1150 x 80 px

ප්‍රංශය ඔහුගේද? සහ ප්‍රංශය, ඔහු ‘ගේ’ද?

ප්‍රංශයේ එදා මෙදාතුර ළාබලාතම ජනාධිපතිවරයා බවට පත්ව සිටින එම්මානුවෙල් මැක්‍රෝන් නමැති ලිබරල් තරුණයා දැන් ජාතිය අබිමුවේ පරීක්ෂාවකට ලක් වී සිටියි. ඒ අපචාරයක් හෝ වෙනයම් ඉලව්වක් නිසා නොව, බ්‍රිගටි ටොග්නියස් නමැති ඔහුගේ බිරිය ඔහුට වඩා අවුරුදු 24කින් වැඩිමල් වීම නිසා ය!

එම්මානුවෙල් වයස 15 දී ඇය සමග පෙමින් බැඳෙන විට ඇය ඔහුගේ පාසලේ නාට්‍ය ගුරුවරිය ය. ඒ වන විට ඇය විවාහක ය. නාට්‍ය පිටපතක් නැවත ලිවීමට අවශ්‍ය වූ නිසා ඔහුට ඇය සමගත් ඇයට ඔහු සමගත් ඉතා සමීපව වැඩ කරන්නට අවශ්‍ය විය.- ඒ සමීප කම අවසන් වුණේ ප්‍රේම කතාවකිනි. පසුව ඇය දික්කසාද වූවාය. දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ එම්මානුවෙල් සාර්ථක ආයෝජන බැංකුකරුවෙකු වීම සඳහා පෙර ගමන් අරඹා සිටියේය. පසුව වයස තිහේදී ඔහු පවුලෙන් එන සියලු විරෝධයන් නොතකා තම ආදරණීය ගුරුවරිය විවාහ කරගත්තේය. අවුරුදු පහළොවේ සිටම ඇය ඔහුගේ “ජීවිතයේ සහ ප්‍රේමයේ ඇදුරුතුමිය”යි.

ඉතින් අපිට පාන්ද?

නමුත් ගැටලුව වන්නේ “ටිපිකල් ප්‍රංශුවා” එසේ නොසිතීමයි. ඇත්තෙන්ම මේ ලෝකය මහ පුදුමාකාර තැනකි. එක් අඩියක් ඉදිරියට තබන විට අඩි දෙකක් පසුපසට තබන ජාතියේ “අප්සැට්” තැනකි. සිය නායකයා තේරීමේදී ඉතාමත් බුද්ධිමත් ලෙස හැසිරුණු ප්‍රංශුවා දැන් මේ අවශේෂ ප්‍රශ්නයකට ජාතික වැදගත්කමක් ප්‍රදානය කර තිබෙන්නේ ඇයි? කෙනෙකුගේ විවාහය හෝ සහකරු/සහකාරිය ඔහුගේ හෝ ඇයගේ පරම පුද්ගලික ජීවිතයයි. විවාහ වීම/ නොවීම මෙන්ම සහකරු හෝ සහකාරිය කවුදැයි තීරණය කිරීම ද අතිශයින් ම පුද්ගලික නිදහස සමග බද්ධ වූ කාරණා ය. ඒ අනුව ටිපිකල් ප්‍රංශුවා මේ මොහොතේ ප්‍රශ්න කරමින් සිටින්නේ සිය නායකයා, සිය නිදන කාමරයේදී සිය බිරිය සමග කරන දේ සහ නොකරන දේ ගැන ය! එයින් රාජ්‍ය පාලනයට බලපෑමක් වන්නේ නැතිනම්, සියයට හැට හයක අති විශිෂ්ට ඡන්ද ප්‍රතිශතයකින් ඔහුව නායකයා ලෙස පිළිගන්නට හොඳ නම්, බිරියගේ හම රැළි වැටී තිබීම ඔවුන්ට ප්‍රශ්නයක් වන්නේ ඇයි?

