Untitled 1

Pulse of Europe  හෙවත් යුරෝපයේ ස්පන්දනය !

ලෝකයේ රටවල පුරවැසියන් තම අරමුණු වෙනුවෙන් පෙළ ගැසීම සනිටුහන් කරන හොඳ උදාහරණයකි ‘Pulse of Europe'.
Pulse of Europe යනු යුරෝපයට හිතැති සිවිල් පුරවැසියන්ගේ මූලාරම්භයකි. මහා බ්‍රිතාන්‍ය යුරෝපීය සාමූහිකයනේ ඉවත් වීම සහ ඩොලන්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය වැනි දේ යුරෝපීය පුරවැසියන්ගේ මනසට යම්  පරාජයේ ඡායාවන්  ගෙන ඒමට හේතු වී තිබේ. එවැනි සිතුවිලි පරාජය කිරීම වස් Pulse of Europe ආරම්භ වී තිබේ.

මේ වන විට යුරෝපය පුරා පැතිරී යන දැවැන්ත සිවිල් බලවේගයක් බවට මෙම Pulse of Europe පත්ව තිබේ.  2016 අග භාගයේ ජර්මනියේ  ෆ්‍රැන්ක්ෆර්ට්  නගරයෙන් ආරම්භ වූ මේ පුරවැසි බලවේගය මේ වන විට යුරෝපය පුරා පැතිර යමින් පවතින  සිවිල් වැසියන්ගේ දැවැන්ත සාමූහික වැඩ පිළිවෙලක් වී හමාරය. මෙයට කිසිදු දේශපාලන බලවේගයක සම්බන්ධතාවයක් නැත. ආගම, ජාතිය, දේශපාලන පක්ෂ, වර්ණය හෝ වයස හෝ වෙන කිසිම වෙනසක් මෙම එකමුතුවට අදාළ නැත. ඇත්තේ එක අරමුණක් පමනි.

මෙම සිවිල් බලවේගයේ  අරමුණ වන්නේ යුරෝපීයේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සදහා පොදු කතා බහක් ඇති කිරීමයි. යුරෝපීය අනන්‍යතාවය ලෙස අදහස් කරනු ලබන්නේ  ජාතිවාදී නැඹුරුව පරාජය කිරීම, සාමය ආරක්ෂා කිරීම, පුද්ගලික නිදහස සුරක්ෂිත කිරීම හා සාධාරණත්වය හා නීතිමය ආරක්ෂාව මෙහිදී සැලකිල්ලට ගැනීම ආදී කරුණු 10 ක් ඇතුළත් එකකි.

මෙම බලවේගයේ විශේෂත්වය වන්නේ සෑම රැස්වීමක්ම එකම වෙලාවට මුළු යුරෝපය පුරා විවිධ නගර වල පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබීමයි. එනම් සෑම ඉරිදාම සවස 2 ට සියළුම රැස්වීම් ආරම්භ වේ. මෙම රැලිවල ආරම්භක දේශන වශයෙන්  එහි සංවිධාකයකයින් තම අදහස් පවසන අතර ඉන් පසුව පැමිණ සිටින අයට තම අදහස් දැක්වීමට විනාඩි 2 ක කාලයක් හිමිවේ. එහිදී පවසන දේවල් සම්බන්ධයෙන් කිසිවෙකු විරෝධතාවයක් නොදක්වා සාවදානව අසා සිටීමට පුරුදුව සිටීම විශේෂ ලක්ෂණයක් වෙයි. මේ ආකාරයට  පසුගිය සතියේ ඉරිදා  වන විට මෙවැනි රැස්වීම් යුරෝපයේ නගර 90 ක් පුරා පැවැත්වීය. මේ වන විට එක් රැස්වීමකට දහස් ගණන් සිවිල් ජනතාව පැමිණේ.

(පසුගිය ඉරිදා දිනයක ජර්මනියේ බර්ලින් නගරයේ  කොන්සර්ට් හවුස් ඉදිරිපිට රැස්වූ සිවිල් පුරවැසියන් අප කැමරාවට හසුවිය. ඒවා පහතින් පලවේ.)

මෙම සාමූහික සිවිල් එකමුතුව තුලින් ශ්‍රී ලාංකික අපටද ගත හැකි ආදර්ශ බොහෝය. එකම අරමුණක් වෙනුවෙන් සියළු භේදයන් පසෙකලා එකතුවීම සුද්දාගෙන් අපට ලබා ගත හැකි හොඳ පාඩමකි.  කාලෙන් කාලයට පත්වන  පාලකයන්ගෙන් යම් යම් දේ ඉටු වේයැයි බලාපොරොත්තු දල්වාගෙන සිට ඒවා ඉටු නොවීමෙන් පාලකයන්ට දෙස් දෙවොල් තැබීම අප රට සාමාන්‍ය ජන ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. කිසිදු දෙයක් මල්වට්ටියක තබා ගෙනත් දීම සිදු නොවේ. ඒවා වෙනුවෙන් අරගල කිරීම ඉල්ලීම් දිනා ගැනීමට පෙල ගැසීම පුරවැසියන් වශයෙන් අප සිදුකළ යුතුව ඇත. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සිවිල් පුරවැසියන් ලෙස එක්ව කටයුතු කිරීමට මෙවැනි සිවිල් ක්‍රියාකාරීත්වයන් ගුරු කොට ගැනීම සිදුකළ යුතුය.

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top