1150 x 80 px

සිරියාවේ රසායනික ප්‍රහාරයට යොදාගෙන තිබෙන්නේ සරීන් විෂ වායුවයි.

මේ මස මුලදී සිරියාවේ 87 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවූ රසායනික ප්‍රහාරය සඳහා යොදාගෙන තිබෙන්නේ සරීන් විෂ වායුව බව තහවුරු වී තිබේ.

මේ ප්‍රහාරය සඳහා යොදාගත් රසායනික අවිය කුමක්දැයි සොයාගැනීම භාර දී තිබුණේ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය (OPCW) වෙතට ය. එකිනෙකට වෙනස් විද්‍යාගාර හතරකදී ස්වායත්ත ක්‍රම භාවිතා කරමින් වින්දිතයන් දස දෙනෙකුගෙන් ලබාගත් රසායනික කොටස් මෙහිදී පරීක්ෂාවට ලක්කරනු ලැබීය. අවසානයේ එයින් තහවුරු වූයේ මේ සඳහා යොදාගෙන ඇත්තේ සරීන් හෝ එයට සමාන රසායනිකයක් බවයි.
සිරියාවේ ඉද්ලිබ් පළාතේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී තිබූ ඛාන් ෂෙයිකූන් නගරයට එල්ල වූ මෙම රසායනික ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කුඩා දරුවන් විසි දෙනෙක් පමණ වූහ.

සරීන් විෂ වායුව පිළිබඳ ලෝකයේ මීට පෙර මුලින්ම අවධානය යොමුවූයේ 1995 වසරේ ජපානයේ ටෝකියෝ උමං දුම්රිය මාර්ගයට එල්ල වූ විෂ වායු ප්‍රහාරය හේතුවෙනි. එයින් 12 දෙනෙක් මිය ගොස් පණස් දෙනෙකුට වඩා තුවාල ලැබූහ. විෂ වායු ප්‍රහාරය එල්ල කර තිබුණේ තමන් ආගමික නායකයෙක් යැයි කියාගත් ඕම් ෂින්රිකෝ නිකාය නායක ෂේකෝ අසහාරා විසිනි.  

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top