1150 x 80 px

ඉන්දීය ධන කුවේර විජේ මාලියා ලන්ඩනයේදී අත්අඩංගුවට !

ඉන්දියාවේ ප්‍රකට ධන කුවේරයෙකු වශයෙන් සැලකෙන විජේ මාලියා, ලන්ඩන් නගරයේදී බි්‍රතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ, මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ සහ අකර්මණ්‍ය වූ ගුවන්සේවාවක් වෙනුවෙන් ලබාගෙන තිබෙන පවුම් බිලියන ගණනක ණයක් ආපසු නොගෙවීමේ චෝදනාව සඳහා ය.

විජේ මාලියා ඉන්දියාවේ මත්පැන් කර්මාන්තය තුළින් ද අතිදැවැන්ත ආදායමක් ලබන්නෙකි. එයට අමතරව ඔහු ගුවන් සේවයක්, ෆෝමියුලා වන් මෝටර් රථ කණ්ඩායමක මෙන්ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රිකට් කණ්ඩායමේ ද හිමිකරු වේ. මේ නිසා කලකට ඉහතදී විජේ මාලියාව ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණේ ඉන්දියාවේ රිචඞ් බ්‍රැන්සන් ලෙස ය.

විජේ මාලියාගේ බංකොළොත්වීම සම්බන්ධයෙන් වැඩි වශයෙන්ම වගකිව යුත්තේ ඔහුට අයත් කිංෆිෂර් ගුවන්සමාගමේ ඇද වැටීම බව කියැවේ. 2005 වසරේදී පිහිටවූ කිංෆිෂර් ගුවන්සේවය විශාල දැඩි වශයෙන් පාඩු ලබන්නට පටන් ගත් අතර, අවසානයේ 2012 වසරේදී ඉන්දියානු රජය මෙම ගුවන් සමාගමේ ගුවන් බලපත්‍රය අවලංගු කර දැමුවේ, ගුවන් නියමුවන්ට සහ ඉංජිනේරුවන්ට මාස ගණනාවක වැටුප් ගෙවීමට අපොහොසත් වීම නිසා ය.

නවදිල්ලි අධිකරණය විසින් පසුගිය වසරේ නියෝග කර තිබුණේ නඩු කටයුතුවලට සහයෝගය ලබාදීම සඳහා ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ය. මේ තත්වය හමුවේ 2016 මාර්තු මාසයේ සිට විජේ මලියා තීරණය කළේ ඉන්දියාවෙන් පිටව ඇවිත් ලන්ඩනයේ ජීවත් වන්නට ය. එසේ ජීවත් වෙමින් දිගින් දිගටම අධිකරණය මගහරිමින් සිටි නිසා ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් ඉන්දීය රජය වෙනුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පැහැදිලි ය. අවසානයේ ඉන්දියාව ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ද තහනම් කර දමා, ඔහුව ඉන්දියාවට පිටුවහල් කරන ලෙසට එක්සත් රාජධානියෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඉන්දියාවේ FBI ලෙස සැලකෙන මධ්‍යම විමර්ශන බියුරෝව ඔහුට විරුද්ධව නඩු පැවරීමේ යෙදී සිටියි. ගුවන් සේවයට අවශ්‍ය ගුවන් යානා අමතර කොටස් ගෙන්වීම සඳහා රුපියල් බිලියන 9 ක ණය මුදලක් ලබාගෙන ඇති නමුත් විජේ මාලියා විසින් සත්‍ය වශයෙන්ම සිදුකර ඇත්තේ එම මුදල් පිටරටවලට යවා වෙනත් කටයුතුවලට යෙදවීමයි. මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා ඔහු වෙත එල්ල වන්නේ මෙම පසුබිම යටතේ ය.

විජේ මාලියා සිය කුමාර ජීවිතය සම්බන්ධයෙන් කුප්‍රසිද්ධියක් ලබාඇත්තෙකි. බොලිවුඞ් නිළියන් සමග මධුසාද පැවැත්වීම ඔහුගේ එම ජීවිතයේ සුලබම සිද්ධියක් වන අතර, සුපිරි බොලිවුඞ් නිළි දීපිකා පාදුකෝන් එහිදී බොහෝවිට දැකිය හැකි චරිතයකි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හි සන්නාම තානාපතිවරිය වන්නේ ද දීපිකා පාදුකෝන් ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top