Untitled 1

බිඳුණු අහස යට

 

සෝවියට් දේශය බිඳී ගොස් දශක ගණනක් ගත වුවද මොන්ගෝලියානු එඬේරුන්ගේ ජීවිත තවම සීසීකඩ ය. එදා එසේ බිඳී ගියේ ඔවුන්ට සෙවණ දුන් අහසයි. අද ද ඔවුන් ජීවත් වන්නේ බිඳුණු අහසක් යට ය.

එළඹ තිබුණේ සන්ධ්‍යාවයි. අවදි වූ බයර්සඛාන් වටපිටට බැලුවාය. එය එදින සැඳෑව නොව, පසුදින උදෑසන වූවා නම් කොපමණ හොඳදැයි සිතුවාය. පෙරදා ඔහු නිදාගන්නා විට පරිසර උස්ණත්වය හිමාංකයටද අංශක 25 ක අඩුවක් වාර්තා කළේය. එනම් උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 25 ක් විය. තවමත් පහව නොගිය එම ශීතලෙන් වෙව්ළන බයසර්සඛාන්ගේ ගත වැසී ඇත්තේ ලෝම කලිසමකින් සහ පලින් පළ ඉරී ගිය පැරණි ස්වීටරයකිනි. ඔහුට යන්නට තැනක් නැත. කරන්නට රැකියාවක් ද නැත. උලාන්බටාර් අගනුවර හිමෙන් මිදී ගිය බටහිර ප්‍රදේශයේ මේ එඬේරා දැන් ළතැවෙමින් සිටින්නේ තමන් කුමට මෙහි නැවත ආවාදැයි තේරුම්ගත නොහැකිව ය.

පසුගිය දස වසර පුරා උලාන්බටාර් වැසියන්ට ලැබුණු විදේශාධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2 ද ඉක්මවයි. එහෙත් මොන්ගෝලියාව තවමත් දරිද්‍ර ය. මෙයට වසර ගණනාවකට පෙර රුදුරු කාලගුණය විසින් විනාශ කර දැමූ පණිවුඩ චන්ද්‍රිකා පවා තවම යථා තත්වයට පත්වන සෙයක් නැත. ඔවුන් බාහිර ලෝකයෙන් මිදී වෙනම ලොවක ජීවත් වන හුදෙකලා සත්ව කොට්ඨාසයක් වැන්න. මේ නගරයේ එඬේර ගෝත්‍රිකයෝ මිලියනයක් පමණ කල් ගෙවති. නමුත් අගනුවර වෙළඳපොළ පවා තවම නිසි සක්‍රිය තත්වයක නැත.

බයාර්සඛාන් වැනි එඬේරුන් නැවත ආවේ කැමැත්තෙන් නොවේ. නමුත් ඔවුන්ට වෙනත් තෝරාගැනීමක් තිබුණේ නැත. ඔහු හැදී වැඩුණේ දකුණුදිග ගෝබි-අල්තායි ප්‍රදේශයේ ය. ඔහුගේ පරපුරේ අක්මුල් නිදන්ගත වී තිබුණේ ද එහි ය. ගිම්හාන හතරකට පෙරාතුව අකලට ඇද හැළුණු ධාරාණිපාත හිම වැස්ස සමග චන්ඩ සුළඟක් ද හමා ආවේය. මෙවැනි රුදු ශීත සෘතුවලට මොන්ගෝලියානුවන් කියන්නේ ‘ඩ්සුඩ්’ කියා ය. සාමාන්‍යයෙන් සෑම වසර 50කට වරක් ම මේ විපත සිදුවෙයි. නමුත් කිසියම් හේතුවක් නිසා සොබාදහම මේ වන විට කාලඅන්තර නොතකා ඔවුන්ට සරදම් කරන්නට පටන් ගෙන තිබේ. යළි අනපේක්ෂිතව උදා වූ ඩ්සුඩ් සෘතුව හේතුවෙන් අවම වශයෙන් ඔවුන්ට බත සපයන ගොවිපොළ සතුන් ලක්ෂ 25 ක්වත් ශීතලෙන් මිය යනවා ඇත.

ගෝබි-අල්තායි හි මංමාවත් නැති දුෂ්කර පළාතේ ජීවිතයෙන් මේ ජනයා හෙම්බත් වී ඇති බව ඉතා පැහැදිලි ය. ගොවිපොළ ෂතුන් 500 දෙනෙක් සිටි බයර්සඛාන්ගේ දැන් වත්කම ගොවිපොළ සතුන් දස දෙනෙකුගෙන් යුත් රංචුවක් දක්වා පහළ බැස තිබේ.

ගෙපැළ උනුසුම්ව තබාගැනීම මේ මොංගෝලියානුවන් මුහුණ දෙන මීළඟ උබියෝගයයි. සාමාන්‍යයෙන් ඒ සඳහා සත්ව සම්වලින් ගෙපැළ ආවරණය කිරීම සිදුකරයි. ‘ගර්’ යනුවෙන් එසේ ආවරණය කළ ගෙපැළ හඳුන්වයි. උනුසුම රඳවා ගැනීම සඳහා දැන් ඔවුහු තමන් සතු ගෘහභාණ්ඩ පවා පුළුස්සති. නමුත් දුප්පතාගේ ලොම් කබායේ සිදුරු අතරින් සීතල පෙරී එන්නා සේ ගෙතුළට හිම තුෂාරය නොකඩවා කාන්දු වෙයි.