සමහරුන්ට අනුව එම්මානුවෙල් මැක්‍රොන් ස්වභාවයෙන්ම “නංගිලාට” නොව වැඩිමල් ගැහැනුන්ට ආකර්ෂණය වන කෙනෙකි. තවත් අය කියා තිබුණේ ඇය සමග ඔහු කෙසේ නිදියහනේදී හැසිරෙන්නේදැයි කියා තමන්ට හිතාගන්නටවත් බැරි බව ය!! බොහෝ අය මේ මාතෘකාව ඔස්සේ යම්කිසි ඇරියස් එකක් කවර් කරන බව ද පෙනුණි. ඔවුන්ට අනුව එම්මානුවෙල් මැක්‍රොන්ට “සමාන්තර ජීවිත” තිබේ. ඔහු ලෝක සම්මතයට පයින් ගැසූ ආකාරයෙන්ම පෙනී යන පරිදි ඔහු සාමාන්‍ය විෂම ලිංගිකයෙකු හෙවත් හෙටරොසෙක්ෂුවල් අයෙකු වන්නට නම් කොහෙත්ම ඉඩක් නැති ලු! මේ දෙන්නා පවුල් කන්නේ ලෝකෙට පේනන-නමට ලු! පැහැදිලි ලෙසම එම්මානුවෙල් මැක්‍රොන් සිය වියපත් බිරිය ගැන දක්වන්නේ වැඩිමල් මිතුරියක හෝ සහෝදරියක හෝ මව සම්බන්ධයෙන් දක්වන උනන්දුව සහ සෙනෙහස පමණක් විය යුතු ලු! සුද්ද “සිංහලෙන්ම” කියනවා නම්” කතා දෙකක් නැතිවම මැක්‍රොන් “ගේ” ලු!! හෙවත් පිරිමි සමලිංගික හෙවත් සමරිසි හෙවත් සමකාමී ලු!!!

ලිබරල් මැක්‍රොන්, ලී පැරසියන් පුවත්පත මේ ගැන ඇසූ විට කදිම උත්තරයක් දුන්නේය.තමන්ට එල්ල වන හෝමෝසෙක්ෂුවලිටි හෙවත් සමලිංගිකත්ව චෝදනාව ගැනත් වැඩකට නැතිවුන් විසින් තමන්ට ආරෝපණය කරන සමාන්තර ජීවිත ගැනත් ඔහු මනා අවබෝධයකින් හා ඉවසීමකින් උත්තර දුන්නේය. ඒ කදිම පිළිතුරු අතරින් තෝරාගත් කොටස් කිහිපයක් මෙසේ ය.

’‘මම මගෙ භාර්යාවට වඩා අවුරුදු විස්සකින් වැඩිමල් වුණා නම් මට හොඳ සහකරුවෙක් වෙන්න පුලුවන් ද කියන ප්‍රශ්නය කිසිම කෙනෙකුට තත්පරයකටවත් හිතට එන්නෙ නෑ. දැන් ඇය මට වඩා වැඩිමල් නිසා විතරක් මෙහෙම සම්බන්ධතා ලෝකෙ තියෙන්න පුලුවන් ද කියල මිනිස්සු අහනවා.”

තමන්ට එල්ල වන මේ නිර්දය විවේචන,” නාරි ද්වේෂය හෙවත් ගැහැනුන් කෙරෙහි නුරුස්නා ලෙස බලනවුන් සහ සම්ප්‍රදායික-ටිපිකල් අදහස්වලින් පිරි අය විසින් එල්ල කරන ඒවා බව මැක්‍රොන් කියයි. එනිසා ඔහු කියන්නේ සමහරුන් තමන් සමලිංගිකයෙක් යැයි කියන්නේ ඒ අය හෝමෝෆෝබියාවෙන් පෙළෙන නිසා කියා ය- මෙය පැහැදිලිවම ඇත්ත කතාවකි- ටිපිකල් ප්‍රංශුවා තවමත් සිතන්නේ LGBTIQ- Lesbian, Gay, Bisexual, Transsexual, Intersexual, Questioning ප්‍රජාවන් ලෙඩුන් කියා ය- මේ තත්වය සැඟවුණු රෝගයක් ය කියා ය.නමුත් සැබෑ ලෙඩුන් වන්නේ මේ ප්‍රජාව දෙස නරුම සහ වෙනස් ඇසකින් බලන තමන් බව ඔවුහු නොදනිති. දැනසිටිනවා වුණත් නොදැන සිටිනවා සේ කල් ගත කරති.
 
