Untitled 1

මැක්‍රොන් පැහැදිලි බහුතර බලයක් දිනයි!

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ පක්ෂය ඊයේ පැවති මහමැතිවරණයේ දෙවැනි ඡන්ද විමසීමෙන් පසුව පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතර බලයක් දිනාගැනීමට සමත් ව තිබේ. මේ වන විට ප්‍රකාශිත ඡන්ද සියල්ලම පාහේ ගණන්කොට ඇති අතර” මැක්‍රොන්ගේ රිපබ්ලිකේ එන් මාචේ සහ මෝඩෙම් පක්ෂය යන සන්ධානය විසින් ආසන 577 කින් යුක්ත ප්‍රංශ ජාතික සභාවේ ආසන 300කටත් අධික සංඛ්‍යාවක බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.

ප්‍රංශයේ සම්ප්‍රදායික වාමාංශික සහ දක්ෂිණාංශික පක්ෂ දේශපාලනයට එල්ල කළ කනේ පහරක් වශයෙන් මෙම 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රොන්ගේ ජයග්‍රහණය සැලකේ. පසුගිය වසර 5 ක කාලයක් තුළ බලයේ සිටි සමාජවාදීන්ට මෙවර මහමැතිවරණයෙන් ලබාගත හැකි වූයේ ආසන 41-49 අතර ප්‍රමාණයක් පමණි. මෙය ඉතිහාසය තුළ ඔවුන් විසින් ලබාගත් අවම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වේ.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සමාජවාදී පක්ෂ නායක ජීන් ක්ලෝඩ් කැම්බඩේලිස් නිවේදනය කර තිබුණේ සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බවයි.

කෙසේ නමුත් අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා 48 හැවිරිදි මරීන ලී පෙන් ද පළමු වතාවට මෙවර පාර්ලිමේන්තු ආසනයක් දිනාගැනීමට සමත් ව තිබේ. ඒ ප්‍රංශයේ උතුරුකරයේ පිහිටා තිබෙන ආකර නගරයක් නියෝජනය කරමිනි. කෙසේ නමුත් අන්ත දක්ෂිණාංශික පක්ෂයේ උපනායකයා පවා මෙම ඡන්දයෙන් පාර්ලිමේන්තු ආසන දිනාගැනීමට සමත් වී නැත.

1958 වසරේ චාල්ස් ඩිගෝල් විසින් ප්‍රංශයේ බලය දිනාගැනීමෙන් පසු මේ දක්වා කිසිදු පක්ෂයක් මෙතරම් පැහැදිලි පාර්ලිමේන්තු ජයක් ලබාගැනීමට ඉතිහාසය තුළ සමත් වූයේ නැත.

-අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top