'ඩැඩා බොඩිපාට්ස් ගේන්න ඇමරිකා ගිහිල්ලා'
කොළඹ හිටපු පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහත්තයාව අමතන්න මාධ්‍යවේදියෙක් දවස් කීපයක්ම ට්‍රයි කරලා තියනවා. සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක්ට ලේසියෙන්ම අල්ලගන්න පුලුවන් දේශපාලනඥයො කීපදෙනා අතරින් මුසම්මිල් මහත්තයත් එක්කෙනෙක්. ඒත් පහුගිය දවස් ටිකේ ටෙලිෆෝන් එක වදිනවා විතරයි අරගෙන නෑ. මාධ්‍යවේදියා හිතල තියෙන්නේ මුසම්මිල් ඔහුගේ අලුත් තනතුර වන මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර භාරගන්න මැලේසියාවට ගිහිල්ලා කියලා. ඒ බව සැකහැර දැනගන්න මාධ්‍යවේදියා ඔහුගේ පුතෙකුට කතා කරලා තියනවා. 
'මුසාගෙ ෆෝන් එක වදිනවා විතරයි ගන්නෑ. කාටවත්ම නොකියා හයි කමිෂනර්කමේ වැඩ භාරගන්න මැලේසියාවටවත් ගිහිල්ලද ?'
 
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට මුසාගෙ පුතා දීලා තියෙන්නෙ නියම පිළිතුරක්.
 
'නෑ, ඩැඩා ඇමරිකාවේ ගිහිල්ලා, බොඩිපාට්ස් ගේන්න.'
 
'මොකක් ? බොඩිපාට්ස් ගේන්න. ඇයි ඩැඩා දැන් පුරපතිකමෙන් අයින් වෙලා මෝටර් ස්පෙයාපාට්ස් බිස්නස් එකක්වත් පටන් ගත්තද ?' මාධ්‍යවේදියා පෙරළා මුසාගෙ පුතාගෙන් අහලා.
 
'නෑ, ඩැඩා ඇමරිකා ගියේ මෝටර් ස්පෙයාපාට්ස් ගේන්න නෙවෙයි, බොඩි ස්පෙයාපාට්ස් ගේන්න. මොකද ඊළඟට යන්න තියෙන්නෙ මැලේසියාවෙ හයි කමිෂනර්කමට නිසා ඩැඩා තීරණය කළා බොඩිපාට්ස් ටිකකුත් අරන් යන එක හොඳයි කියාලා'
 
'ඒ මොකද ?'
 
'ඇයි දැක්කෙ නැද්ද හිටපු හයි කමිෂනර් අන්සාර් ටයිගර් සිම්පතයිසර්ස්ලගෙන් කාපු කෑම ? ඒක දැක්ක ඩැඩා තීරණය කළා හයි කමිෂනර්කමට යන්න කලින් බොඩිපාට්ස් ටිකක් අරන් යන එක හොඳයි කියලා.'
 
ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා බොඩිපාට්ස් ද රැගෙන මේ වනවිට නැවත මෙරටට පැමිණ ඇති අතර මේ මස 16 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මැලේසියාවට යාමට ප්‍රථම ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.
 
බොඩිපාට්ස් කෙසේ වුවද අප යෝජනා කරන්නේ නිළ සංචාරයන් යනවිට මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් මජින්ත ජයසිංහ මහතා සමග මාංචුවක් දමාගන්නා ලෙසයි. එසේ කළයුතු වන්නේ යම් ආපදා අවස්ථාවකදී මජින්ත, මුසාවද ඇදගෙන විදුලි වේගයෙන් දිවයන නිසාය. එසේ හෙයින් බොඩිපාට්ස් වෙනුවට මුසා රැගෙන යා යුත්තේ මාංචු කුට්ටමක් පමණි.
Top