Untitled 1

පැරිස් ජැක්සන් නිරුවත් ෆොටෝවලට හේතු පහදයි

පැරිස් ජැක්සන් යනු අකාලයේ සමුගත් සුපිරි පොප් රජු මයිකල් ජැක්සන්ගේ එකම දියණියයි. දැන් ඇය 19 හැවිරිදි නෑඹුල් තරුණියකි. ඉන්ස්ට්ග්‍රෑම් හෙවත් අන්තර්ාජාලයේ ඡායාරූප බෙදාහදා ගන්නා හෙවත් ෂෙයාර් කරනා ජනප්‍රියම වෙබ් අඩවියේ ඈව “ලුහුබඳින්නන්’ හෙවත් ෆලෝවර්ස්ලා ලක්ෂ 14 ක් හිඳිති. ඇය මෑතකදී ඉන්ටර්ග්‍රෑම් අඩවිය කළඹන නිරුවත් ඡායාරූප කිහිපයක් පළ කළාය. එතෙකින් නොනැවතී එම ඡායාරූපයේම කැප්ෂන් එක ලෙසින් නියුඩිසම් හෙවත් නග්නභාවය පිළිබඳ නොබියව සිය අදහස් ද පළ කළාය.

එහිදී ඇය කියා තිබෙන්නේ මෙසේ ය.“නග්නභාවය කියන්නෙ සොබාදහම වෙත ආපසු යාමක්. එය දර්ශනවාදයක් කියාත් කියන්නට පුළුවන්.” ලස්සන දේවල් හැමවිටම සරාගී දේවල් ලෙස දකින්නට උවමනා නැති බවත් ඇය කියා තිබේ. “මිනිස් සිරුර ලස්සන දෙයක්. ඒකෙ මොන අඩුපාඩු තිබුණත් ඒකෙ මොන කැළැල් තිබුණත්, බර වැඩි වුණත්, හම ඇදුණු ලකුණු තිබුණත් ඒක ලස්සනයි. ඔබට පහසුයි කියල හිතෙන විදිහට ඔබ විසින් ඒ ශරීරය ප්‍රකාශනය කළ යුතුයි”

මෙයට මද කලකට පෙර සිය සුනඛයා ද උඩුකය නිරුවතින් හිරු රැස් නාමින් සිටින ඡායාරූපයක් ද ඉන්ස්ටර්ග්‍රෑම් අඩවියේ පළ කළ තිබුණත් පසුව එය මකාදැමීමට ඇය කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් මෙවර වඩාත් නිර්භීත ලෙස අදහස් පළ කරමින් ඇය පවසන්නේ මෙසේ ය. “ඔබව මම සම්පූර්ණයෙන්ම අපහසුතාවයට පත් කරනවා වෙන්නට පුළුවන්. ඒ බව මට හොඳින්ම වැටහෙනවා. නමුත් ඒ වෙනුවෙන් ඔබෙන් සමාව ගන්න මට බෑ. ඒ වෙනුවට ඔබට පුළුවන් මාව ෆලෝ කිරීම නතර කරන්න. මේ ඉන්නෙ මම. ලැජ්ජාවීම සහ මා විශ්වාස කරන දෙය රහසක් වශයෙන් තබාගැනීම මම ප්‍රතික්ෂේප කරනවා.”

“ස්ත්‍රීවාදය (ෆෙමිනිසම්) කියන්නෙ ඔබේම ක්‍රමයකට ඔබව ප්‍රකාශනය කිරීම.”යැයි ද ඇය පවසන්නීය.

2009 ජූනි 25 වැනිදා සුපිරි පොප් රජු මයිකල් ජැක්සන් අකාලයේ මිය යන විට පැරිස්ගේ වයස අවුරුදු 11 කි. පසුව ඇය රෝලිං ස්ටෝන් සඟරාවට 2013 වසරේදී කියා තිබුණේ තමන් වරක් ආගන්තුකයෙකු අතින් අපහරණයට ලක්වූවෙකු බවය. සිය දිවි නසාගැනීම සහ මානසික අවපීඩනය පිළිබඳවද එහිදී ඇය අදහස් පළ කර තිබිණි. ඇය මේ වන විට හොලිවුඩ් නිළියක් බවට පත්වීමට සූදානමින් සිටින අතර චාලීස් තෙරෝන් සමග ඇය රංගනයෙන් එක් වන චිත්‍රපටයක් ද නුදුරේ එළිදැකීමට නියමිත ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top