Untitled 1

ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ සීග්‍රයෙන් පහළට !
වත්මන් පොලිස්පති පූජිත සේනාධී බණ්ඩාර ජයසුන්දර මැතිතුමා පොලිස්පති පදවියට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන අපරාධ කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලීසිය තුළ සිදුකෙරෙන අපරාධ බරපතල පසුබෑමකට ලක්වී ඇති බව එම දෙපාර්තමේන්තුවේම උදවිය ප්‍රකාශ කර සිටී.
මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ දූෂිතම ආයතනය ලෙස කිරුළ දරා සිටි ශ්‍රී ලංකා පොලීසිය, වත්මන් පොලිස්පති නිසා එම කිරුළ අහිමි වීමේ දැවැන්ත අවදානමකට මේ වනවිට ලක්වෙමින් තිබේ.
 
මෙයට හේතුවී ඇත්තේ පොලිස්පති පූජිත ජයසුන්දර මැතිතුමා ශ්‍රී ලංකා පොලීසියට හඳුන්වා දී ඇති නවතම උපක්‍රමයන්ය.
 
ඒ අනුව ශ්‍රී ලංකාව පුරා පවතින සෑම පොලිස් ස්ථානයකම සේවය කරන අය උදෑසන 8.30 සිට 8.45 දක්වා අනිවාර්යෙන්ම භාවනා කළයුතු වේ. මෙසේ සෑම පොලිස් ස්ථානයකම තම උපදෙස් අනුව භාවනා කටයුතු සිදුකරන්නේදැයි සොයාබැලීම සඳහා පූජිත ජයසුන්දර විසින් සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ යොදවා ඇත. ඔහුගේ සහාය සඳහා පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන ද එම කාර්යය සඳහා අනුයුක්ත කර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ නිළධාරීන් ප්‍රසන්න බ්‍රාහ්මණගේව හඳුන්වන්නේ ASP (භාවනා) යනුවෙනි.
 
මේ වනවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට උප පොලිස් පරීක්ෂකවරුන් දක්වා සියලුම නිළධාරීන් උදෑසන 8.30 ට තම මේසයන් මත තබා ඇති රාජකාරි ලිපිගොනු බිමින් තබා පාවහන් ගලවා මේසය මත එරමිණිය ගොතාගෙන පුරා විනාඩි 15 ක් බවුන් වඩනු සෑම පොලිස් ස්ථානයකම දැකිය හැක. තම සද්කාර්යයේ ප්‍රගතිය පොලිස්පතිවරයා විසින් දිනපතා ASP (භාවනා) ප්‍රසන්න බ්‍රාහ්මණගේ මගින් ලබාගන්නා බව පැවසේ.
 
ශ්‍රී ලංකාව තුළ දරුණුගණයේ මංකොල්ලයක්, මිනී මැරීමක් හෝ වෙනත් බිහිසුනු අපරාධයක් උදෑසන 8.30 - 8.45 අතර සිදුවුවහොත් ඊට අදාල ප්‍රතිචාර පොලීසියෙන් ලබාගත හැකි වන්නේ 8.45 පසුවීය. එම අදාල කාලය තුළ අපරාධකරුවන් තම අපරාධයන්හි නිරත නොවන බවට උපකල්පනයක් පොලිස්පතිවරයා සතුව පවතී.
 
එමෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු මේ වනවිට සීග්‍රයෙන් පහළ බැස ඇත්තේ වැඩිපුර මාර්ග අනතුරු සිදුවන ස්ථාන සොයා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් රථවාහන අංශය විසින් අදාල ස්ථානයන්හි සෙත් පිරිත් සජ්ඣායනා කිරීම ආරම්භ කළ බැවිනි.
 
ලබන්නාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පොලිස්පතිවරයාගේ සිතට තව තවත් මෙවැනි දැහැමි, නවමු සිතිවිලි පහළ වේවායි අපිදු ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.
Top