“මම දන්නෙ නැහැ” රටේ ජීවත් වෙන්න ඕනෙ කොයි පළාතෙ ද කියලා. හැම තැනම එක වගේ නරකයි..” යැයි බයර්සඛාන් කියන්නේ ළතැවුලෙනි.

මෙවැනි අලුත් සංක්‍රමණිකයෝ රටේ නා නා විධ ප්‍රදේශවලින් පැමිණි අය වෙති. ඇතැම්හු බාල වොඩ්කා බී රණ්ඩුකර ගනිති. ඔවුන්ගේ දරුවන්ට මන්දපෝෂණය වැළඳිලා ය. ඇතැම් දරුවන් මන්ද බුද්ධික ය. නිතර පවුල් කැඩී විසිරෙයි. සිය දිවි නසාගැනීම් ද දුලබ නොවේ. “එඬේරන් උමතු වෙලා..” එසේ පවසන්නේ මොන්ගෝලියානු රතුකුරුස සංගමයේ ලේකම්වරයා ය. “ඔවුන්ට අවශ්‍ය හිසට සෙවණක් පමණක් නම් මේ තත්වය මෙතරම් නරක් වන එකක් නැහැ. නමුත් මේ ජනතාවට ගොවිපොළ සතුන් ඔවුන්ගේ ආත්මයේ කොටසක්... දිනපතාම ෂතුන් මිය යන විට ඔවුන්ට දැනෙන්නේ දරුවන් මැරෙනවා වගෙයි..”

හැටහත් හැවිරිදි ජම්පූර් මිදුණු හිම මත ඇවිද යන්නේ කොර ගසමිනි. ඔහුගේ ඇඟිලි වකගැසිලා ය. ඔහු මේ ජීවිතයේ මුලු ශක්තියම වැය කර තිබෙන්නේ සිය එඬේර පට්ටිය සඳහා ය. ඔහුගේ මුතුන් මිත්තන් පැවතගෙන ආවේ උවුන්ඛන්ගායි පළාතෙනි. ඒ පළාතේ සියයට අනූවක්ම ජීවත් වුණේ ද එඬේරුන් ය. සුළඟට ගසාගෙන නොයාම සඳහා ජම්පූර් සිය ගර් පැල්පත ඉදි කළේ කන්දක පාමුල ය. එයට මදක් නුදුරින් ඔහුගේ ගව පට්ටියට අයත් ව සිට මිය ගිය එළදෙනෙකුගේ හිස් කබලක් මිදුණු හිම මත සුරැකිව තබා තිබේ. “උන් මගෙ දරුවෝ... ” ජම්පූර් ශෝකභරිතව කියයි. උන් මිය ගියෙ පහුගිය ශීත සෘතුවෙ.. උන්ගෙ මළ කඳන්වල මස් නැහැ. ඉතින් අපි හම් ගළවාගෙන ඒ දරුවන්ට සාමදානයෙ සැතපෙන්න ඉඩ අරිනවා..” යැයි ඔහු කියයි.

80 දශකයේ උලාන් බටාර් අගනුවර තත්වය මෙයට වඩා බෙහෙවින් වෙනස් එකකි. එකල අලංකාර ගොඩනැගිලි අහස සිඹිමින් සිටියේය. කාලගුණය මෙතරම් නරක් වූයේත්, සෝවියට් සංගමය බිඳී ගියේත් තමන්ට දුර්භාග්‍යය උදා වූයේත් එකම දිනයක යැයි මේ මොන්ගෝලියානු එඬේරු කියති. ඔවුන්ට අනුව සියල්ල නරක අතට හැරුණේ ‘අහස බිඳී යාම’ නිසා ය. එකල උලාන් බටාර් වෙළඳපොළ අලුත් මස්මාලුවලින් පිරී ගොස් තිබිණි. දැන් දැක ගැනීමටවත් නැති පශු වෛද්‍ය පහසුකම් එකල සුලබ විය. සෝවියට් දේශය බිඳ වැටුනු පසු ඔවුන්ට උත්සාහයෙන් දියුණු වීමට ධෛර්යයක් තිබුණේ නැතැයි පවසන්නෝ ද මේ අතර වෙති. වරද කාගේදැයි නොදනිතත්, තම දරුවා පාසලට ඇතුළත් කරගැනීමට අවශ්‍ය ඩොලර් පණහ පවා සොයාගැනීමට බයර්සඛාන් තවම සමත් වී නැත. ඔහුගේ ජීවිතයේ පරම ප්‍රීතිය, වයස අවුරුදු දහසයේදී පියාගෙන් උරුම වූ ගිටාරය වැයීමයි. ගෝබි -අල්තායි සිටින ප්‍රීතිමත්ම එඬේරෙක්” ඔහුගේ ශක්තිවන්තම අශ්වයා පිට නැගී අවට සිරි නරඹමින් කඳු හෙල් මැදින් පියමං කරන අන්දම කියැවෙන එම ගීතය ඔහු ඉතාම මියුරු ලෙස එම ගිටාරයෙන් වාදනය කරයි. එම වාදනයට පවුලේ සියල්ලෝම එක් වෙති. කාමරය ගීත නාදයෙන් පිරී යයි. නිමක් නැති දුකක් පිරි මොන්ගෝලියානු එඬේර ජීවිතවල තවත් දිනයක් එසේ නිම වේ.

-රදිකා ගුණරත්න

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top