මේ අතර අද දිනයේම වාර්තා වන තවත් පුවතකට අනුව බ්‍රිතාන්‍යයේ LGBTIQ ප්‍රජාවට කේම්බ්‍රිජ් හි ආදිපාදවරයා හෙවත් විලියම් කුමරු ස්තූති කර තිබෙන්නේ එම ප්‍රජාව විසින් ඔහුව “වසරේ ස්ටේ්‍රට් මිතුරා” වශයෙන් පිළිගත් නිසා ය. ස්ටේ්‍රට් හෙවත් ලෝක සම්මතයට අනුව ගැහැනු-පිරිමි ආකර්ෂණය පවත්වාගෙන යන අය අතරින් මෙකී ප්‍රජාව කෙරෙහි මානව දයාවෙන් සහ ගෞරවයෙන් බලමින් ඔවුන් සහෝදරයන් සේ පිළිගැනීම නිසා ඊයේ දිනයේ බ්‍රිටිෂ් LGBTඅවෝඩ්ස් හිදී ඔහුට මෙම සම්මානය පිරිනැමිණි.එහිදී වීඩියෝ පණිවුඩයක් ඔස්සේ කුමරු කීවේ කුමක්ද? “2017 වසරේදී කිසිම අයෙක් තමන්ගේ ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය මත හිරිහැරවලට ලක් නොකළ යුතු බව” ය.“ඔබ ඔබ හැර වෙන කෙනෙක් නොවේ- ඔබ ඔබ වීම ගැන ආඩම්බර විය යුතුයි” කියා ද ඔහු කීවේය-. ඉතින් ඉංග්‍රීසි ඕඩයෙන් පමණක් වෙන් වී සිටියත් බ්‍රිතාන්‍යය සිටින්නේ ප්‍රංශයට වඩා පැහැදිලිවම “උස” තැනක ය.

දැන් නැවතත් එම්මානුවෙල් මැක්‍රෝන් මේ ප්‍රශ්නය හසුරුවා ගන්නා හැටි සම්නිරීක්ෂණයට හසු කරමු. ඔහු තමන්ගේ විෂම ලිංගිකත්ව ස්ථාවරය ආරක්ෂා කර ගැනීම පිණිස තමන්ට සමලිංගිකයා යැයි කියන අයට උපේක්ෂාවෙන් පිළිතුරු දෙයි. කෙනෙකුගේ ලිංගිකත්වය පිළිබඳ අනන්‍යතාවය අර්ථ දැක්වීම ඒ කෙනාගේ පරම අයිතිය මිස ඒ කෙනාව නරඹන්නන්ගේ හෝ ඒ කෙනාගේ අසුවල් දේ ගැන රුදාවක් ඇති අයගේ අයිතිය නොවේ. ඒ අනුව තමන් විෂම ලිංගිකයෙක් යැයි ඔහු කියනවා නම් ඔහු විෂම ලිංගිකයෙකි! කතාව එපමණකි!!
 
මීළඟ තර්කය, යම් හෙයකින් ඔහු සමලිංගිකයෙක් වූවා නම් ඔහු කෙසේ ප්‍රතිචාර දක්වාවිද? ඔබ සිතන්නේ ඔහු “ඔව්, මම ආඩම්බරකාර පොන්නයෙක්මි. මිනීමරුවෙක් වෙනවට වඩා පොන්නයෙක් වෙන එක හොඳයි යකෝ- - -” වැනි ග්‍රාමීය පිළිතුරුක් ප්‍රසිද්ධියේ ලබාදෙනු ඇත කියාද? අනේ නැත- මේ සිටින්නේ එම්මානුවෙල් මැක්‍රෝන් මිස හැංගි හොරා උගුරට හොරා බෙහෙත් කන අතරම දැනෙන දෙයක් නීතිමය වශයෙන් කරන්නට අවස්ථාවක් ලැබුණු විට අනේ අපි නම් එහෙම නෑ කියන, ඉන්දියන් සාගරයේ අ)මුතු ඇටේ දේශපාලකයෙක් හෙම නොවේ. එසේ වූවා නම් ඔහු එහෙම වීමට වඩා මෙහෙම වීම හොඳයි'' වැනි සාපේක්ෂ පිළිතුරක් වෙනුවට නිරපේක්ෂ සහ දේශපාලනීකරණය වූ සදාචාර කතිකාවෙන් බැහැර - ආවේගශීලී නොවූ පිළිතුරක් ලබාදෙනු ඇත. ඒ පිළිතුරු පැහැදිලිවම ඊනියා සදාචාර රාමුවෙන් ඔබ්බේ තිබෙන නිරපේක්ෂ ලක්ෂ්‍යයක සිට මිනිස් හැසිරීම් හා සහජාස චර්යා පිළිබිඹු කරන්නක් වනු ඇත.
 
එනිසා ප්‍රංශුවන් මේ මොහොතේ අවබෝධ කර ගත යුතු පරම සත්‍යය නම්, ප්‍රංශයට ඔහු ගේ වුණත් නැතත් ප්‍රංශය දැන් ඔහුගේ බව ය.
 
-ක්‍රිෂාන්ති රාජපක්ෂ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top