1150 x 80 px

සිරියාවට ඇමරිකාවෙන් මිසයිල ප්‍රහාර

සිරියාවේ කැරලිකරුවන් අත පවතින නගරයකට එල්ලකෙරුණු සැක කටයුතු රසායනික අවි ප්‍රහාරයට එරෙහිව සිරියාවේ ගුවන් කඳවුරක් වෙත ඇමරිකාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

මාධ්‍ය ධරණී මුහුදේ ඇති ඇමරිකානු නැව් දෙකකින් ටොමොහොක් මිසයිල පනස් නමයක් එල්ල කෙරුණු අතර සිරියානු හමුදාව පැවසුවේ එයින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බවය.

සිරියානු ජනාධිපතිවරයාගේ විධානය යටතේ ක්‍රියාත්මක වන හමුදාවලට එරෙහිව එල්ල කෙරුණු පළමු ඍජු ඇමරිකානු ප්‍රහාරය මෙයවේ.

මේ අතර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් හට සහය දක්වන රුසියානු පාලනය මෙම ප්‍රහාරය හෙලා දැක තිබේ.

රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශක ඩිමිත්‍රි පෙස්කොෆ් පැවසුවේ මෙය ස්වෛරී ජාතියකට ආක්‍රමණශීලීශීලී ක්‍රියාවක් බවය.

එක්සත් ජනපද හමුදාව මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ සිරියාවේ වේලාවෙන් උදෑසන 04:40ටය.

මෙම ප්‍රහාරයේ දර්ශන ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ.
මීට දින දෙකකට පෙර ඉද්ලිබ් පළාතේ ඛාන් සෙයිඛෝන් නගරයට එල්ලවූ විෂ වායු ප්‍රහාරයකින් ළමුන් ඇතුළු සාමාන්‍ය වැසියන් පිරිසක් මරණයට පත්විය.

එම ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ ෆ්ලොරිඩාහි සිට අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශකර සිටියේ සිරියානු ජනාධිපති අසාද් ආක්‍රමණිකයෙකු බවත් ඔහු අහිංසක සාමාන්‍ය වැසියන් වෙත දරුණු රසායනික අවි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්ය.

රසායනික අවි භාවිතයට ඉඩ නොතැබීම ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ අනිවාර්ය ප්‍රමුඛතාවයක් බව ද ඔහු ප්‍රකාශ කළේය.

"අද රාත්‍රියේ මම ශීලාචාර රටවල්වලින් ඉල්ලා සිටිනවා සිරියාවේ සිදුවන ඝාතන, ලේ වැගිරීම් සහ සියළු ආකාරයේ ත්‍රස්තවාදයන් නිමා කිරීමට අපත් සමග එකතුවන ලෙස" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඇමරිකාව සිදුකළ මිසයිල ප්‍රහාරය සිරියාවේ සාමාන්‍ය වැසියන්ට එරෙහිව එල්ල කළ ම්ලේච්ඡ රසායනික ප්‍රහාරයට එරෙහි යෝග්‍ය ප්‍රතිචාරයක් බව බ්‍රිතාන්‍යය නිවේදනය කළේය.

එසේම ඇමරිකාව මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පෙර සිරියානු රජයේ හමුදාවන්ට සහය පළ කරන රුසියානු හමුදාව දැනුවත් කළ බව පෙන්ටගනය ප්‍රකාශ කළේය.
- BBC-

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top