විමල් පරණ රස්සාව  අතහැර නීතීඥ වෘත්තියට !

රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විමල් වීරවංශ මහතා ඊයේ (6) දිනයේ නීතීඥ සහායකින් තොරව අධිකරණයෙහි පෙනී සිටිමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහුවෙත නඩු වැසි වසින තත්වයක් ඇති වී තිබෙන බව වාර්තාවේ.

වැලිකඩ බන්ධනාගාරයෙහි දැනට රඳවා සිටින දහස් සංඛ්‍යාත සිරකරුවන් සියළුම දෙනා තම තමන්ගේ නඩු උදෙසා පෙනී සිටීමට විමල් වීරවංශට ඇරයුම් කිරීම සඳහා පොරකන බව බන්ධනාගාර වාර්තා සඳහන් කරයි. එසේම මේ වන විට වැලිකඩ බන්ධනාගාරය ඉදිරියේ සිට බොරැල්ල මං සංධිය හරහා කිරුළපන දක්වා දිගු ජනතා පෝලිමක් දක්නට ලැබෙන්නේ ඔහුට නඩු භාර දීම සඳහා පැමිණෙන සෙනඟ නිසාය.

ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි විමල් වීරවංශ මහතා මාධ්‍යවේදියකු, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, ඇමති වරයෙකු ලෙස සේවය කර ඇති අතර ඊට අමතරව මැදමුලන වලව්වේ රෙදි අපුල්ලන්නෙකු, මහින්ද වෙනුවෙන් කුලියට කහින්නෙකු, ගෝටාබයගේ පිට කසන්නෙකු, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ලණු අඹරන්නෙකු යනා දී වශයෙන් කෙටි කාලීන රැකියාවන් ද විශාල ගණනක් කර ඇත්තෙකි. ඒ සියළු අත්දැකීම් වලින් ලද පන්නරය ඔස්සේ මෙසේ නීතීඥ වෘත්තියට පිවිස ඇති ඔහු මෙතෙක් කළ එකී මෙකී නොකී සියළු රැකියාවන් මින් ඉදිරියට අත් හැරීමට නියමිතව ඇති බව ද වාර්තාවේ.

දැනට වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරියකුට හෝ විමල් වීරවංශ මහතාව හමුවීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමට නොහැකිවී ඇත්තේ නීතීඥ වෘත්තියෙහි ඔහු කාර්ය බහුල වීම නිසාය. එක් දිනක් තුළ මේ තරම් සාර්ථකත්වක් ලබා ගත්තෙකු පිළිබඳව ලාංකේය නීති ඉතිහාසයෙහි තබා රෝම - ලංදේසි නීති ඉතිහාසයේ හෝ නොමැති බව ද නීති ක්ෂේත්‍රයේ විද්වත්හු ප්‍රකාශ කරති. ඊයේ දිනයේ දී ඔහු අධිකරණයෙහි පෙනී සිටිමින් කොටුව මහේස්ත්‍රාත්වරිය ඉදිරියෙහි ගොනුකළ විත්තිවාචකය කෙතරම් ප්‍රල වීද යත් ඔහුව තවත් සති දෙකක් සඳහා එනම්, මාර්තු 20 වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරය වෙත ම යවන ලදී.

මේ පිළිබඳව විමල් වීරවංශ මහතාගේ විරුද්ධවාදීන් කුමක් කීවද ඒ මහතාව නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඒ මහතා ගොනුකළ නීතිමය තර්කයන්හි අඩුපාඩුවක් නිසා නොවන බව ද අප වෙත වාර්තාවේ. විමල් වීරවංශ මහතා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත වී ඇත්තේ තමන් විසින් ම ඉල්ලීමක් කරමින් ස්ථානෝචිත උපක්‍රමයක් වශයෙනි. තමන්ගේ සාර්ථකත්වය මත වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සියළුම දෙනාගේ නඩු තමාටම හිමි වන බව දන්නා නිසා එම නඩු බාර ගැනීමේ පහසුව තකා මෙන් ම බන්ධනාගාර ගතව සිටිය දී එතෙක් සිදු කළ චිත්‍ර ඇඳීමේ සහ පොත් ලිවීමේ කටයුතු ද අවසන් කරගත යුතු නිසා ඔහු මෙසේ සිය කැමැත්තෙන් ම නැවත බන්ධනාගාරය වෙත තවත් සති දෙකක් සඳහා පැමිණි බව ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර විමල් වීරවංශ මහතාගේ උපන්දිනය ද අදට (7) ම යෙදී තිබේ. ඒ, කීවෙනි උපන් දිනයදැයි නිවැරදිව ම කිව නොහැක්කේ ඔහුට උපන් වර්ෂ දෙකක් සහිත හැඳුනුම් පත් දෙකක් ම ඇති නිසාය. කෙසේ වෙතත් මේ වන විට ඒ මහතාගේ වයස අවුරුදු 52 සිට 47 දක්වා පරාසයක දෝලනය වෙමින් පවතින බව සඳහන් ය. ඉතාමත් නිර්මාණශීලී පුද්ගලයකු ලෙස සැලකෙන ඔහු අද දිනයේ සිය කීවෙනිදෝ උපන් දිනය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී සමරා තිබුණේ පවුලේ සාමාජිකයින් මෙන් ම අලි බබා සහ හොරු හතළිහ ද පිරිවරාය. ඒ අනුව මෙය ඔහුගේ උපන් දිනය, නව වෘත්තිය සහ පැරණි වෘත්තිය අතහැරීම යන සියළු කරුණු සැමරීම වෙනුවෙන් වූ සාදයක් විය.

Top