Untitled 1

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයට අවුරුද්දයි. එර්දොගාන් කඳුලු සළයි.

 

මෙයට වසරකට පෙර තුර්කි ජනපති එර්දොගාන්ගේ පාලනය පෙරළා දැමීම සඳහා සිදුකරන ලද හමුදා කුමන්ත්‍රණයේ පළමු වර්ෂ පූර්ණය උත්කර්ෂවත් ලෙස සැමරීමට එර්දොගාන් පාලනය කටයුතු යොදා තිබිණි. ඉස්තාන්බුල් අගනුවර වෙත රැස්වූ දස දහසකට ආසන්න පිරිසක් අමතමින් එර්දොගාන් එහිදී හැඟීම්බර කතාවක් ද කළේය. රැස්ව සිටි ජනතාව ඔහු විසින් හැඳින්වූයේ ජාතියේ මුර දේවතාවන් යනුවෙනි.

“එදා රාත්‍රියේ ජනතාවගේ අතේ තුවක්කු තිබුණෙ නෑ. තිබුණෙ කොඩියක් සහ, වඩාත්ම වැදගත් දෙය, විශ්වාසය පමණයි..”

කතාවක් වශයෙන් මෙය සුන්දර විය හැකි නමුත් එර්දොගාන් එදා ඇති වූ හමුදා කුමන්ත්‍රණය මර්දනය කළේ අතිශයින්ම ම්ලේච්ඡ ආකාරයෙනි. ඔහු වරදකරුවන්ට මරණ දණ්ඩනය පැනවීය. තවද ඔහු පවසා තිබුණේ ඔවුන් මරණ දඬුවම් ලැබෙන තෙක් ග්වන්තනමෝ බේ රැඳවියන්ගේ නිල ඇඳුමට සමාන තැඹිලි පාට නිල ඇඳුම් හැඳිය යුතු වන බවයි.

මෙම කුමන්ත්‍රණය සහ ඒ ආශ්‍රිතව හටගත් අරගලවලින් 250කට ආසන්න පිරිසක් මරණයට පත් වු අතර,පුද්ගලයන් 2196 දෙනෙක් තුවාළ ලැබූහ. හමුදාවෙන් කොටසක් රාජ්‍යයට එරෙහි වෙමින් දියත් වූ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැක කෙරුනු රාජ්‍ය නිලධාරීන් 15,000 ක් ද වහාම සේවයෙන් පහ කෙරිණි. පණස් දහසකට අධික පිරිසක් රට පුරා අත්අඩංගුවට ගැනිණි.

ඉස්තාන්බුල් අගනුවර මෙම රැළිය සංවිධානය කර තිබුණේ බොස්පරස් පාලම මත ය. එදා කුමන්ත්‍රණයට සහාය පළ කරන සොල්දාදුවන් සහ එර්දොගාන් හිතවාදී සාමාන්‍ය සිවිල් වැසියන් අතර මෙම පාලම මතදී දරුණු සටන් ඇති විය.

-අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top