණ කාලයක් නීතිවිරෝධී ලෙස රඳවාතබාගෙන ප්‍රශ්න කළ බව ය.

කලින් සිදුවූ පැය ගණනක රස්තියාදුව එවර විනාඩි 20කින් අවසන් වී තිබෙන්නේ කණිෂ්ඨ මොහොමඞ් අලි, සිද්ධිය අතරවායේ අභ්‍යන්තර කටයුතු දෙපාර්මේන්තුවට දුරකථනයෙන් කතා කර, ඉන්පසු සිය රියැදුරු බලපත්‍රය ද ආරක්ෂක භටයන්ට පෙන්වීමෙන් අනතුරුව ය. මේ අවස්ථාවේ ෆ්ලොරිඩා කොංග්‍රස් සාමාජිකාවක වන ඩෙබී වාසර්මන් ද ගුවන්යානාව තුළ සිටි අතර, ඇය කණිෂ්ඨ මොහොමඞ් අලි සමග ඡායාරූපයකට පෙනී සිට, පසුව මේ සිද්ධිය ට්වීට් කර තිබේ.

ට්‍රම්ප් පාලනයෙන් පසු ඇමරිකාව මුහුණ දෙමින් සිටින ආගමික නිදහස පිළිබඳ විවාදය සහ මුස්ලිම් රටවලට පැනවූ සංචාරක තහනම නිසා හටගෙන ඇති අවුල තවම නිරවුල් වී නැත. මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතක සංචාරකයන්ට ට්‍රම්ප් පැනවූ සංචාරක තහනම අධිකරණ සමාලෝචනයට ලක්වූ අතර, එයට එරෙහිව නඩු දුසිමකට වඩා ගොනු කරනු ලැබීය.
Attachments area

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top