1150 x 80 px

උතුරු කොරියාවෙන් පහෙන් දෙකකට මන්දපෝෂණය

සෑම උතුරු කොරියානුවන් පස් දෙනෙකුගෙන්ම දෙදෙනෙක් මේ වන විට මන්දපෝෂණයට ගොදුරු වී ඇති බව අලුත්ම බීබීසී වාර්තාවක් පෙන්වා දෙයි. තවද උතුරු කොරියානු ජනතාවගෙන් සියයට 70ක්ම මේ වන විට දිවි ගැට ගසා ගනිමින් සිටින්නේ තමන් විසින් ලබාදෙන සහනාධාර මත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 

උතුරු කොරියානුවන්ට මූලික සනීපාරක්ෂක හෝ සෞඛ්‍ය පහසුකම් ද මේ වන විට නොමැති අතර, වයස අවුරුදු 5 ට අඩු දරුවන් බුරුතු පිටින් මිය යමින් සිටින්නේ පාචනය සහ නිව්මෝනියාව හේතුවෙනි. මේ අතර නැවත නැවතත් පාලනයකින් තොරව සිදුවන ගංවතුර තත්වයන් සහ නියඟය හේතුවෙන් මානුෂීය ආධාර ලබාදීම ද අපහසු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවට අනුව ආහාර අනාරක්ෂාව සහ පෝෂ්‍යදායී ආහාර නොමැති කම හේතුවෙන් මිලියන 18කට ආසන්න ජනතාවක් පීඩා විඳිමින් සිටිති.

ඒකාධිපති පාලනය හේතුවෙන් බාහිර ලෝකයෙන් හුදෙකලා වී ඇති රාජ්‍යයක් වන උතුරු කොරියාවේ ජනගහනය මිලියන 25 කි. මෙයින් තුනෙන් දෙකකටම රජය විසින් ආහාර සලාක ලබාදීමක් සිදුකරයි. එක්සත් ජාතීන්ගේ වාර්තාව අනුව ගතවූ වසරේ පටන් එක් පුද්ගලයෙක් සඳහා ලබාදෙන ධාන්‍ය සහ අර්තාලපල් සලාකය ද ග්‍රෑම් 380 සිට ග්‍රෑම් 300 දක්වා අඩුකර ඇත. උතුරු කොරියානු රජය විසින්ම ප්‍රකාශ කර තිබෙන ආකාරයට එක් පුද්ගලයෙකුට ලබාදෙන අවම ආහාර සලාකය දිනකට ග්‍රෑම් 573 ක් විය යුතුය.

ගතවූ වසර කිහිපය මුලුල්ලේ බලවත් රටවල් විසින් පනවන සම්බාධක හේතුවෙන් ද ජනතාව මහත් සේ පීඩා විඳිමින් සිටිති. විශේෂයෙන්ම එය විසින් සිදුකරනු ලබන න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් හේතුවෙන් 2012 වසරේ පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ රාජ්‍ය්‍යට බරපතළ සම්බාධක පනවා තිබේ.

1990 වසරේ වාර්තාවූයේ උතුරු කොරියාව බරපතළ ආහාර දුර්භික්ෂයකින් පෙළෙමින් සිටිනා බව ය. මෙයින් දස දහස් සංඛ්‍යාත දෙනා මිය යන්නට ඇතැයි සැලකේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top